Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පන්සල ක්‍රියාකාරී ස්ථානයක් බවට පත් කළ යුතුයි

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් තරුණ පිරිස නිසි මඟට ගැනීම සම්බන්ධව විහාරස්ථානයට විශාල කාර්ය භාරයක් පැවරී තිබෙනවා. විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේටත් දායක සභාවටත් සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොට පැවරී ඇති කාර්යයන් ප්‍රමාණයද සුළු පටු නොවන අතර එය ඉටු කිරීම ද අපහසු නැහැ.

2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් විහාරස්ථාන ඇසුරු කොට විශාල කාර්ය භාරයක් සිදුවුණා. එහි ප්‍රතිඵල අපට අදත් බලාගන්න පුළුවන්. එමනිසා 2600 සම්බුද්ධත්ව ජයන්තියේදී බෞද්ධයාගේ සංවර්ධනය පිළිබඳව විහාරස්ථානය කේන්ද්‍රීය කරනු ලබන කාර්යයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මෙහිදී අප විශේෂයෙන්ම අවධානය යොමු කළ යුත්තේ තරුණ පරපුර පිළිබඳවයි. තරුණ පිරිසෙන් සමහර අයෙක් අද බොහෝ දුරට පන්සලෙන් ඈත් වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වුණත් අද තරුණ පිරිස ආගම කෙරෙහි ලොකු උනන්දුවක් තියෙන අවදියක්. බෞද්ධ පොත පත වැඩිපුර කියවනවා. භාවනා ගැන ලොකු අවබෝධයක් උනන්දුවක් තියෙනවා. එවන් තත්ත්වයක් තිබියදීත් තරුණ පිරිස පන්සලෙන් ඈත්වන බවක් පෙනෙන්නට ඇත්තේ ඇයි ?

අතීතයේ සිටම ගමත් පන්සලත් අතර ලොකු බැඳීමක් තිබුණා. පන්සල තමයි ගමේ වැදගත්ම ස්ථානය වුණේ. ගොවිතැන් කරපු ගම්වැසියන් කුඹුරු වැඩ කරල පුළුවන් හැම දවසකම හවස පන්සලට ගිහින් ස්වාමීන් වහන්සේ බැහැ දැක සාකච්ඡා කළා.

අමරදේවයන්ගේ ගී පදවැලක තියෙනවා ‘ වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා’ කියලා. මේක තමයි අපේ අනන්‍යතාව. මසුන් ආහාරයට ගත්තත් අපේ අනන්‍යතාව රැකගන්න තිත්තයන්ට හානි කළේ නැහැ. වක්කඩින් මුහුණ සෝදාගෙන තමයි කුඹුරින් එළියට ගියේ. අද මේ තත්ත්වයන් වෙනස් වෙලා. අද වක්කඩින් මුහුණ සෝදන්න පුළුවන් තත්ත්වයක් නැහැ. දවසේ වැඩ කරල ඉවර වෙලා පන්සලට යන්න වෙලාවක් නැහැ.

ඒ වගේම ජනතාව පන්සලට ගෙන්වා ගැනීමේ ක්‍රමෝපායන් රැසක්ම එකල ක්‍රියාත්මක වුණා. බණ භාවනා වැඩ සටහන් වගේම බෞද්ධ නාට්‍යය, කවි බණ, දොරකඩ අස්න, පිරිත් පින්කම් මේ ආදී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වුණා. බොහෝ වෙලාවට මේ කටයුතු වලදී මුල් තැනක් ගන්නේ ගමේ තරුණ පිරිස්. පෙරහර, සංදර්ශන, සල්පිල් වැනි විහාරස්ථානය කේන්ද්‍ර කරගත් කටයුතුවලදී මුල්තැනක් ගත්තේ ගමේ තරුණ පිරිස්. අද මේ තත්ත්වය වෙනස් වෙලා, පෙරහර පැවැත්වුවත් සල්පිලක් දකින්නට ඇත්නම් ඒ ඉතාම කලාතුරකින්. බෞද්ධ සංදර්ශන නැහැ.

