UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝක සාමය සඳහා බුදුදහම

අපේ පාලනය නතු කර ගත නොහැකි, ඉන් පරිබාහිර තවත් අපමණක් දේ ඇති බව අප විසින් පිළිගත යුතු යථාර්ථයයි. ඒ කෙසේ වෙතත්, අපට තෝරා ගැනීමට යමක් ඇත. එක්කෝ බාහිර ලෝකය වෙතින් අප බලාපොරොත්තු වන ප්‍රතිඵලයක් අපට නොලැබෙන විට නොසැලී සිටීම හෝ නැතහොත් අප ඉදිරිපිට අපෙන් බාහිර ලෝකය සිඳී බිඳී යන විට නිදහස්ව සිටීම හෝ එසේත් නොවේ නම් අපට බාහිර ලෝකයෙන් සාධාරණයක් ඉටු නොවන කල්හි එය දරා සිටීම වැනි දේවල් ය. ඒ අතර මානව ජීවින් ලෙස බාහිර ලෝකයේ සිදුවන්නේ කුමක්දැයි නොසලකා, අභ්‍යන්තර වශයෙන් දුසිරිත්වලට එරෙහිව සටන් කරන්නට තීරණය කිරීම මගින්, කෝපය, භීතිය, ඊර්ෂ්‍යාව , තෘෂ්ණාව ආදි කෙලෙස් මැඩ පවත්වා ගැනීමේ ශක්තියක් අපට ඇත.

බුදුන් වහන්සේ අපට ශ්‍රේෂ්ඨ වූ ධර්මයක් උගන්වා තිබේ. අප ඒ ධර්ම මාර්ගය අනුගමනය කැරේ නම් , එය ස්ථාවර ලෙස පිළිපදී නම් ද පර්වතයක් සේ නොසැලී සිටින්නට අපට හැකිය. එවිට බාහිර වූ කිසිදු සිදුවීමකින් සැලෙන්නට වුවමනා නැත. අද අප අත්දකින ලෝකයේ පවතින මූලික අනවබෝධයක් නම්, යුද්ධය මුලිනුපුටා දමන්නට නීතිය, දණ්ඩනය, ප්‍රතිපත්ති, විරෝධතා , සම්මන්ත්‍රණ , සම්මේලන සහ සාකච්ඡා වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමයි. මේ සියල්ල එක්තරා මුලාවක් පදනම් කොට ඇති බව පෙනේ. එනම්, ඉහත සඳහන් බාහිර ව්‍යාපෘති මඟින් අපේ සිත් තුළ උපදින මුලාවට පිළියම් යෙදිය හැකි යැයි සිතීමයි. බුදුදහම කිසිසේත් යුද්ධය යන වචනය ශබ්දකෝෂයන් ඉවත් කරන්නට අදහස් කරන්නේ නැත.

බුදුන් වහන්සේ අපට එක්තරා සටනක් ගැන උගන්වා ඇත. ඒ සටන බෙහෙවින් අද අපට අසන්නට ලැබෙන සටන් වලින් ඉඳුරා වෙනස් එකකි. එහිදීත් අපට බලවත් වෙහෙසක් දරන්නට සිදුවී තිබේ. එනම් කෝපය, ඊර්ෂ්‍යාව, ද්වේෂය, මෝහය ,ලෝභය වැනි දුෂ්චරිතයට විරුද්ධව කරන සටනයි. අප ආයුධ ලෙස හඳුන්වනු ලබන නූතන ජන ඝාතක මෙවලම් වෙනුවට බුදුන් වහන්සේ, කෙලෙස් සතුරනට එරෙහිව සටන් කරන්නට ප්‍රඥාව, කරුණාව, මෛත්‍රිය , ඉවසීම, අධිෂ්ඨානය ආදී අවි පද්ධතියක් හඳුන්වා දුන්හ. උන්වහන්සේගේ අනුශාසනයෙන් අදහස් කරන ලද්දේ අප ඒවායින් කෙලෙස් සතුරනට පහර දෙන ශිල්පය අපට ම තේරුම් ගන්නට මඟ පෙන්වීමයි. අපට ගෝලීය සාමය වුවමනා ද නැද්දැ යි තීරණය කිරීම අප ම බාරගත යුතු යැයි බුදුදහම උගන්වයි.

