Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අයහපතෙන් වෙන්වීම

බෞද්ධයා අධර්මවාදී දිවි පැවැත්මකට මොනයම් අංශයකින්වත් ප්‍රවිශ්ට වන්නේ නැත. සමාජීය පුද්ගලයා බොහෝවිට නොමඟ යන්නේ අදූරදර්ශී ලෙස කල්පනා කිරීම නිසයි. එලෙසම අදෘශ්‍යමානව පවත්නා බලවේග ද පුද්ගලයා අයහපතට නැඹුරුවීමට හේතුවෙයි. එහිදී ප්‍රධාන බලවේග හතරක් බෞද්ධ දර්ශනය පෙන්වා දී ඇත. එනම් සතර අගතියයි. පුද්ගලයා වරදට පොළඹවන එම සතර අගතිය නම්,

1. ඡන්දය
2. ද්වේශය
3. භය
4. මෝහය යි

ඡන්දය නම් කැමැත්තයි. ඒ තුළ ගොඩනැගෙන්නේ මගේ යන හැඟීමයි. මමත්වයෙන් බැඳී කටයුතු කිරීම නිසා පුද්ගලයා අන්තවාදීත්වයට නැඹුරුවීම නිරායාසයෙන් සිදුවෙයි. ඒ අනුව පව්කම් කරයි. පුද්ගලයා මමත්වයෙන් බැඳී කටයුතු කරන කල්හි ධර්මය, අධර්මය බවට පත්වෙනු ඇත. ‘’මගේ ‘’ ‘අපේ’ යන හැඟීම් ප්‍රජාවක් රටක් වශයෙන් රටේ පොදු දියුණුවට රුකුලක් වන්නේ ඒ තුළ පෙර සඳහන් කළ අන්තවාදී අගතියක් නොමැති හෙයිනි. පුද්ගලයාගේ මෙලොව භෞතික දියුණුව සඳහා අපේ දේ අගය කොට සැලකීම වැදගත්ය. ආත්ම ගෞරවයෙන් තොර පුද්ගලයා ආත්මාර්ථකාමීත්වයෙන් මුසපත්ව තමන්ගේ වාසිය සඳහාම පමණක් කටයුතු කරනු ලබයි.

මමත්වය යන හැඟීමෙන් අන්තවාදීව අගතියට යාම ශිෂ්ට සමාජය, අගය නොකරයි. ප්‍රමාණවත් මිල මුදලින් සෑහීමට පත් නොවුණ පුද්ගලයා ධනයට ඇති කෑදරකම නිසා අගතිගාමිත්වයට යොමුවනු ඇත.

පුද්ගලයා අගතිගාමී වන අනෙක් කරුණ වන්නේ ද්වේශයයි. එකිනෙකා කෙරෙහි ඇතිවන වෛරය, තරහව, ද්වේශයයි. වෛරයේ ගිනිසිළුවෙන් දැවෙන පුද්ගලයාට කිසිම විටෙක සැනසීමක් නොමැත. පළිගැනීම, ක්‍රෝධය නිසා පුද්ගලයා අයුක්තියට අසාධාරණ ක්‍රියාවන්ට යොමුවීම පුද්ගලයාගේ අභාග්‍ය පිණිස හේතුවෙයි. බුදුරදුන්ට එරෙහිව ක්‍රියාකරමින් නිරර්ථක උත්සාහයක දේවදත්තයන් යෙදුනේ වෛරයෙන් මුසපත් වූ නිසයි. එනිසා දුගතිය මිස සුගතියක් දේවදත්ත හට උරුම නොවිණි. ‘’නහී වේරේන වේරානි සම්මන්තීධ කුදාචනං...’’ යනාදි ලෙස ධම්මපද ගාථාවෙන් පෙන්වා දුන්නේ වෛරය නැසෙන්නේ අවෛරය හෙවත් මෛත්‍රිය තුළින්ම බවයි. ද්වේශයේ ආදීනව හෙවත් දොස් බොහෝය. ද්වේශයෙන් යුක්ත සිත යුතුකම් අයුතුකම් නොහඳුනයි. ක්‍රෝධයෙන් වෙසෙන පුද්ගලයා හැමවිටම හැමතැනකදීම ගිනි ජාලාවක් මෙන් ලෝකයම අවුල් කරයි.

අක්කෝධේන ජිනේ කෝධං... යනාදී ලෙස බෞද්ධ දර්ශනය පෙන්වා දුන්නේ ක්‍රෝධ කරන්නෝ අක්‍රෝධයෙන් ජයගත යුතු බවයි. බුදුරදුන් දේවදත්තයන්ගෙන් ජය ලැබුවේ මෙත් සිත ඔහු කෙරේ දැක්වූ නිසයි. වෛරය තුළින් ජයගත්තෙක් මිහිපිට නොමැත. එබැවින් ද්වේශ සිතිවිලි පාලනය කර ගැනීම තුළින් ද්වේශයෙන් අගතිගාමී නොවීමට පුද්ගලයා ක්‍රියාකළ යුතුය.

