UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පින් සිතිවිලි වඩවන වස් සමය

වසරකට වතාවක් එළඹෙන පින්බර වස් සමය අප කාටත් පින් සිතුවිලි වඩවන කාල පරිච්ඡේදයක් ලෙස හැඳීන්විය හැකිය. තෙමසක් තුළ පවතින එම කාල පරිච්ඡේදය තුළ ගිහි පැවිදි දෙපක්‍ෂයේම චර්යාමය වෙනසක් ඇතිකරවනවා සේම ආධ්‍යාත්මික සුවය ද වඩවනු ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවවාද අනුශාසනා වලට අනුව භික්‍ෂූන් වහන්සේලා විනය සික්‍ෂා පද ආරක්‍ෂා කරමින් වස් සමාදන් වීම හා වස් සික්‍ෂා පද ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිද්ධ කරනු ඇත. විශේෂයෙන් මේ කාලය තුළ වත් පිළිවෙත් ගැන ගිහි පැවිදි දෙපක්‍ෂයම දැඩි අවධානයක් යොමු කරනු ඇත. “වත්තන්න පරි පුරෙන්තො - න සීලං පුරති” වත් පිළිවෙත් සම්පූර්ණ නොකිරීම තුළින් සීලය වර්ධනය නොවන බව පැහැදිලි කොට ඇත.

එම හේතුව නිසාම විශේෂයෙන් පැවිදි පක්‍ෂය තුළ වෙනදාට වඩා වත් පිළිවෙත් සම්පූර්ණ කිරීමක් දක්නට ලැබේ. පාන්දරින් අවදි වී මළු පෙත් නැමද මුළු දවසම සිත, කය, වචනය සංවර කොට ගෙන ඒ ඒ වත් පිළිවෙත් වල නියැළෙනු ඇත. එම වත් පිළිවෙත් සිදු කරන්නේ ද ඉතා ඕනෑකමින් හා වගකීමෙන්මය. බෝධිය චෛත්‍යය හා විහාරගෙය යන ත්‍රිවිධ චෛත්‍යය වෙත වැඳීම් පිදීම් හා පිරිසුදු කිරීම් කටයුතු සිද්ධ කිරීම් ඉතා ඉහළින් සිද්ධ කරනු ඇත. එතුළින් මානසික සහනශීලිතාවය හා නිරවුල් චෛතසික වර්ධනය සිදුවීම අනිවාර්ය කාර්යයකි.

ගිහි පිරිස විසින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව් පසයෙන් උපස්ථාන කිරීමේ කටයුතු සිද්ධ කරනු ඇත. වෙනදාට වඩා ඉතා ඕනෑකමින් හා ශ්‍රද්ධා ගෞරවයෙන් එම කටයුතු සිදු කිරීමට දායක පක්‍ෂය වශයෙන් ඔවුහු වග බලා ගනිති. පැවිදි පක්‍ෂය විසින්ද වෙනදාට වඩා වස් දානය පිළිබඳ සැලකිලිමත් වී ධර්ම දානයෙන් සංග්‍රහ කටයුතු සිද්ධ කරයි.

සමහර් විහාරස්ථාන වල නොකඩවා සවසට මල් පහන් පූජා, බෝධි පූජා සිද්ධ කරන්නේ ය. එහිදී පුංචි ළමා ළපටින් කලින්ම විහාරස්ථානයට පැමිණ අතුපතු ගෑම ඇතුළු පිරිසුදු කටයුතු කිරීම දක්නට ලැබීම වැඩිමහල්ලන්ට පවා සතුට වඩවන කරුණකි. ආගම ධර්මයට අනුව හැදෙන වැඩෙන දුවා දරුවන්ගේ ස්වභාවය වස් කාලය තුළ වඩාත් යහපත් වේ. විශේෂයෙන් අනාගතය බාර ගැනීමට සිටින කුඩා දූදරුවන් සඳහා වස් කාලයෙන් ලැබෙන චර්යාමය වෙනස ඉතා ඉහළ ය.

