UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්මා සම්බෝධි ප්‍රාප්තිය පිණිස මහා පුරුෂ ශාක්‍යසිංහ කුමාරයාණන් වැඩ සිටින අපරාජිත පර්යංකයට පැමිණ දන නමා අංජලී කර්ම කොට තථාගතයින්ගේ ගුණ අනුස්මරණය කරමින් නලල වජ්රාසනය මස්තකයෙහි තැබූ කෙනෙහිම මසිත් පී‍්‍රතියෙන් බරවී, සංවේගයෙන් පිරී ගොස් මේ උතුම් ස්ථානය අත්නොහරිමියි යන අධිෂ්ඨානයෙන් මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කළෙමි.”

මෑත යුගයේ ලක්මව බිහි කළ අතිජාත පුත්‍ර රත්නයක් වූයේ අනගාරික දම්පල් තුමාය. දොන් කරෝලිස් හේවාවිතරණ මුදලිතුමාගේ සහ මල්ලිකා මැතිණියගේ වැඩිමහල් පුතණුවන් ලෙස 1864 සැප්තැම්බර් 17 දින උපත ලැබීය. ළමා වියේදී ඉතා සුඛෝපභෝගීව සැදී වැඩුනු ඩේවිඩ් හේවාවිතරණ කුමරුවා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේද , පසුව කොළඹ රාජකීය විදුහලේද, සිප් සතර හැදෑරීය. කුඩාම අවදියේ පටන් ඉමහත් එඩිතර වික්‍රමාන්විත ගුණයෙන් පරිපූර්ණ වූ මේ කුමරුවා ක්‍රිස්තු ලබ්ධික පාසල් වල අධ්‍යාපනය ලැබූවද, පරගැති සිරිත් පිලිකුල් කළ බුදු දහම කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ, දේශීය සිංහල සිරිත් විරිත් ගරුකළ උද්යෝගීමත් තරුණයකු විය.

ඒ සමය බුදුදහම පිළිබඳ පුනරුදයක් ජනිත වෙමින් තිබෙන යුගයක් විය. සාසන මාමක, ජාති හිතෛෂි හෙළ විරුවන් පහළ වෙමින් තිබිණ, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් කොළඹ විදුදය අරඹා , බුදුදහම හා පෙරදිග භාෂා පිළිබඳ අරුණෝදයක් ඇතිවෙමින් පැවතිණ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමියන්ගේ ‘පානදුරාවාදය’ පිළිබඳ දෝංකාරය, ඇමෙරිකාව දක්වා පැතිර ගොස් තිබිණ. පානදුරාවාදය හේතුවෙන් අමෙරිකානු ජාතික කර්නල් ඕල්කට්තුමා ලක්බිමට පැමිණ , බුදුදහම නගා සිටුවීමට බෞද්ධ පාසල් රට පුරා පිහිටුවීමට කටයුතු කරමින් සිටියහ. එවකට ඕල්කට්තුමා කරන ඉංගී‍්‍රසි දේශනා සිංහලට පරිවර්තනය කිරීම සඳහා කාර්යශූර තරුණයකු අවශ්‍යව තිබිණ. ඒ සඳහා තමා නිරත වී සිටි ලිපිකරු රැකියාවෙන් ඉවත් වී, ‘ඩේවිඩ්’ තරුණයා ඉදිරිපත්වීම දෛවෝපගත සිද්ධියකි.

මෙසේ අහඹුවකින් ඕල්කට්තුමා සමඟ සමීප ඇසුරකට පත්විය. නොබෝ දිනකින් තම නාමයත්, යුරෝපීය ඇඳුමත් වෙනස් කොට විශාල පෙරලියක බඳුන් විය. එවකට පිරිහීමට ලක්ව තිබූ බුදුසමය හා හෙළ සිරිත් විරිත් නගා සිටුවීමට අධිෂ්ඨාන පූර්වකව ලක්දිව සෑම ගම්මානයකම දේශනා පවත්වමින් ඉමහත් සේවාවක් ඉටු කළේය. එතුමා ගමන් ගත් මෝටර් රථයේ “රා බොන්නා වසලයා” හරක් මස් කන්නා රොඩියාය” යන පුවරු දෙකක් විය.