පුද්ගලයා වරදට පෙළඹීමට බියද හේතුවෙයි. සමහර පිරිස් මවාගත් බියක් හේතුකොට ගනිමින් අකටයුතු ක්‍රියාකාරකම්වල නියැළෙයි. බිය ගන්වමින් සමහරුන් වැරැදි ක්‍රියාවන්ට යොමුකරන පිරිසක්ද සමාජයේ ජීවත් වීමට ද ඉඩ තිබේ. පුද්ගලයා බියවිය යුතු හා බිය නොවිය යුතු ස්ථානයක් බෞද්ධ දර්ශනයේ සඳහන් කර ඇත. යහපත් බෞද්ධයා මරණයටවත් බිය නොවිය යුතුය. නොබියව මරණයට මුහුණදිය හැකිවන්නේ බෞද්ධ ප්‍රතිපත්තිවල පිහිටා කටයුතු කළ විටය. පුද්ගලයා බිය ඇතිකරගත යුත්තේ පව් කිරීමටය. හිරි - ඔත්තප්ප යනුවෙන් හඳුන්වා දුන්නේ පාපයට ඇති ලැජ්ජාව හා බියයි.

හිරි ඔත්තප්ප යන කරුණු දෙක ලෝක පාලන ධර්ම වශයෙන් බෞද්ධ දර්ශනය පෙන්වා දී ඇත. ලෝකය අධිපති කොට ගනිමින් පවට බිය වීමත්, තමා අධිපති කොටගෙන ලැජ්ජාවත් ඇතිවෙයි. පුද්ගලයා තමාගේ ආත්ම ගෞරවය ගැන සිතා පාපයට බිය උපදවාගත යුතුය. ආත්ම ගෞරවය ගැන සිතන්නා තම ජීවිතය කෙළෙසා ගැනීමට උත්සාහ නොගනී. විලිබිය නොමැති විට ඕනෑම අයහපත් පහත් ක්‍රියාවක් කිරීමට පුද්ගලයා යොමුවෙයි. ඒ අනුව පාපයේ ආදීනව දැන සිත යහපතෙහි යොදවා නොබියව කටයුතු කරන පුද්ගලයා අගතියට යොමු නොවෙයි.

අගතිගාමී බලවේග අතරෙහි සිව්වැන්න මෝඩකම නැතහොත් මුලාවීමයි. මෝඩකමින් මුලාවී කටයුතු කරන පුද්ගලයාට ඇත්ත - නැත්ත හොඳ - නරක ධර්මය- අධර්මය නොතේරේ. යමෙක් රාගයෙන් හා ද්වේශයෙන් යම් පමණකට වැඩේද? ඔහු එපමණකට මෝඩකමිනුත් වැඩිබව බෞද්ධ දර්ශනයේ සඳහන් වෙයි. අඳුරේ තිබෙන වස්තුව ඇසට නෙපෙනෙන්නාක් මෙන් මෝහයෙන් මුලාවූ පුද්ගලයාට ධර්මය , යුක්තිය නොපෙනේ. අනුවණයා නිරන්තරයෙන් තමන්ගේ සිතිවිලි නිවැරැදි යැයි සිතා කටයුතු කරයි. චුල්ලකම්ම විභංග සූත්‍රයේදී නුවණැතිව ඉපදීමටත් නුවණ මද වීමටත් හේතු පැහැදිලි කැරේ.

අනුවණකම නිසා ඇතිවන ගැටලු බොහෝය. ‘’ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි’’ බව සමාජයේ ප්‍රචලිත කියමනකි. එනිසා යම් ක්‍රියාවක් සිදුකිරීමට පෙර දෙවරක්, තුන්වරක් හෝ සියදහස් වරක් වුව ද කල්පනාකාරී ලෙස සිතා බැලීම පුද්ගලයාගේ යහපත පිණිසම හේතුවෙයි.

ඡන්දා, දෝසා, භයා, මෝහා යන සතර අගතිගාමී බලවේගවලින් පුද්ගලයා වෙන්වී ක්‍රියාකිරීම පුද්ගලයාගේ දෙලොව සුබසිද්ධිය පිණිස හේතුවෙයි. යුක්ති සහගතව ලෝක ධර්මය හඳුනාගෙන හරිමඟ ගමන්කරන පුද්ගලයා අපාගාමී නොවනු ඇත. එවන් පුද්ගලයින් සමාජයට සිදුකරන්නේ අර්ථයක්මය. සුබසිද්ධියක්මය. ඒ තුළින් එම පුද්ගලයා සමාජයේ බැබළීමට පත් වෙයි. අගතිගාමී නොවී යුක්තිය, ධර්මය, සත්‍ය අනුගමනය කරමින් පුද්ගලයා කටයුතු කරන්නේ නම් සමාජයේ බොහෝ අර්බුදකාරී තත්ත්වයන් බොහෝ දුරට සමනය කළ හැකිවනු ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.