UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විහාරස්ථාන 8 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ගාලුපුර ඇසළ මහා පෙරහර

ඇසළ සමය සම්බුද්ධ ශාසනයට හා ලක්දිව ඉතිහාසයටත් එමෙන්ම පොදුවේ පෙරදිගටත් ඉතා සුවිශේෂ කාලපරිච්ඡේදයකි. වසර දහස් ගණනක් තිස්සේ ඇසළ උත්සව පැවැත්වෙන සමයකි.

බුද්ධ ශාසන ඉතිහාසයට අනුව මහ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක්‍රමණය කිරීම, ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම, වස්සාන කාලය ආරම්භ වීම වැනි සුවිශේෂි සිදුවීම් ඇසළ සමය හා සම්බන්ධය.

අදවනවිට ලෝක ප්‍රකටව පවතින මහනුවර දළදා පූජෝත්සවය හා පෙරහර පැවැත්වීම ද මෙකල සිදුවේ.

දෙවියන් මුල්කොට ගෙන උපහාර පුදපූජා හා උත්සව සහිත පෙරහර පැවැත්වීමටද මේ සමය ප්‍රසිද්ධය. කතරගම, දෙවිනුවර ආදී සිද්ධස්ථානවල මෙන්ම ගාලු ප්‍රදේශයට සමීපව සීනිගම, දේවාලය, උණවටුනේ වැල්ලේ දේවාලය ආදියෙහිද දේවපූජා හා පෙරහර පැවැත්වෙන්නේ ඇසළ සමය මුල්කොට ගෙනය.

පැරැණි ඉන්දියාවේද මේ කාලයේ ඇසළ සැණකෙළි පැවැත්වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. මෙවැනි පසුබිමක දකුණුලක අගනුවර ප්‍රධාන අඩුපාඩුවක්ව පැවති මහ පෙරහරක් ගාල්ල නගරය කේන්ද්‍රකොට ගෙන පැවැත්වීමේ සත්කාර්යය මීට වසර 10 කට පමණ පෙර ආරම්භ විය. එය අපේ සංස්කෘතිකාංග මතු පරපුරට දායාද කිරීමට මෙන්ම බුදුසමයට අනුගත වූ දැහැමි වින්දනයක් ජනතාව අතරට රැගෙන යෑමක් ලෙස හැඳින්විය හැකිය.

‘’ගාල්ල කනම්පිටිය සුහද මිතුරු’’ සංවිධානය සිය සාමාජ අධ්‍යාපනික හා සංස්කෘතික හා ආගමික මෙහෙවර අතරට ඇසළ පෙරහරක් සංවිධානය කොට පැවැත්විය යුතුයැයි ඒකමතිකව තීරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම මහා පෙරහර හැඳින්විය හැකිය.

තම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථාන 7 ක සහභාගිත්වය හා එම විහාරස්ථානයන්හි නාහිමිවරුන්ගේ අනුශාසකත්වය මේ සඳහා ලබා ගැනීමටත් සංවිධාන කටයුතු මිතුරු සංගමය මගින් සිදු කිරීමටත් ක්‍රියා කරගෙන යයි. ගාල්ල කොටිගලහේන ශ්‍රී පරමේන්ද්‍රාරාමය

ගාල්ල ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්‍රරාමය ගාල්ල මකුළුවේ ශ්‍රී‍්‍ර බුද්ධසිංහාරාමය ගාල්ල තෙංකල්ලාගොඩ ශ්‍රී සුභද්‍රාරාමය ගාල්ල කනම්පිටියේ භාවනා මධ්‍යස්ථානය ගාල්ල කනම්පිටියේ සාධුජන පුෂ්පාරාමය ගාල්ල මිලිද්දුව ශ්‍රී සුදර්ශනාරාමය යන විහාරස්ථාන 7 හා එක්ව ආරම්භයේදී පෙරහර පැවැත්වූ අතර මේ වර්ෂයේ සිට ගාල්ල ජම්බුකැටියේ සිරි සුගතාරාමය ද එක්වීම හේතුවෙන් විහාරස්ථාන අටක් ඒකාබද්ධව පවත්වනු ලබන මහා පෙරහර බවට පත්වීමේ ගෞරවය ගාලුපුර ඇසළ පෙරහර දිනාගෙන ඇත.