මේ තත්ත්වය බලාපොරොත්තු රහිත සහ අපේ වගකීමෙන් තොර එකක් නොවේ. එසේ තිබියදී අපට හැකි කිසියම් සේවාවක් ඉටු නොකළෙහොත් , අන් කවරෙක් හෝ ඒ වගකීම ඉටු කරත්ද? සාමය හෝ යුද්ධය අපේ තීරණය මත රඳා පවතී. බුදුදහමේ මූලික අරමුණ සාමයයි. එය අප ජීවත් වන මිහිතලයට පමණක් සීමාවූවක් නොවේ. අන් සියලු ලෝක වලටත්, එනම් සමස්ත විශ්වයට ම අදාළ සාමයකි. සාම මාවතේ මුල් ම පියවර වන්නේ සාමයට හේතුව තේරුම් ගැනීම බව බුදුන් වහන්සේ අපට ඉගැන්වූ සේක. සාමයට හේතුව වශයෙන් පවතින්නේ කුමක් දැයි අප තේරුම් ගත් විට , එහිලා අපේ ප්‍රයත්නය යොමු කළ යුත්තේ කවර අතට දැයි අපට තේරුම් ගත හැකි වනු ඇත. උඳුනක් මත බුබුළු දමමින් පැහෙන සූප බඳුනක් අප කෙතරම් වේගයෙන් හැඳිගෑවත් එය සිසිල් වන්නට ඉටුවන සේවාවක් නැත. අප සූප බඳුන උඳුනින් ඉවත් කර ගත් හනික සූපය තමා ම සිසිල් වන්නට පටන් ගන්නා අතර, අපේ හැඳිගෑමෙන් සිසිල්වීම ඉක්මන් වනු ඇත.

සැබවින්ම හැඳිගෑම සූපය ඉක්මනින් නිවීමට හේතුවෙයි. එහෙත් එසේ වන්නේ අප පළමුවෙන් සූපබඳුන උඳුනින් ඉවත් කළහොත් පමණි. ඒ හැර අපට අපේ ගවේෂණයේදී සාමය සඳහා පිටුබලයක් විය හැකි නොයෙක් ශීතකර ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට සිදුවෙයි. එහෙත් අප පළමුවෙන් මූලික ප්‍රශ්න ගැන සාකච්ඡා නොකළහොත් හෝ ඒවා කෙරෙහි අවධානය යොමු නොකළහොත්, අන් සියලු ප්‍රයත්න හෝ උපායමාර්ග නිෂ්ඵල වනු ඇත. බුදුන් වහන්සේ සාමකාමි සිතිවිලි, සාමකාමි වචනයට සහ සාමකාමි ක්‍රියාවනට අප මෙහෙයවන බව අපට කියා දී ඇත. ජීවත් වන අප සියලු දෙනාගේ සිත් සාමයෙහි ස්ථාවර වන්නේ නම්, එකල්හි මුළු ලෝකය සාමයෙහි පිහිටනු නියත යි.

බුදුන් වහන්සේ එයින් නතර වූයේ නැත. උන්වහන්සේ ආදරය හා කරුණාව මගින් අපේ සිතිවිලි සමෘද්ධිමත් කර ගන්නේ කෙසේ දැයි ඉගැන්වූහ. එමඟින් සිත එය කිලුටු කරන කෝපය, ද්වේෂය ආදී අකුසල ධර්මවලට එරෙහිව මෙහෙයවන්නට ශක්තිමත් කර ගත හැකි වනු ඇත. උන්වහන්සේගේ් උපදේශය වූයේ මෙසේ සිතන ලෙසයි.

