Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පන්සිල් රැකීමෙන් යහගුණ සපිරි ලොවක්

සම්බුද්ධත්ව ජයන්ති වසර ආරම්භ වී මාස තුනක් පමණ ගෙවී ගොස් ඇතත් අපේ රටේ සදාචාර වර්ධනයේ කැපී පෙනෙන වෙනසක් සිදුවී නැහැ. අවම වශයෙන් පංචශීලය අගයන සමාජයක් බිහිකර ගැනීමටවත් මේ සම්බුද්ධත්ව ජයන්ති වසර යොදා ගන්නේ නම් එය මහත් සේ සමාජ පෙරළියකට මඟ පාදා ගැනීමට හැකිවනු ඇත.

මිනිසා හදා රට හැදීම කළයුතු බව අප අවබෝධ කරගත යුතුය. එසේ නොවුවහොත් පරිහානියක් කරා සමාජය ගමන් කරනු ඇත.

පංචශීලය ආරක්ෂා කිරීම තුළින් යහපත් සමාජයක් වෙත ගමන් කළ හැකි වන්නාසේම යහපත් රටක් මෙන්ම මුළු ලොවම යහපත් යහගුණ සපිරි ලොවක් බවට පත්කළ හැකිය.

සත්ත්ව ඝාතනය හෙවත් සතුන් මැරීම පිළිබඳව කතා කරන්නේ නම් අපට පැහැදිලිව තේරුම් ගත හැක්කේ ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් , පළිගැනීමෙන් , ද්වේශයෙන් පෙළෙන්නකුට හැර වෙනත් පුද්ගලයකුට එවන් ක්‍රියාවක් කළ නොහැකි බවයි.

ලෝකයේ සියලු දෙනාටම පොදුවේ සත්ත්ව ඝාතනයෙන් වැළකීම ඉතා වැදගත් වේ. සත්ත්ව ඝාතනයෙන් වෙන්ව සිටින්නාගේ සිතේ් කරුණාව, දයාව, පරිත්‍යාගය, අනුකම්පාව වැනි ශ්‍රේෂ්ට මිනිස් ගුණ ධර්ම ඇතිබව කිව යුතුයි.

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී රජතුමා ජනතාව පිරිවරාගෙන සැණකෙළියක යෙදී සිටියා. දොළොස්දහසක පිරිවරක් සමඟ සත්ත්ව ඝාතනයක යෙදී සිටියේ. මේ සතුන් දඩයම් කෙළේ මස් කන්න නෙමෙයි. විනෝදයට, ක්‍රීඩාවටයි සතුන් දඩයම් කළේ.

රටේ නායකයා රජතුමා තුණුරුවන් සරණගොස් සමස්ත ජනතාවම ඒ තත්ත්වයට පත්කළා.

ශ්‍රී ලංකාව කෘෂි කාර්මික රටක් එහෙම වුණත් පෝදා දවසට උදැල්ලක් අතින් අල්ලපු නැති බෞද්ධ සමාජයක් අපේ රටේ තිබුණේ. කෘෂි කාර්මික රටක් වුණත් පෝය දවසෙවත් සතෙක් උදැල්ලට කැපිල යන්න තියෙන ඉඩකඩ අහුරන්නයි එහෙම කළේ. ඒ තරම් සදාචාරකමක්, ශීලාචාරකමක් අපේ ජන සමාජයේ මුල් බැසගෙන තිබුණා.

ඒ වුණත් අවුරුදු 50 ක 60 ක කාලයක ඉදල අපේ රටට ඇතිවෙලා තියෙන තත්ත්වය දැක්කහම අපට පෙනී යන්නේ පනුවො නෙමෙයි මිල කළ නොහැකි වටිනා මිනිස් ජීවිත පවා විනාශ කිරීමට අද සමහර මිනිසා පෙළඹී ඇති බවයි.

කරුණාව, මෛත්‍රීය, අනුකම්පාව සහිත සමාජයක් ගොඩනඟා ගැනීමට පළමු ශික්ෂා පදය ආරක්ෂා කළ යුතුය.

එසේම දෙවන ශික්ෂා පදයවන නුදුන් දේ නොගැනීම හෙවත් සොරකමින් වැළකීම සමාජ උන්නතියට පමණක් නොව සමාජයේ සුබ සාධනයටද හේතුවනු ඇත.

අන් සතු දෙයක් නොගැනීම, පෙර සිට අපේ සංස්කෘතියට ආවේණික වූ දෙයක්. එහෙත් වසර 50 ක 60ක පමණ කාලයක සිට මේ ශික්ෂා පදය කඩා දැමීමට අපේ ඇතැම් ජනතාව පෙළඹි සිටීම ඉතාම කනගාටුවට කරුණක්.