පින යනු සිත පිනා යෑමය. ‘චිතතං පුනාතීති පුඤ්ඤං’ සිතේ ප්‍රසන්න බව නොහොත් සතුට පිනය. ඒ සඳහා සිත පිරිසුදු විය යුතු ය. එනම් අකුසල මූල වූ ලෝභ, ද්වේෂ, මෝහ වෙනුවට අලෝහ, අදෝෂ, අමෝහ සිතුවිලි පහළ වීමය. එම විපර්යාසය වස් කාලය තුළ අනිවාර්යෙන්ම සිදු වේ. පින් සිතුවිලි වර්ධනය කර ගැනීමට හොඳ දෙයකින් මිස නරක දෙයකින් පුළුවන්කමක් නැත. පින්කම් අතර කඨින පින්කම ශ්‍රේෂ්ඨ හා බලවත් බව දහමෙහි සඳහන් වේ. එම උතුම් උදාර පින්කම පෙරමුණෙහි තබාගෙන වස් තුන් මාසය තුළ සිදු කරන යහපත් ක්‍රියා තුළින් පින් සිතුවිලි වර්ධනය වීම අමුතුවෙන් කිව යුතු නැත. වස් කාලය තුළ සමහර විහාරස්ථාන වල දායකත්වයක් නොදරන අය පවා පැමිණ විහාරස්ථානයේ වැඩ කටයුතු වලට උදව් උපකාර කිරීමද ආගමික කටයුතු සඳහා සම්බන්ධ වීමද සිදු කරති. තවත් කෙනකුගේ මඟ පෙන්වීමක් නොමැති වුවත් හොඳ කුසල කටයුතු කිරීමට වස් කාලය තුළ ඕනෑම කෙනකු පෙළඹීම සාමාන්‍ය දෙයකි.

බොහෝ දුරට විහාරස්ථාන වල නඩත්තු කටයුතු හා අභිවෘද්ධිය පිණිස සිදුවන කටයුතු සඳහා දායකයින්ගේ ආධාර උපකාර ලැබෙනු ඇත. පන්සල් අලුත්වැඩියා කිරීම්, පන්සලේ නැති අංගෝපාංගයන් ඉදි කිරීම ආදී කටයුතු සිදුවේ. කඨින චීවරය භාරගත් පින්වතා ලොකු මුදලක් ඇති කෙනකු නම් ඔහුගේ තනි වියදමෙන් විහාරස්ථානයෙහි නැති වන්දනාමාන කිරීමට අවශ්‍ය දෙයක් හෝ, භික්‍ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා අවශ්‍ය දෙයක් හෝ ඉදි කර දෙනු ඇත. දුෂ්කර ප්‍රදේශවලනම් සියලු දායකයින්ගෙන් ආධාර මුදල් එකතු කොට විහාරස්ථානය අලුත්වැඩියා කිරීම හෝ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ඇත.

ආමිස පූජා, හා ප්‍රතිපත්ති පූජා යන පින්කම් දෙකම වස් කාලය තුළ ඉතා ඉහළින්ම සිදුවේ. එලෙසම දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාද සිදුවේ. ඊට අමතරව, තෙලෙස් ධූතාංග පිළිබඳවද විහාරස්ථ භික්‍ෂූන් වහන්සේලා වැඩි සැලකිල්ලක් දක්වනු ඇත. මේ සෑම දේකින්ම සිදු වන්නේ පින් සිතුවිලි වර්ධනය වීමය. පින යනු සත්වයාගෙ මෙලොව පරලොව සැපවත් කරවන ශක්තියකි. ‘ඉධ මෝදති පෙච්ච මෝධති’ පින් කළ ඇත්තෝ මෙලොවත් සතුටු වෙති. එබැවින් අපි නිතර පින් කළ යුතු ය. පින් නොමැති වීමෙන් හා අඩු වීමෙන් ජීවිත වල නොයෙක් අඩුපාඩුකම් වගේම සැප විපාක වල අඩුපාඩුකම් සිදුවනු ඇත. එනිසා පින් කිරීමට කම්මැලි විය යුතු හෝ පසුබට විය යුතු නැත.

“අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ”

යන ලෝවැඩ සඟරාවෙහි කියමනට අනුවද අද අදම පින් කර ගත යුතුව ඇත. හෙට, අනිද්දා, තව කාලෙකින් මාරයා එයි කියා නොසිතිය යුතු ය. හොඳ දේ කිරීමට උනන්දු විය යුතු අතර නරක දේ කිරීමට ලැජ්ජා බිය ඇති කර ගත යුතු ය. එම කරුණු සිතට ගෙන තව තවත් පින් සිතුවිලි වර්ධනය කර ගනිමින් මනුෂ්‍යත්වය අර්ථවත් කර ගැනීමටත්, ගුණ ධර්මයෙන් අලංකාර වීමටත් වස් කාලය තුළ විහාරස්ථානය හා සම්බන්ධව තම කායික මානසික දෙඅංශයම යොදවා සියලු යහපත් කටයුතු සාර්ථක කර ගන්නා ලෙසට ද ඉල්ලා සිටීමට කැමතියි.

බිනර මස පුර අටවක

බිනර මස පුර අටවක පෝය සැප්තැම්බර් 04 වන දා ඉරිදා පූර්ව භාග 11.58 ට ලබයි.
05 වනදා සඳුදා පූර්ව භාග 10.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]