“ මම ද්වේෂයෙන් මිදෙම්මා. මම කෝපයෙන් මිදෙම්වා.මම ඊර්ෂ්‍යාවෙන් මිදෙම්වා.මම මානසික දුකින් මිදෙම්වා.මම කායික දුකින් මිදෙම්වා. මම සාමයෙන් දිවි ගෙවම්වා. මම සතුටින් ජීවත් වෙම්වා. “ මෙය හුදෙක් ප්‍රාර්ථනයෙන් පමණක් ඵලදායක වන්නේ නැත. ඒ සඳහා පිළිවෙතින් ද හැඩගැසීම මැනවි.

බුදුන් වහන්සේගේ අනුශාසනය වූයේ එතැනින් තවත් ඉදිරියට යන ලෙසයි. එනම් එම චින්තන ක්‍රියාවලිය අපේ මවුපියන් වෙතත්, ඉක්බිති අප ජීවත් වන නගරය, පළාත, රට සහ මුළු ලෝකය වෙතත් ව්‍යාප්ත කරන්නට යි. මවක් යම් සේ තම එකම දරුවා ආරක්ෂා කරන්නී ද, එමෙන් ලොව වසන සියලු දෙනා විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා ආරක්ෂා කරන ලෙස බුද්ධානුශාසනයෙන් අපට කියනු ලැබේ. බුදුන් වහන්සේ සිය ශ්‍රේෂ්ඨ ධර්මය හතළිස් පස් වසරක් පුරා දේශනා කළහ. එම කාල පරාසය තුළ එක වචනයකින් පවා යුද්ධය අගය කැරුණේ නැත. වරක් බුදුන් වහන්සේ එක් කතා පුවතක් ඇසුරින් යුද්ධය ගැන මෙසේ විවරණය කරති.

බුද්ධත්වයෙන් අවුරුදු හතරකට පසු රෝහිණී නදියේ ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් ශාක්‍ය හා කෝලීය ඥාති පිරිස් අතර යුද්ධයක් ඇවිළෙන්නට සූදානමක් තිබිණ. ඒ අසා ශාක්‍යයන්ගේ කපිලවස්තු පුරයට පැමිණ බුදුහු හමුදා දෙක අතර සිටගත්හ. ඉක්බිති දෙපසේ හමුදා නායකයන් ඇමතූ බුදුන් වහන්සේ, “ ඔබ සූදානම්ව සිටින්නේ කුමක් සඳහා දැ” යි විමසූහ. ඔවුන්ගේ පිළිතුර වූයේ යුද වදින්නට බවයි. එයට හේතුව කුමක් දැයි ඇසූ විට ගොවිතැන් සඳහා කුඹුරු වලට ජලය ලබා ගන්නට බව පැවසින, එවිට බුදුහු මෙසේ ඇසූහ. “ මිනිස් ජීවිත සමඟ සසඳන විට ජලය කෙතරම් වටී ද? “ එවිට ලැබුණු පිළිතුර වූයේ ජලයේ වටිනාකම ඉතා සුළු බවයි. “එසේ නම්, ජීවිතය සමඟ සසඳන විට වටිනාකමින් බෙහෙවින් අඩු ජලය නිසා සටන් වැද මිනිස් ජීවිත විනාශ කරන්නේ කුමට දැ”යි බුදුන් වහන්සේගේ ප්‍රශ්නය විය.