අද සමාජයේ නිවාස වටා අහස උසට තාප්ප බැඳගෙන තාප්ප උඩට බෝතකල් කටු, කම්බිකූ®රු හයි කරලා පුදුම දුකක් විඳින්න වෙලා තියෙන්නෙ. තමන්ගේ දේ ආරක්ෂා කර ගැනීමට හපාකන සුනඛයන් යොදන්න වෙලා. අවි ආයුධ තියාගන්න වෙලා. මුදල් ගෙවල මුරකරුවො තියන්න වෙලා. මොකටද මේ තරම් ලොකු යුද්ධයක් කරන්නෙ. තමන් හරි හම්බ කරපු දේ ආරක්ෂා කර ගන්න.

තමන්ට තියෙන අවශ්‍යතාවයම අනිත් තැනැත්තාටත් තියෙන බව තේරුම් ගැනීිමයි මෙහිලා හුගක්ම වැදගත් වෙන්නේ. තමන් වගේම අනිත් අයත් හරිහම්බ කරන දේ ආරක්ෂා කර ගන්න උත්සාහ කරන බව තේරුම් ගත යුතුයි.

තෙවෙනි ශික්ෂා පදය වන කාම මිථ්‍යාචාරයෙන් වැළකීම නිසා අඹුසැමි සබඳතා විශ්වාසනීයත්වයකින් තහවුරු වන අතර එමඟින් පවුලේ සමඟිය ඇතිවෙනවා මෙන්ම මාපිය දූ දරු සබඳතා වඩාත් හොඳින් තහවුරු වේ. එසේම අපවාදයන්ට ලක් නොවී දිවි ගෙවීමටත් භයානක රෝගාබාධයන්ට ගොදුරු වීමෙන් වැළකී සිටීමටත් අවස්ථාව සැලසේ.

මෙම ශික්ෂාපදය කඩ කිරීමට හේතු සාධක වන්නේ ලැජ්ජාව භය නැතිවීමයි.

සිවුවන ශික්ෂා පදය ආරක්ෂා කිරීම නිසා සමාජයේ විශ්වාසනීයත්වයක් ඇතිවේ. එකිනෙකා කෙරෙහි ඇතිකර ගන්නා අවංකත්වය මත වචනය කෙරෙහි දැඩි විශ්වාසනීයත්වයක් ඇතිවේ.

අද බොහෝ දුරට තරුණ හා මැදිවියේ පුද්ගලයන් අතින් බිඳවැටෙන ශික්ෂාපදය වන්නේ පස්වෙනි ශික්ෂා පදයයි. ඇත්තෙන්ම අද මත්පැන් නොමැති මංගල උත්සවයක්, අවමංගල්‍ය නිවසක් නැත්නම් වෙනත් උත්සවයක් සොයා ගැනීමට අපහසුය. මත්පැන් එපමණටම සමාජය තුළට ගිලා බැස ඇත.

අවම වශයෙන් මව්පියන් හෝ තම දරුවන් මේ තත්ත්වයෙන් වළක්වා ගැනීමට කටයුතු කළ යුතුය. මත්පැන් නොමැති නිසා කවුරුන් හෝ විවාහ මංගල උත්සවයකට නොපැමිණෙන්නේ නම් එම නිවැසියන් අපරාධයක් සිදුකර හෝ ආගන්තුක සත්කාරයෙන් වැළකී සිට හෝ නැහැ. ඔවුන් සමාජයට යහපත් ක්‍රියාවක නිරත වී ඇත්තේ.

අවම වශයෙන් සම්බුද්ධත්ව ජයන්ති වසරේවත් මේ තත්ත්වයෙන් වැළැකීමට අප තීරණය කළ යුතුය.

අපේ සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් වාසය කරනවා. ඒ අයත් විවිධාකාර වර්ගීකරණයන්ට භාජනය වෙලා. දෙමව්පියන්ගේ සමාජය, වැඩිහිටියන්ගේ් සමාජය ගුරුවරුන්ගේ සමාජය, පැවිදි උතුමන්ගේ සමාජය, අඹුදරුවන්ගේ සමාජය ආදී වශයෙන් පුද්ගලයන් අනු කොටස්වලට වෙන් වෙලා.

මේ සියලු ජන කොටස් ආරක්ෂා වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ සාදනු ලබන නීතිරීතිවලින්ම නොවේ. ප්‍රධාන වශයෙන්ම ලැජ්ජා භය දෙක ආරක්ෂා වීම නිසයි. හිරිඔතප් අප සතුවිය යුතුය. ලෝක පාලක ධර්ම ලෙසින් හිරිඔතප් හඳුන්වා දිමට පුළුවන්.

