Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මැනිය හැකි ද ?

සිල්වත් බව ප්‍රශ්න ගැටළු නිරාකරණයට මාර්ගයක් වෙයි. බුදු දහමේ දී නිතර සීලයට ප්‍රමුඛ ස්ථානයක් දී තිබේ. මජ්ඣිම නිකායේ කීටාගිරි සූත්‍රයේ දී නිර්වාණගාමී පුද්ගලයා තුළ සීලය පූර්වාංගව පැවැතිය යුතු බව පෙන්වා දෙයි. “ කතඤ්ච භික්ඛවේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤාරාධනා හොමි. ඉධ භික්ඛවේ සද්ධාජාතො උපසංකමති “ ආදී වශයෙන් නිර්වාණය කෙරේ සීලයෙහි අවශ්‍යතාවය පැහැදිලි වෙයි.

සීල යනු හික්මීම යි. නැති නම් ශික්ෂණය යි. සමාජයේ බොහෝ දෙනා නො හික්මුණු ගති පැවතුම් වලින් යුක්තව වාසය කරනු ලබයි. හික්මීමට පුරුදු පුහුණු වීම අතිශය දුෂ්කර වෙයි.

ගුරු දෙමාපියන් තම දරුවන් සැකසීමේ දී හික්මුණු පුද්ගලයන් නිර්මාණය කිරීමෙහිලා අවධානයෙන් යුක්ත වෙයි. එයට හේතුව සමාජය සදාචාරාත්මක ගුණාංගයන්ගෙන් පරිපෝෂණය වන්නේ හික්මීම නමැති කාර්ය තුළිනි. එය බුදු දහම තුළ දී සීලය වශයෙන් හඳුන්වනු ලබයි. සීලය බාහිර පැවැත්මෙන් පමණක් මැණිය නොහැකිය. යෑම, සිටීම, හිදීම, අවදියෙන් සිටීම හා නිදා ගැනීම යන පැවැත්මෙන් ම පමණක් සීලය විමර්ශනය කළ හැකිද ? සීලය යනු කායික සංවරය හා වාචසික සංවරය යි. කායික සංවරය ඇතිවන්නේ ප්‍රාණඝාතයෙන් ( පරපණ නැසීමෙන් ) වෙන්වීම, අදත්තාදානයෙන් ( සොරකමින් ) වෙන්වීම, කාමේසුමිච්ඡාචාරයෙන් ( කාමය වරදවා හැසිරීමෙන් ) වෙන්වීම හා සුරාමේරය මජ්ජපමාවෙන් ( මත්ද්‍රව්‍ය භාවිතයෙන් ) වෙන්වීම තුළිනි. මේ කායික ක්‍රියා කලාපයන් වෙයි. එයින් කායික සංවරය ඇති වේ. නමුත් පූර්ණ වශයෙන් සීලය සමාදානයට පත්වී නොමැත. ඒ සඳහා වාචසික සංවරය අත්‍යවශ්‍ය වෙයි. වචනයෙන් සංවරවීම සඳහා මුසාවාදයෙන් ( බොරු කීමෙන් ) වෙන්වීම, ඵරුෂා වාචාවෙන් ( පරුෂ වචනයෙන් ) වෙන්වීම, පිසුනා වාචාවෙන් ( කේළාම් කීමෙන් ) වෙන්වීම, සම්ප්‍රප්පලාපයෙන් ( හිස් වචනයෙන් ) වෙන්වීම යන වාචසික වූ ශික්ෂාවන්ගේ විරමණය තුළින් වචනයෙන් සංවර විය හැකිය. මෙසේ කායික මෙන්ම වාචසික යන උභය අංශයෙහි සංවරශීලීත්වය බුදු දහමේ සීලය වශයෙන් හඳුන්වනු ලබයි. විසුද්ධිමග්ගයේ සීල නිර්දේශයේ දී “ කාය වාචානං සමොධානං සීලං “ යනුවෙන් හඳුන්වන්නේ මෙම ශික්ෂා මාර්ගය යි.