ඉක්බිති බුදුන් වහන්සේ නොයෙක් උපමා දක්වමින් මෙසේ අනුශාසනා කරති. “ වැරදි වැටහීම් නිසා මිනිසුන් යුද්ධ කරන්න පෙළෙඹෙනවා. ඒ නිසා එක එක්කෙනාට හිරිහැර කරනව. මිනී මරා ගන්නව. එක එක්කෙනා තම තමන් සහ අනික් අයත් තේරුම් ගන්න උත්සාහ කළ යුතුයි. තවත් හැටියකින් කියනව නම්, වැරදි තේරුම් ගැනීම නිසා පුද්ගලයන් දුක්ඛිත ඉරණමට මූණපානව. “ එසේ කරුණු පැහැදිලි කළ බුදුන් වහන්සේ සාවධානව සිතා බලන්නට උපදෙස් දුන්හ. මෙසේ ඥාතී දෙපුරවරයෙහි වැසියෝ යුද්ධයෙන් වළක්වන ලද්දෝය. එමඟින් සිය ගණනකගේ ජීවිත විනාශයෙන් වැළකින.

ප්‍රාණඝාතය තෙක් දිගින් දිගට යන බලාත්කාරය සහ සාහසිකත්වයෙන් කිසිම ප්‍රශ්නයක් කිසිම විටක විසඳිය නොහැකි බව බුද්ධ දේශනාව අපට උගන්වයි. ඝාතනය, බිය සහ වෛරය ජනනය කරන අතර, වඩ වඩාත් වූ බිය සහ වෛරය, වඩ වඩාත් ඝාතනය ජනනය කරයි. එය කෙළවරක් දකිනු නොහැකි විෂම චක්‍රයකි. එක් ජාතියකට අයිති ජනතාවක් විසින්, වෙනත් ජාතියකට අයිති ජනතාවක් ආක්‍රමණය කර යටත් කරනු හෝ ඝාතනය කරනු ලබත් ද, ඒ හනික හෝ පසුව ආක්‍රමණය කරනු ලැබූ ජාතීයට එහි පලිය ගන්නට අවස්ථාවක් එළඹෙනු ඇත. සත්තකින් ම අන්තිමට බලන විට කවරදාක හෝ කිසිදු ප්‍රශ්නයක් යුද්ධයකින් සාධනීය ආකාරයෙන් විසඳනු ලැබ තිබේද?

මේ මොහොතේ පවා අපි මිහිමත මානව සංහතිය මුළුමනින් විනාශ කර දමන්නට තර්ජනය කරන ගෝලීය යුද්ධයක අවදානම් පියවරේ නොසිටිමු ද? එසේ නම් එය සිදුවිය හැකි වන්නේ කවරදා ද? ඇතැම් විට පුද්ගලයන්ගේ සාමූහික ආත්මාර්ථකාමිත්වය ඔවුන්ගේ තෘෂ්ණාධික බලාපොරොත්තු එනම්, ලිංගික කාමුකත්වය, ධන සම්පත් සහ බලය ලුහුබඳින්නට පටන් ගන්නා ඕනෑම මොහොතක එය සිදු විය හැකිය. කෝපය, ද්වේෂය සහ කුරිරු අහංකාරය නිසා ඇති වන කලකිරීම පුපුරා යෑම මගින් පුද්ගලයන්ගේ සිත් තුළ අනෙක් අය කෙරෙහි ඇති සාමූහික කරුණාව යටපත් කරනු ලැබේ. එසේම අනෙක් අය තුළ ඇති ධනාත්මක අභිලාෂයක් සහ ජීවිත ගරුත්වය ද මැඩලනු ලැබේ. එවිට සිතිවිලි මත සිතිවිලි ඇති කරන අදිසි සාමූහික පීඩනය අස්ථීර සමබරතාව තව දුරටත් වෙනස් කරයි. සමස්ත මානව සංහතියේ පුද්ගලයන්ගේ සිත් එකට ගත් කල්හි. එයින් සාමකාමි සිත් වැඩි නම්, මුළු ලෝකය ම සාමයට නැඹුරු වනු ඇත. සාහසික සිත් ඇත්තන්ගේ ගණන වැඩි නම්, ලෝකය යුද්ධයට නැඹුරු වනු නියතය.