”වර්තමාන ලංකාවේ ආගම පිළිබඳ වේවා,ජාතිය පිළිබඳ වේවා, සිරිත් විරිත් ආදි යම් කුමන දෙයක් ගැන කථා කරන විට මුලින් සඳහන් කළයුතු නම අනගාරික ධර්මපාල නාමයයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෝධි සත්වරයෙකු වූ ධර්මපාලතුමා “ ....අතීපූජ්‍ය අකුරටියේ අමරවංශ නාහිමි
1964 රසවාහිනී

ගිහිසැපත් හැර අනගාරික ජීවිතය ඇරඹූ ධර්මපාලතුමාට වයස අවු. 26 දී, ඉමහත් දුෂ්කරතා මැද ප්‍රථම දඹදිව වන්දනා ගමන යාමට මහත් භාග්‍යයක් උදාවිය. සවිසි ඇවිරිදි ධර්මපාලතුමා තම දිනපොතෙහි මේ පිළිබඳ තැබූ සටහන මෙසේවිය.

“ 1890 දෙසැම්බර් මස ගුණරතන කොජෙන් නම් භික්‍ෂූහු කොළඹින් බෝමැඩ වන්දනාවට වඩින බව දැන ගන්නට ලැබී උන්නාන්සේ කැටුව යාමට මට සිතක් පහල විය. ධාර්මික මපියාණන් ගේ වියදිමින් මම උන්වහන්සේ කැටුව කොළඹින් පිටත්ව මදුරාසියේ අදියර් ශාලාවට පැමිණ ඕල්කට් තුමාගේ ඕනෑකම පිට එහි කීප දවසක් නැවතී 1891 ජනවාරි මස 20 දින බරණැස ඉසිපතානාරාම යට පැමිණ එහි ජරාජීර්ණ වූ චෛත්‍ය වැඳ ජනවාරි මස 22 දින බුද්ධගයාවට සම්ප්‍රාප්තවීමි.

සම්මා සම්බෝධි ප්‍රාප්තිය පිණිස මහා පුරුෂ ශාක්‍යසිංහ කුමාරයාණන් වැඩ සිටින අපරාජිත පර්යංකයට පැමිණ දන නමා අංජලී කර්ම කොට තථාගතයින්ගේ ගුණ අනුස්මරණය කරමින් නලල වජ්රාසනය මස්තකයෙහි තැබූ කෙනෙහිම මසිත් පී‍්‍රතියෙන් බරවී, සංවේගයෙන් පිරී ගොස් මේ උතුම් ස්ථානය අත්නොහරිමියි යන අධිෂ්ඨානයෙන් මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කළෙමි.”

(අනගාරික ධර්මපාල තුමා - දිනපොතේ සටහනකින් 1890 උපුටා ගති.)

“ වර්තමානයෙහි මෙන් ජාත්‍යාගමික හැඟීම් වලින් උද්දීප්ත නොවූ සමයෙක්හි එබඳු ජීවිත පරිත්‍යාග චේතනාවක් බෝධි සත්ව චේතනාවක් බෝධි සත්වරයෙකුට හැර අනෙකකුට පහළ නොවන්නේමය. සවිසි වියේ සිටි කෙළිලොල් තරුණයකුට මෙබඳු අධිෂ්ඨාන ප්‍රතිබද්ධ දෘඪ චේතනාවකින් යුක්තව ස්ථර ක්‍රියා මාර්ගයක් සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත්වීම නම් පුර්වෝපචික පාරමිතා සම්භරණහෙි ප්‍රතිඵලයක් මය. “
අතිපූජ්‍ය කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර නාහිමි

රසවාහිනි සඟරාවට ලියූ ලිපියකිනි

එතුමා වීර, එඩිතර, ගති ඇති අභීත අයෙකු බවට නොයෙක් කථා ජනවහරේ පවතී. ඉන් එක් සිද්ධියක් මෙහිලා දැක්වීමට සිතීමි. එක් දිනක් බරණැස සිට කල්කටාව දක්වා දුම්රියෙන් ගමන් කරමින් සිටි ධර්මපාලතුමාට අපූරු සිද්ධියකට මුහුණ දීමට සිදුවිය. එතුමා හිඳගෙන සිටි දුම්රිය අසුනට මුහුණලා ඉදිරිපස අසුනේ හිඳගෙන හුන්, විදේශිකයකු තම ගමන් මල්ලෙන් එලියට ගත් මත්පැන් බෝතලයක් වරින් වර පැයක් පමණ තිස්සේ පානය කරමින් හුන්නේය. මත්පැන්වල දුර්ගන්ධය නිසා ඉතා අපහසුවෙන් පසුවූ ධර්මපාලතුමා, මෙය දැන් දැන් අවසන් වෙතැයි සිතා ඉවසා සිටි නමුදු විදේශිකයා ,