සිල්වත් බව ප්‍රශ්න ගැටළු නිරාකරණයට මාර්ගයක් වෙයි. බුදු දහමේ දී නිතර සීලයට ප්‍රමුඛ ස්ථානයක් දී තිබේ. මජ්ඣිම නිකායේ කීටාගිරි සූත්‍රයේ දී නිර්වාණගාමී පුද්ගලයා තුළ සීලය පූර්වාංගව පැවැතිය යුතු බව පෙන්වා දෙයි. “ කතඤ්ච භික්ඛවේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤාරාධනා හොමි. ඉධ භික්ඛවේ සද්ධාජාතො උපසංකමති “ ආදී වශයෙන් නිර්වාණය කෙරේ සීලයෙහි අවශ්‍යතාවය පැහැදිලි වෙයි. සිල්වතාට ගැටුම් විරහිතව තම ජීවිතය ගත කිරීමේ හැකියාව උදා වෙයි. සංයුත්ත නිකායේ එන ජටා සූත්‍රයේ දෙවියන් විසින් මෙබඳු ප්‍රශ්නයක් ඉස්මතු කරන ලද්දේ එබැවිනි.

“අන්තෝ ජටා බහි ජටා
ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමි
කො ඉමං විජටේ ජටං “

ප්‍රශ්න රාශියකින් යුක්ත වීම නිසා එයින් මිදීමේ මාර්ගය කුමක්දැයි විමසූ විට බුදුරදුන් ඊට දෙන පිළිතුර වූයේ,

“ සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ
චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකො භික්ඛු
සො ඉමං විජටේ ජටං”

සීලයෙහි පිහිටීම ජට හෙවත් ප්‍රශ්න නිරාකරණයට මාර්ගය වශයෙන් පෙන්වා දී තිබේ. සීලය හුදෙක් අන්‍යයන්ට පෙන්වීමට ආභරණයක් නොකර ගත යුතුය. අවංක භාවයෙන් සිල්වන්ත වීම නිර්වාණ ප්‍රතිලාභය පිණිස වෙයි.

සීලය ආරක්ෂා කිරීමේ හැකියාව මත විවිධ වෙයි. පඤ්ච සීලය, දස සීලය, ආජීව අෂ්ටමක සීලය, සාමණේර දස සීලය, උපසම්පදා සීලය ආදී වශයෙන් විවිධ වෙයි. ඒ සෑම සීලයක් ම ආරක්ෂා කිරීමට නම් කයත් වචනයත් සංවර කරගත යුතුය. එකී සංවරය ගිහි පැවිදි සැමට පොදුය. ස්වාමි පුරුෂයා හා ස්වාමි දියණිය හික්මුණු ගති ලක්ෂණ වලින් යුක්ත නම් පවුල් සංස්ථාවේ ගැටළු මගහරවා ගැනීමට සීලය උපකාර වෙයි. ගුරු සිසු, මිත්‍ර මිත්‍ර, ස්වාමි සේවක, දෙමාපිය දූ දරු සෑම සංස්ථාවක ම පාහේ ඇතිවෙන විවිධාකාර වූ ප්‍රශ්න නො හික්මීම තුළින් උද්ගත වී ඇත. එකී සමාජ සංස්ථාගත ප්‍රශ්න නිරාකරණයෙහි ලා පිළියම හික්මීමයි. හික්මුණු පුද්ගලයා තුළ කයින් සිදු කරණ ක්‍රියාවන් සංවරශීලීය. කථා කරන වචන පිරිසුදුය. සිත්ගන්නා සුළුය.එමෙන් ම සංවරශීලීය. එබඳු පුද්ගලයාගේ ස්වභාවය බුදු දහම පෙන්වා දෙන්නේ මෙසේය.

“ න පුප්ඵගන්ධො පටිවාතමේති
න චන්දනං තගරමල්ලිකා වා,
සතං ච ගන්ධො පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසො පවාති “

මල් සුගන්ධය උඩු සුළඟට හමා නොයයි. නමුත් සත් පුරුෂයන්ගේ සිල් සුවඳ උඩු සුළඟට යයි. සත්පුරුෂයාගේ සිල් සුවඳ සියලු දිශාවන් වෙත පැතිර යයි. සීලවන්ත පුද්ගලයාගේ යසස කීර්තිය නිරන්තරයෙන් ජනප්‍රියත්වයට පත්වෙයි. ඊට හේතු සීලවන්තයා දැමුණු විශ්වාසී පුද්ගලයෙකු වීමයි. ඔහු කෙරෙන් අන්‍යයන්ට අවැඩක් සිදු නොවීමයි. බුදුරදුන් ආකංඛෙය්‍ය සූත්‍රයේ සීලයේ ආනිසංස රාශියක් පෙන්වා දෙයි.