බෞද්ධ දර්ශනය මිහිතලය සාමය වෙත නැඹුරු කරවන්නට යොදා ගත හැකි ය. බුදුන් වහන්සේ යුද්ධය පිළිබඳ ගැටලුව කර්මය මත තබා දුටු සේක. යුද්ධයට විසඳුම සදාචාරාත්මක ඉගැන්වීම සහ චරණය හෙවත් පිළිවෙත මත රඳා පවතින බව උන්වහ්න්සේ විසින් දක්නා ලදී. යහපත් හෙවත් කුසල ක්‍රියා පුද්ගලයාට හිතකර ප්‍රතිඵල ගෙන දෙන අතර, අයහපත් හෙවත් අකුසල ක්‍රියා පුද්ගලයාට අහිතකර ප්‍රතිඵල ගෙන දෙයි. ඔබ මුං වපුළහොත් ඔබට මුං අස්වනු ලැබෙනු ඇත. උඳු වපුළහොත් ලැබෙන්නේ උඳු අස්වනුයි. ඔබ යුදබීජ වපුළහොත් යුද්ධයක්, සාමබීජ වපුළහොත් සාමයත් ලැබෙනු ඇත.

සාම බීජ අංකුරලා වැඩෙන්නට මෛත්‍රිය නමැති ජලය වුවමනා බව බුදුන් වහන්සේ අපට උගන්වා ඇත. සාමබීජ වැඩෙන්නට රුකුලක් ලෙස තමන්ගේ අනුගාමිකයනට අදාළ නියමිත ශික්ෂා පිළිපදින්නට අනුදක්නා ලදී. ශික්ෂා වනාහි සාමබීජ අංකුරලා වැඩෙන්නට අත්‍යවශ්‍ය ජලය වැනි යැයි බුදුන් වහන්සේ පැහැදිලි කළහ. ජලයෙන් තොරව කවර බීජයක්වත් අංකුර ලන්නේ නැත. ශික්ෂාවෙන් හෙවත් හික්මීමෙන් තොරව පුද්ගල මනසේ රෝපණය කරන ලද මෛත්‍රිය නමැති බීජ වියළී යනු ඇත.

බෞද්ධ ඉගැන්වීමේ මූලිකතම සදාචාරාත්මක ශික්ෂාව නම්, ජීවිතයට හෙවත් ප්‍රාණයට ගරු කිරීම සහ ජීවිත හානියට විරුද්ධ පිළිවෙතයි. ජීවියකුට ඇති ප්‍රබලතම බලාපොරොත්තුව නම්, පණට ඇති ආදරයයි. ඒ ආදරය හෙවත් බලාපොරොත්තුවට බාධා කරන කල්හි එයට ප්‍රතිචාරය වන්නේ විශ්වසනීයත්වයෙන් තොර දැඩි කෝපයයි.

ප්‍රාණඝාතය තහනමට වෙනත් විකල්ප නැති අතර, පිළිගන්නා ලද බුද්ධිමත් තර්කයක් ද නැතැයි බුද්ධ දේශනාවෙන් ඉගැන්වෙයි. ප්‍රාණඝාතයට අයිති වන්නේ මිනිස් ජීවිත හානිය පමණක් නොවේ. එයට සංවේදි සියලු ජීවීහු ගැනෙති. ඝාතනයෙන් සිදුවන අකුසල කර්මය මඳකින් හෝ පාලනය කිරීම බඳුනක් තුළ පැහෙමින් උඳුනක් මත කැකෑරෙන සූපයක් බීමට බාතැබීමක් වැනි ය. කවර ආකාරයක හෝ ඝාතනයෙන් තොර වුවහොත් මිහිතලය කෙතරම් සාමකාමි වේ දැයි සිතා බලනු මැනවි.

