Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කවිගුරු රවීන්ද්‍රනාත් තාගෝර්ගේ 150 වන ජන්ම සමරුව

ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානයේ දී 20 වන දා

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ උපත ලබා ලෝක සාහිත්‍යයට විශේෂ සාහිත්‍යයක් එකතුකළ මහාකාරුණික බුදුරදුන්ට පමණක් පිදූ අනගාරික ධර්මපාලතුමාගේ මිත්‍රයකු වූ වංගකවි රවීන්ද්‍රනාත් තාගෝර්ගේ 150 වන ජන්ම දිනය මුළු ඉන්දියාව පුරාම උසස් අන්දමින් සිදුකිරීමට ඉන්දීය රජය සහ බටහිර බෙංගාල් රජය කටයුතු යොදා ඇත.

ඉන්දියානු මහාබෝධි සමාගමේ නිර්මාතෘ අනගාරික ධර්මපාලතුමාගේ බුද්ධගයා නඩුවේ දී බෞද්ධයින්ගේ අයිතිය ගැන මහත්මාගාන්ධිතුමාට කරුණු ඉදිරිපත් කළේ රවීන්ද්‍රනාත් තාගෝර් මහ කවියාණෝය.

එතුමාගේ 150 වන ජන්ම දිනය නිමිත්තෙන් සැප්තැම්බර් මස 20 දා ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වන ශ්‍රී ධර්මරාජික චේතිය විහාරයේදී උත්කර්ෂවත් අන්දමින් සිදුකිරීමට කටයුතු යොදා ඇත. කථික තරග, ගායනා තරග, චිත්‍ර තරග, නාට්‍ය තරග ආදිය කල්කටාව මහානගරය අවට පාසල් අතර සිදුවන එකී තරගවල තෑගි බෙදා දීම සහ ප්‍රධාන උත්සවය කල්කටා විශ්ව විද්‍යාල ප්‍රධාන ශාලාවේදී සිදුකිරීමට නියමිතය.

උත්සව සභාවේ ප්‍රධාන අමුත්තා වශයෙන් රවින්ද්‍රභාරතී විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කරුණාසින්දු දාස් මැතිතුමා ද, උත්සව සභාවේ මුලසුන කල්කටා මහාධිකරණයේ හිටපු අගවිනිසුරු ෂ්‍යාමෙල් කුමාර් සෙන් මැතිතුමා ද, ප්‍රධාන කථිකයා කල්කටා මහාධිකරණයේ විනිසුරු කල්‍යාණජොති සෙන් ගුප්තා මැතිතුමා ද සහභාගි වීමට නියමිතය.

උත්සවය අවසානයේ රවින්ද්‍රනාත් තාගෝර් විසින් රචිත චන්‍ඩාලිකා ගීත නාටකය වේදිකා ගතවේ. මහාකවි ගුරු රවින්ද්‍රනාත් තාගෝර් , බුදුරජුන් සහ බුදුදහම යන මාතෘකාව යටතේ “The Maha Bodhi” විශේෂ කලාපය ඉන්දියානු මහාබෝධි සමාගමේ මහාලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් අතින් විමෝචනය කිරීමට නියමිතය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.