Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනු නායක ධුරයට පත්

උඩුමලගල මහින්ද නා හිමි

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උත්තරීතර සංඝ සභාව ගාල්ල, කොට්ටව, ශ්‍රී සුමනාරාමස්ථ විහාරාධිපති , විනය කීර්ති ශ්‍රී මහෝපාධ්‍යාය, උඩුමලගල මහින්දාභිධාන නාහිමියෝ එහි අනුනායක ධුරයට අභිනවයෙන් පත්කොට තිබේ.

මාවැල්ල කංකානම්ගේ නිකුලස් මහතාට හා වල්පිටිගොඩ ගමගේ කතිරිනා හාමි මහත්මියට දාව, 1929 මැයි 16 වන දින යක්කලමුල්ල ප්‍රදේශයේදී උපන් කුමරු, 1941 ජනවාරි 21 වන දින, උඩුමලගල මහින්ද නමින් පැවිදි දිවියට එළැඹිණි. මාබොටුවන රතනසාර මහා නා හිමියන්ගෙන් ගුරුහරුකම් ලැබූ උන්වහන්සේ ගෝණගල සුධර්මාකර පිරිවෙනේ සිප්සතර හදාරා, 1949 මැයි 12 වැනිදා, මහනුවර, මල්වතු විහාරස්ථ උපෝසථාගාරයේදී උපසම්පදාව ලබාගත්හ.

සසුනඹර එළියකරන විශාල පැවිදි ශිෂ්‍ය පිරිසක් හා රට දැය සමයට හිතැති ගිහිගෝල පිරිසක් බිහිකළ උඩුමලගල මහින්දාභිධාන නාහිමිපාණෝ, කොට්ටව ශ්‍රී සුමනාරාම මහ විහාරයට අතිරේකව, නාත්තෙවල ශ්‍රී ඛෙත්තාරාමය, නැවුන්ගල ශ්‍රී‍්‍ර බෝධිරාජාරාමය හා මාකුඹුර බෝධිගිරි බෞද්ධ මධ්‍යස්ථානයේද අධිපතිත්වය දරති.

විචිත්‍ර ධර්ම කථිකයෙක් වූ උන්වහන්සේ, ධර්ම විනයට අනුව ශාසනික කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ චාරිත්‍රානුකූල අවබෝධයකින් හෙබි, මධුරස්වර පිරිත් දේශනයේ හැකියාවෙන් යුත් යතිවරයෙකි. අයුක්තිය අසාධාරණයට එරෙහිව නොබියව සැමවිට ඉදිරියට බට උන්වහන්සේ ශාසනික මෙන්ම ගිහි ගැටලු වලදීද නිවැරදි තීන්දු තීරණ ගැනීම කාගේත් පැසසුමට ලක්ව ඇත. 1957 වසරේ, කොට්ටව ශ්‍රී සුමනාරාමස්ථ විහාරාධිකාරි ධුරයට පත් උඩුමලගල මහින්දාභිධාන අනු නා හිමියෝ, 1961 එහි විහාරාධිපති ධුරයට පත් වූ සේක. 1975 වසරේ සිට 1991 දක්වා ගාල්ල ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරය හෙබවූ උන්වහන්සේ, 1991 දී යක්කලමුල්ල සමථ මූල මණ්ඩලයටද පත්වූහ. ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක කාරක සභික ධූරයෙන් 1992 වසරේ පුද ලබන මහින්දාභධාන නාහිමියෝ, 2004 එම සංඝ සභාවේ මහෝපාධ්‍යාය ධුරයෙන් පිදුම් ලැබීය. කොට්ටව ශ්‍රී සුමනාරාමය හා අනුබද්ධ විහාරස්ථාන හරහා ක්‍රියාත්මක ශ්‍රී‍්‍ර රතනසාර දහම් පාසල සරසවි සෞන්දර්යය පීඨය, කොට්ටව එක්සත් බෞද්ධ පෙරමුණ, විශාඛා කුලඟන සමිතිය, කොට්ටව ග්‍රාමීය පුස්තකාලය , පුබුදු මිතුරු සංවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී මිහිඳු පදනම හා සුමිතුරු බෝසත් ළමා සමාජය වැනි ව්‍යාපාර තුළින් සමාජීය සේවාවක නිරත උඩුමලගල මහින්දාභිධාන නාහිමියෝ, ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රවී සිටින නායක ස්වාමීන්වහන්සේ නමකි.

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ධුරයෙන් පුද ලද, උඩුමලගල මහින්දාභිධාන නාහිමියන්, නීරෝගි සුව අත්විඳිමින් ශාසනයට ප්‍රදේශයට හා රටට ජාතියට තව තවත් අමිල මෙහෙවරක යෙදීමට ශක්තිය හා ධෛර්යය ද , චිර ජීවනය ද ලැබේවා! යි, නමස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.