මේ ක්‍රියාව දිගින් දිගටම කරගෙන ගියේය. අවසානයේ දම්පල්තුමා මේ ක්‍රියාව නතර කරණ ලෙසට ඔහුට කිවේය. නමුත් මත්ලෝලියා ප්‍රකාශ කළේ තමන්ට මත්පැන් පානය කිරීමට පූර්ණ අයිතියක් ඇති බවයි. තවදුරටත් ඉවසා නොසිටි දම්පල්තුමා විදේශිකයා අතින් මත්පැන් බෝතලය උදුරා ජනේලයෙන් එලියට විසි කලේය.

“ දැන් නිදා ගණින්. එක වචනයක් වත් කථා කලොත් උඹට බෝතලයට සිදුවූ දෙයම සිදුවෙනවා “ යයි ගුගුලේය. බීමත් පුද්ගලයා නිහඬවම පසු දින පහන්වන තුරු නිදා සිටියේය. දම්පල්තුමා බුදු දහමේ චිරස්තිථිය උදෙසා විශාල මෙහෙවරක් කළහ. 1891 මැයි 31 දින මහා බෝධි සමාගම පිහිටුවා,ලෝ සත වැඩ පිණිස මහ බෝමැඩ සංඝයා නතර කිරීම පිණිස 1891 ජූලි 10 දින භික්‍ෂූන් සතර නමක් කැටුව එහි ගියේය. ගයාවේ ඒජන්තතුමාගේ අවසරය ඇතිව මහන්තා නමැත්තාගෙන් කුඩා ඉඩමක් මහා බෝධි සමාගමට ලියවා ගත්තේය

. 1892 දී රැන්ගන් හි මහා බෝධි සමාගමද අරකන්හි මහා බෝධි සමාගමද, කල්කටාවේ මහා බෝධි සමාගමද පිහිටුවීය. එම වසරේම “ මහා බෝධි” ඉංගිරිසි සඟරාවද, සිංහල බෞද්ධයා පුවත්පත ආරම්භ කළේය. 1894 ලක්දිවට පැමිණි එතුමා ගම්දනව් වල සරිසරමින් බුද්ධගයා මහබෝධිගම මිලයට ගැනීම සඳහා මුදල් ආධාර එකතු කළහ. සියම්, බුරුමය සහ ලංකාවෙන් විශාල මුදල් ප්‍රමාණයක් එකතු කර එතුමා බුද්ධගයාව බේරාගත් බුදු සසුන වෙනුවෙන්, වන්දනාවේ යන සැදැහැවතුන් වෙනුවෙන් අපමණ මෙහෙයක් ඉටු කළ බව දැක්වෙයි.

සාරානාත්හි මූල ගන්ධකුටි විහාරය දම්පල් හිමියන්ගේ අනගි භවනීය ඉදිකිරීමකි. සසුන වෙනුවෙන් මහඟු මෙහෙයක් කළ දම්පල් හිමියන් 1933 අපේ‍්‍රල් මස 29 දින අපවත් වී වදාළහ.

අනගාරික දම්පල්තුමා අවසානයේ ප්‍රකාශ කළේ විය. එතුමා අවසන් හුස්ම හෙලද්දී පවා අභීතව මරණයට මුහුණ දුන්නේ බුද්ධ ධර්මය ප්‍රචාරයට මතු භවයේ පතාගෙනය. දම්පල් සිරිතෙහි නොයෙකුත් තොරතුරු ඇතත්, ඒවා ලියා නිම කළ නොහැකි තරම්ය.

බිනර අව අටවක

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 20 අඟහරුවාදා පූර්ව භාග 6.35 ට ලබයි.
21 වනදා බදාදා පූර්ව භාග 07.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම සැප්තැම්බර් 20 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය සැප්තැම්බර් 27 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]