ජනතාවගේ කාර්ය බහුලත්වය නිසා මේ තත්ත්වය තවත් වැඩිවෙලා. ඒ වගේම නිවසින් පිටට නොගොස් ලෝකයම ගෙදරට ගෙන්වා ගැනීමට තරම් අද තාක්ෂණය දියුණු වෙලා. විද්්‍යුත් මාධ්‍යයන්, මුද්‍රිත මාධ්‍යයන් දෙකම අද දියුණුවේ ඉහළටම යමින් තිබෙන්නෙ. මෙවන් තත්ත්වයක් තුළ නිවසේ සිටම තම කටයුතු කර ගන්නා අයට විහාරස්ථාන කරා ගොස් ස්වාමීන් වහන්සේ සමඟ මද වෙලාවක් හෝ ගත කිරීමට කාලය නොමැති තරම්.

පාසල් යන දරුවන් ටියුෂන් ගිහින් ගෙදර එන්නෙ හොඳටම හවස් වෙලා, අද හුඟක් පවුල්වල මව්පියන් දෙදෙනාම රැකියාව කරනවා. ගෙදර දොරේ දහසකුත් එකක් වැඩ. කරුණු කොහොම වුණත් තරුණ පිරිස් පන්සල කරා ඇද ගැනීමේ ක්‍රමවේදයක් නැති එකත් ලොකු අඩුවක් බව පේනවා. අද ඇතැම් පන්සල්වල ඉන්නේ වයෝවෘද්ධ හිමිවරු. පන්සල්වල අද තරුණ පිරිසට ගැලපෙන වැඩසටහන් අඩුයි. මේ සම්බන්ධව ස්වාමීන්වහන්සේ අවධානය යොමු කරන්න ඕන. තරුණයාගේ අවධානය යොමුවන, තරුණයන් පන්සලට ඇදගත හැකි දේ මොනවාද යන්න ගැන විහාරස්ථාන හිමිවරුන්ගේත්, දායක සභාවේත් අවධානය යොමු කළ යුතුයි.

මූලිකම දේ තමයි තරුණ සමිති නැත්නම් යෞවන සමිති ආරම්භ කිරීම. තරුණයන් පන්සලට ගෙන්වා ගැනීමට කළ යුතු පළමු කාර්යය ලෙසයි එය හැඳින්විය හැක්කේ.

තරුණයන්ගේ පෞරුෂ සංවර්ධනය ඇති කිරීමත් පන්සල සතු කාර්යයක්. අද බොහෝ තරුණයන් සිතින් මවාගත් කල්පනා ලෝකවලයි ජීවත් වන්නේ. සර්ව පිත්තල ලෝක ඔවුන්ගේ ඔලුවෙ තියෙන්නෙ. හරිද ? වැරැදිද ? තේරුම් ගන්න බැරිවයි ඉන්නෙ. මේ පිරිස හරි මඟට ගැනීම පන්සල සතු කාර්යයක්. මෙයට දැනටමත් ප්‍රමාද වුණා වැඩියි.

බොහෝ පන්සල්වල තරුණයන් සහභාගි කර ගන්නා වැඩසටහන් නොමැති නිසා ඔවුන්ගේ සහභාගිවීම ක්‍රියාකාරීව දායකවීම අඩු වී ගොස් තිබෙනවා. පන්සලට එන තරුණයන් ආපසු හරවා යවන්න හෝ අතරමං කිරීම කිසිසේත් නොකළ යුතුයි. පන්සල ආධාර සම්මාදම් එකතු කරන තැනක් ම නොවිය යුතුයි. තරුණයාගේ පෞරුෂ වර්ධනය අනාගතය ගැන අවධානය යොමු කිරීම සඳහා වන ක්‍රමවේදයන් ගැන වැඩිපුර ක්‍රියාකිරීමට මෙහිදී කටයුතු කළ යුතුයි.