මෙම විහාරස්ථානයන්හි නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභා - දහම් පාසල්, වෙනත් සමිති සංවිධානවල සහාය පෙරහර සඳහා නිරන්තරයෙන් හිමිවී තිබේ.

විහාරස්ථාන නියෝජනය කරනු ලබන නැටුම් කණ්ඩායම්වලට අමතරව ප්‍රසිද්ධ පෙරහර සඳහා සහභාගිවන උඩරට, පහතරට, සබරගමු ආදී විවිධ සම්ප්‍රදායන්ට අයත් නර්තන කණ්ඩායම් හා අලි ඇතුන්ගෙන් සමන්විතව මෙවර පෙරහර අලංකාරව වීථි සංචාරය කිරීමට නියමිත ව තිබිණි.

එක් වර්ෂයක එක් විහාරස්ථානයකින් පෙරහර අරඹා එම විහාරස්ථානයට පැමිණීමෙන් පෙරහර නිමාවන අතර මේ වර්ෂයේ ගාලුපුර ඇසළ මහා පෙරහර ගාල්ලේ ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාමයෙන් පෙරහර ආරම්භවීමට නියමිතව තිබිණි.

සැප්තැම්බර් 3 වනදා සවස පෙරහර ආරම්භක අවස්ථාවට විහාරස්ථානයන්හි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වැඩමවන අතර විශේෂ ආරාධනයෙන් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යතුමන්, ගාල්ල මහ දිසාපතිතුමන්, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය මහ ලේකම්තුමන් ඇතුළු සම්භාවනීයයන් රැසක් සහභාගිවීමට නියමිතව තිබිණි.

මෙහිදී පෙරහරේ වැඩම වන සධාතුක කරඬුව රථයේ තැන්පත් කොට ආශිර්වාද පවත්වමින් වැඩමවන පිරිත් දේශනා රථය සහිතව රිය පෙරහරක් ගාල්ල නගර ශාලා පරිශ්‍රයට සම්ප්‍රාප්තවී එතැන් සිට නර්තන කණ්ඩායම් ඇතුළු පෙරහර ආරම්භ කිරීමට කටයුතු සූදානම් කොට ඇත.

සධාතුක කරඬුව සහිතව දර්ශනීය පෙරහර ගාල්ල නගර මධ්‍යයෙන් අරඹා මහවීදිය, දංගෙදර වීදිය, කෝන්ගහ හන්දිය, සරෙන්තුකඩේ හන්දිය, තනිපොල්ගහ හන්දිය, මිලිද්දුව හන්දිය ඔස්සේ ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාමයට සම්ප්‍රාප්තවීමෙන් මෙවර පෙරහර අවසන්වීමට නියමිතය. ව්‍යාපාරික ප්‍රජාව ගාලුපුර බොදු සවිය සංවිධානය, ගාල්ල මහ නගර සභාව, ගාල්ල පොලිසිය හා විවිධ ස්වේච්ඡා සංවිධාන පරිත්‍යාගශීලින්ගේ සහාය මේ සඳහා ලබාගෙන ගාල්ල කනම්පිටිය සුහද මිතුරු සංවිධානය මෙහිලා මැනවින් සම්බන්ධීකරණය කරනු ඇත.

අපේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීමට මෙන්ම නූතන පරපුරට දැකබලා ගැනීමට හා ධාර්මික වින්දනයක් මගින් සිත් සතන් සනහාලන ගාලුපුර ඇසළ පෙරහර චිරාත් කාලයක් පවතීවා!

බිනර මස පුර අටවක

බිනර මස පුර අටවක පෝය සැප්තැම්බර් 04 වන දා ඉරිදා පූර්ව භාග 11.58 ට ලබයි.
05 වනදා සඳුදා පූර්ව භාග 10.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]