පුළුල් වාච්‍යාර්ථයෙන් ගතහොත් අදින්නාදානය හෙවත් හොරකමට එරෙහි තහනමෙන් කියවෙන්නේ කිසිවකු විසින් තමාට නුදුන් දෙයක් නොගත යුතු බවයි. පුද්ගලයන්, සංස්ථා හෝ ජාතික වශයෙන් වුවත් සොරකම කිරීම සිදුවන්නේ කෑදරකම හෙවත් ලෝභය නිසාය. ඓතිහාසික ටෙ‍්‍රීජන් යුදසමයේ සිට මුසාවාදය සේ ම ලිංගික දුරාචාරය යුද්ධයට නිමිත්තක් වී තිබේ. කලාතුරකින් ජාතික නායකයන්ගේ හැසිරීම යුක්ති සහගත සහ සාමකාමිවූ අවස්ථා ඇතත් ඔවුන්ගේ මනස සුරාවෙන් අවුල් සහගත බවට ගිය අවස්ථා ඉතිහාසයේ දුලබ නොවේ. ලෝකය පුරා වැඩිතරයක් රටවල සාමයට අන්තර්ගෝලීය මත්පැන් සහ මත්ද්‍රව්‍ය වෙළෙඳාම බලවත් අවහිරයක් වී ඇත. පුද්ගලයා උමතු භාවයට පත් කරන සුරාපානය බුද්ධ දේශනාවෙන් ද ප්‍රතික්ෂේප වී ඇත.

සැබවින්ම සාමය යනු සොඳුරු සිතිවිල්ලකි. කෙනකුට එසේ සිතෙන්නට පුළුවන. එහෙත් අප ජීවත් වන මේ මිහිතලය මත එවන් සාමයක් යථාර්ථයක් බවට පත් කර ගන්නේ කෙසේද? එය හුදෙක් අනුචිත අභූතයක්ද? සැබවින් ම එසේ සිතීම නොමැනවි. ඇයි ද යත්, සාමය යනු නොවිය හැකි දෙයක් නොවන හෙයිනි. සහතික ලෙස කියතොත්, ඉතිහාසය පුරා මිලියන ගණනින් වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් තමන්ගේ සිත් තුළ මෛත්‍රි බිජුවට රෝපණය කර ඇතිවා පමණක් නොව, අතිමානුෂීය පියවරින් තමන්ගේ චිත්ත සන්තානයෙන් සියලු ආකාර දුරාචාරය මුලිනුපුටා දමා ද ඇත.

සුපුරුදු පරිදි බුදුන් වහන්සේ අපට විශ්වාසය තබන්නට ඉගැන්වූයේ කුමක් කෙරෙහි ද? උන්වහන්සේගේ උපදේශය වූයේ තමා තමන් කෙරෙහි විශ්වාසය තබන ලෙසයි. ඒ අනුව අපි අප තුළ ඇති යුද්ධය දිනා ගැනීමට හැකි බව කෙරෙහි විශ්වාසය තබමු. අපට අපේ යහපත පිණිස කෝපය, ඊර්ෂ්‍යාව, වෛරය සහ ලෝභය පරාජය කරන්නට හැකි බව විශ්වාස කරමු. එවන් විජයග්‍රහණයක් ලබා ගන්නට මනුෂ්‍යත්වයට හැකි බව බුදුන් වහන්සේගේ අනුශාසනයයි. ඒ අනුව සාමබීජ සිත් තුළ රෝපණය කරමින් ද, ශික්ෂා මඟින් ඒවා ආරක්ෂා කරමින් ද මෛත්‍රිය ප්‍රගුණ කරන්නට කැප වෙමු.

2011.06.23 වනදා බුදුසරණ පත්‍රයේ Noble Friends of Toronto කර්තෘත්වයෙන් පළ කරන ලද Buddhism for World Peace  මැයින් වූ ලිපියෙන් සැකසිණ.

 

බිනර මස පුර අටවක

බිනර මස පුර අටවක පෝය සැප්තැම්බර් 04 වන දා ඉරිදා පූර්ව භාග 11.58 ට ලබයි.
05 වනදා සඳුදා පූර්ව භාග 10.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]