ඒ යටතේ ස්වයං රැකියා පාඨමාලා ආදිය ගැන අවධානය යොමු කළ යුතුයි. තරුණයන්ගේ අද පළමු අවශ්‍යතාව වන්නේ රැකියාවක්. ඒ සඳහා පන්සලෙන් යම් මඟ පෙන්වීමක් කරනවා නම් තරුණයන් යහමඟට ගැනීම එතරම් අපහසු නැහැ. ආගමික වටපිටාවක සාමකාමීව හික්මීමක් ඇතිව හදාරන ශිල්පය හුඟක් වැදගත්. හික්මීමක් ඇතිව හදාරන වඩු වැඩ, පෙදරේරු ( මේසන් ) වැඩ, යාන්ත්‍රික වැඩ ඔස්සේ සමාජයට විශාල දායකත්වයක් ලබා දිය හැකියි. මේ ක්ෂේත්‍රයන්ට අද විශාල ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම යාන්ත්‍රික වැඩ, වෑද්දුම් පෑස්සුම් කර්මාන්තයට අද යහපත් ඉල්ලුමක් තියෙනවා. වෙලාවට වැඩ ඉවර කර ගන්න බැරි තරමට ඔවුන්ට අද වැඩ ගොඩ ගැහිලා. ශිල්පය දන්නා අය සොයාගෙන ගෙවල්වලට යන තත්ත්වයක් තියෙන්නෙ. මේ ශිල්පයන් උගත් අය රැකියා හොයාගෙන යන්න ඕන නැහැ. ස්වයං රැකියා සඳහා ඉල්ලුමක් තියෙනවා.

පෙදරේරු වැඩ ( මේසන් ) සඳහා ඇති ඉල්ලුම අද සපුරාලන්න බැරිතරම්. අනිත් කරුණ වන්නේ මේ ශිල්පීය ඤාණයන් පන්සලටත් බොහෝ විට ප්‍රයෝජනවත්. අවුරුදු 2 ක් 3 ක් පන්සලේ ඇසුර ලබමින් පෙදරේරු වැඩ හෝ වෙනත් ශිල්පයක් ඉගෙන ගන්නා අය. නිදහසේ තම වෘත්තීන් කර ගැනීමට පුළුවන්.

සමහර පන්සල්වල දැනටමත් විවිධ වෘත්තීය පාඨමාලා ක්‍රියාත්මක වනවා. අපේ අරමුණ විය යුත්තේ මෙරට බහුතර විහාරස්ථාන ඇසුරු කරගෙන එම වෘත්තිය පෘඨමාලා හෝ වෘත්තීය ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වීමය.

කාන්තාවන්ට මැහුම් පාඨමාලා හෝ වෙනත් සුදුසු රැකියා වෘත්තීය නිපුණතාවයන් ලබාදිය හැකිය. පන්සල මුල් කරගත් විට ආගමික වටාපිටාවක මේ කාර්යයන් සිදු කළ හැකියි.

මේ සියලු පිරිස් සහභාගි කරවාගෙන මසකට වරක් පමණ විවිධ සමාජයීය, සංස්කෘතික වැඩ සටහන් ක්‍රියාත්මක කළ හැකිය. තරුණ පිරිස පන්සල කරා ඇදී ඒමට එය විශාල රුකුලක් වනවා මෙන්ම ඔවුන් ආගමික පරිසරයකට හැඩ ගස්වා ගැනීම ද එමඟින් කළ හැකිය.

එසේම අප පෙර සඳහන් කළ පරිදි විවිධ මනංකල්පිත ලෝකවල ජීවත්වන තරුණයන්ට උපදේශන සේවාද ක්‍රියාත්මක කළ යුතු වෙනවා. තමන් ගනු ලබන තීරණයන්ගේ හරි වැරැදි වටහා ගැනීමට උපදේශන සේවාවන් බෙහෙවින් වැදගත් වනවා.

තරුණයන්ගේ දඩම්බර ක්‍රියාවන් දෙස බලා බැන වැදීමෙන් පමණක් ඵලක් වන්නේ නැහැ. උපදේශන මඟින් ඔවුන්ගේ මනස නිරවුල් කරලීම මෙහිලා ඉතා වැදගත් වනවා.

තරුණයන් තමන් ගනු ලබන තීරණය නිවැරැදි බව සිතමිනුයි කටයුතු කරන්නේ. මෙහිදී විශේෂයෙන්ම ආවාහ විවාහ වලදී ගනු ලබන තීරණ සමාජමය වශයෙන් විශාල වැදගත්කමකට භාජනය වනවා.

ජීවිතයක් යනු කුමක්ද ? ජීවිතයේ අරමුණු මොනවාද? තීරණ ගැනීමේදී බලපානු ලබන සාධක මොනවාද ? උපාය මාර්ග මෙන්ම අපායේ නොවැටී සිටීමටත් දැනගෙන සිටිය යුතුයි.

නමුත් අද තරුණ පරපුරට මේ දැක්ම බෙහෙවින් අඩු බව කිව යුතුය. නිවැරැදි තීරණයක් ගැනීමට හැකියාවක්, දැනුමක් නැහැ.