පවට ලැජ්ජාවක් බියක් ඇති අයෙක්නම් පංචශීලය ආරක්ෂා කිරීම නිතැතින්ම සිදු කරනු ඇත.

මීට අමතරව කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සමාජයක වැඩදායක පරිසරයක් ගොඩනැඟීමට මහෝපකාරි වේ.

අද සමාජයේ බොහෝ දෙනෙකුට සිදුවී ඇත්තේ කල්‍යාණ මිතුරන් නිසි පරිදි හඳුනා ගැනීමට නොහැකි වීමයි.කල්‍යාණ මිත්‍රයා යනු කවුරුන්ද? තමන් හොඳවැඩ කරන අතර සෙසු අයත් හොඳවැඩ වලට යොදාගන්නා තැනැත්තා කල්‍යාණ මිත්‍රයාය.

තවත් විදිහකින් කියන්නේ නම් තමන් පින්කම් කරන ගමන් අනෙක් අයත් පින්කම් කෙරෙහි යොමු කිරීමය.

එසේනම් සියලුම මව්පියන් සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන හෝ තම දරුවන් යහපත් කි‍්‍රයාවන්හි නිරත කරවීමට වගබලා ගත යුතුයි.

භික්ෂූන් වහන්සේ දායකයාගේ කල්‍යාණ මිත්‍රයා විය යුතුයි. මව්පියන් දරුවන්ගේ් කල්‍යාණ මිත්‍රයන් විය යුතුය. ගුරුවරයා ශිෂ්‍යායාගේ කල්‍යාණ මිත්‍රයා විය යුතුයි. භාර්යාව ස්වාමි පුරුෂයාගේත්, ස්වාමි පුරුෂයා භාර්යාවගේත් කල්‍යාණ මිත්‍රයා විය යුතුයි.

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මේ මිත්‍ර සම්පත්තියවත් ඇතිකර ගැනීම බෙහෙවින් වැදගත් වේ. බුද්ධ ශාසනය පුරාම පැතිර තිබෙන්නේ යහපත් කාර්යයන්හි නිරතව සිටිය යුතු බවය.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
ඒතං බුද්ධානු සාසනං

සියලු බුදුවරයාණන් වහන්සේලා වදාරා ඇත්තේ පව් නොකර කුසල් දහම්හි යෙදෙන්න යන්නයි. මේ අනුව සමාජයේ යහපැවැත්මට පංචශීලයත්, කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් බෙහෙවින් ඉවහල් වන බව පැහැදිලි වේ.

එසේම නිවැරදි අධ්‍යාපනයකට දරුවන් යොමු කිරිමද මෙහිලා බෙහෙවින් වැදගත් වේ.

එහිදී අතිරේක පන්තිවලට ගොස් දහම් අධ්‍යාපනය නොලැබීම අභාග්‍යයකි. ඉරිදා උදෑසන උපකාරක පන්ති පැවැත්වීම නිසා දරු දැරියන්ට දහම් පාසල අහිමිවීම ඉතා කනගාටුදායක තත්ත්වයක් මේ තත්ත්වය අප තේරුම් ගෙන උපකාරක පන්ති පවත්වනු ලබන අයත් සමඟ සාකච්ඡා කර ඔවුන්ට කරුණු පැහැදිලි කර දී ඉරිදා උදෑසන සිසුනට දහම් අධ්‍යාපනය ලබාදීමට මංපෙත් විවර කළ යුතුය.

ටියුෂන් ඉරිදා උදේට තහනම් කළ යුතුය යනුවෙන් කෑගසමින් හෝ උපකාරක පන්ති පවත්වන ගුරුභවතුන් සමග කළකෝලාහල කරමින් මීට විසඳුම් ලබාගත නොහැකිය. කරුණු වටහා දීමෙන්ම මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. එසේම මේ වනවිටත් ඇතැම් පළාත් සභා තීරණය කර ඇත්තේ ඉරු දින උදයවරුවේ ටියුෂන් නැවැත්වීමට ය. එවැනි ආකාරයෙන් හෝ කි‍්‍රයාත්මක වීම වැදගත්.

අවම වශයෙන් අපේ සමාජය සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය්වත් අපෙන් ගිලිහෙන සාරධර්ම කරා යොමු කිරීමට උත්සහ ගන්නේ්නම් එය බෞද්ධ සංස්කෘතියකින් හෙඹි සමාජයකට මඟපාදනු ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.