“ සීලවා හි බහු මිත්තේ
සඤ්ඤාමේනාධි ගච්ඡති
දුස්සීලො පන මිත්තේහි
වංසතෙ පාපමාචරං “

සීලවන්ත පුද්ගලයා තමාගේ සිල්වත් කමින් බොහෝ මිත්‍රයන් ලබයි. දුසිල්වතා දුසිල්වත්කම හේතුවෙන් සිල්වත් මිත්‍රයන්ගෙන් ඈත් වෙයි. ලොව සුවඳවත් මනහර අලංකාර මල්වල සුවඳට වඩා සිල් සුවඳ උතුම් වෙයි.

“ චන්දනං තගරංවාපි
උප්පලං අථ වස්සිකී
ඒතේසං ගන්ධජාතං
සීලගන්ධො අනුත්තරෝ “

යනුවෙන් ඒ බව ධම්මපදයේ දී හමුවෙයි. සීලය ආරක්ෂා කිරීම පහසු නොවෙයි. අපහසුවෙන් හෝ විවිධ කැපකිරීම් තුළින් රැකගත් සීලය තමාගේ යහපත පිණිස ම පවතී. “ කිකීව අණ්ඩං චමරීව වාළධීවං පියංව පුත්තං එකකංව කානනං “ වශයෙන් කිරලියක් තමාගේ බිත්තර රැකීමට වෙහෙසෙන්නා සේ සෙමරමුවා තමාගේ අලංකාර වූ සෙමර වල්ගය ආරක්ෂා කර ගැනීමත්, මවක් තමාගේ එකම පුතා රැක ගැනීමට වෙහෙසෙන්නා සේ එක ඇසක් පමණක් ඇත්තේ එකී ඇස ආරක්ෂා කර ගැනීමට යම් වෙහෙසක් මහන්සියක් කැප කිරීමක් කරන්නේ ද එසේ සීලය ආරක්ෂා කිරීමට වෙහෙස ගත යුතු බව බුදුදහමේ උගන්වන පාඩම වෙයි. එයට හේතුව සීලය පුද්ගල විමුක්තිය සාධනය කරන මුල්ම පියවර වන නිසාත් යහපත් චරිතයක් ගොඩ නැගීමෙහිලා උපකාර වන නිසාත් ය.

පුද්ගලයාගේ බාහිර පැවැත්ම දෙස බලා ඔහු සිල්වතෙකි, ඔහු ගුණවතෙකි. ඔහු දුසිල්වතෙකි ආදී වශයෙන් අන්ධ භක්තියෙන් පූර්ව තීරණ හා නිගමන ගැනීම බුදු දහම අගය නොකරයි. විටෙක පසේ නදී කොසොල් මහරජු බුදුරදුන්ගෙන් විමසා සිටින්නේ “ ස්වාමීණි, ශ්‍රමණයන් අතුරෙහි සීලයෙන් ගුණයෙන් උස් පහත් ස්වභාවයන් පෙනේ, නියමාකාර වූ සිල්වතෙක් ගුණවතෙක් තෝරාගන්නේ කෙසේ ද?” යනුවෙන් ප්‍රශ්න කළ විට බුදුරදුන්ගේ පිළිතුර වූයේ “මහරජතුමනි, ඔබ සිල්වතෙක් ගුණවතෙක් වශයෙන් සිතන අය නිතර ආශ්‍රය කිරීමෙන් භජනය කිරීමෙන් ඔවුන් සතුව එකී ගුණාංගයෝ පවත්නේදැයි දැන ගැනීමට පුළුවන් බවයි ” මෙයින් පැහැදිලි වන්නේ යම් කෙනෙකුගේ සත් වූ ගුණයන් නිතර ආශ්‍රයෙන් දැන ගැනීමට හැකිවෙන බවය. අපිත් ඒ ගුණ හා ගුණවතුන් හඳුනා ගනිමු සිල්වතුන් බවට පත්වෙමු.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.