පසුගිය දිනක බස් රථයක පාපුවරුවේ එල්ලී ගමන් කළ සිසුවකුගේ හිස පාර අයිනේ තිබූ පහන් කණුවක ගැටී එම සිසුවා මිය ගියා. බස් රථයේ ඕනෑතරම් ඉඩ කඩ තිබියදී තමයි මෙසේ පාපුවරුවේ එල්ලී ගමන් කර ඇත්තේ. ඒ තරුණ දරුවාට නිසි අවබෝධයක් තිබුණා නම් මෙසේ එල්ලී ගමන් කිරීම තමාගේ ජීවිතයට අනතුරුදායකයි කියා සිතුවා නම් ඔහු එසේ යන්නේ නැහැ. පසුගිය කාලයේ දියේ ගිලී කී දෙනෙක් මිය ගියාද ? ‘ නාන්න එපා මෙහි දිය නෑම අනතුරුදායකයි’ මේ වගේ නාම පුවරු කොතරම් තිබුණත් මොකද වෙන්නෙ. නොදැන නෙමෙයි මේ අනතුරු සිදු වෙන්නෙ. නිසි උපදේශනයක් නැතිකම නිසයි මේ සියල්ල සිදුවන්නේ.

මේවා අලුත් දේ නෙමෙයි. බණ පොතේ තියන ඒවා. අද තරුණ පරපුර පන්සලට ඇද ගැනීමට සුදුසු තවත් කරුණක් තමයි පුස්තකාලය බොහෝ විහාරස්ථානවල පොත් පත් තියනවා. නමුත් පරිහරණය අඩුයි.

සතියකට වරක්වත් තරුණයන්ට පුස්තකාලයට ගිහින් පොතක් පතක් බලාගන්න පහසුකම් සලසන්න ඕන. බොහෝ දෙනා කැමැත්තෙන් ඉන්නවා පොත් පරිත්‍යාග කරන්න. තරුණයන් අතුරින්ම එක් අයෙක් පුහුණු කරලා ස්වේච්ඡාවෙන්ම මේ සඳහා යොදාගන්න පුළුවන්.

කුඩා දරුවාගේ සිට මහලු පුද්ගලයා දක්වා සියලු දෙනාම පොත පත කියවන පරිසක් බවට පත් කළ යුතුයි.

එසේම විහාරස්ථානය ඉංග්‍රීසි භාෂාවේ මූලිකස්ථානයක් බවට ද පත් කළ යුතු වෙනවා. විහාරස්ථානයේ නොමිලයේ ඉංග්‍රීසි දැනුම ලබා දීමට කැමැති බොහෝ දෙනෙක් ඉන්නවා. එයින් ප්‍රයෝජන ගැනීමට අප කටයුතු කළ යුතුය.

තරුණ වයසේ විවිධ ආශාවන් තියෙනවා. අනුකරණයට විශාල ලෙසින් පෙළඹෙනවා. ඇඳුම, කොණ්ඩය මේ සියල්ලටම ඔවුන් අනුකරණයට හුරුවෙලා. මේ නිසා උපදේශනය මගින් මේ අනුකරණයේ යහපත් පැත්ත පමණක් අපට ලබා ගත යුතුය.

පන්සල තරුණයන්ගේ සෞන්දර්යාත්මක ස්ථානයක් බවට පත් කළ යුතුයි. නාට්‍ය, ගායනා, භක්ති ගීත ආදී දේට අප තරුණයන් යොමු කළ යුතුයි. එසේම විහාරස්ථානයේ ඇති ඉඩකඩින් උපරිම ප්‍රයෝජන ගැනීමට අවම වශයෙන් වොලිබෝල් පිටියක් වැනි දෙයක් විහාරස්ථානයේ කටයුතුවලට බාධා නොවන අයුරින් ඉදිකිරීම වැනි දේත් හරිම වැදගත්.

මෙවැනි කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා තමයි අද බොහෝ තරුණ පිරිස විහාරස්ථානයෙන් දුරස් වී ඇත්තෙ. එහෙයින් කල් නොයවාම මේ සම්බන්ධව අවධානය යොමු කර සම්බුද්ධත්ව ජයන්තියේ එක් අරමුණක් ලෙස තරුණ පරපුර විහාරස්ථානයට යොමු කිරීමට කටයුතු කළ යුතුයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.