Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතයට යහපත

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම හොඳීන් තේරුම් අරගෙන, නිතර නිතර පුරුදු කරගන්න. එවිට අපේ ජීවිතයට එය බොහෝ යහපත උපද්දවන දෙයක් බවට පත්වෙනවා. අපි යම් විදිහයකින් නිවන් මග තේරුම් අරගෙන හොඳින් ප්‍රත්‍යවේක්‍ෂා නොකළොත් , ඒ කියන්නේ අපි කළයුතු දේ කරනවද? නැද්ද? කියල හොයල බැලුවේ නැත්නම්, ටික කාලෙකදි සමහර විට අපි ප්‍රමාදයට ගොදුරුවෙන්ට පුළුවන්.

නුවණින් කල්පනා කරනවා කියන එක අද්භූ®ත එකක් නෙවෙයි. පවට ලැජ්ජාව, පවට භය, වීරිය, ප්‍රඥාව ආදි දේ තමා තුළ තියෙනවද, ඒවා වැඩෙනවද? පිරිහෙනවද? ආදී වශයෙන් විමසා බැලීම, නුවණින් කල්පනා කිරීමට අයිති දෙයක්. අපිට අපි ගැනම නිගමනයකට එන්ට තියෙන හොඳම ක්‍රමයක් තමයි මේ ප්‍රත්‍යවේක්‍ෂා කිරීම.

ඒ විදියට අපි ගැන අපි ම සොයල බැලුවොත්, අපිට පී‍්‍රති සිතින් වාසය කරන්ට පුළුවන්කම තියෙනවා. එවිට එයා සිල් රකින්නෙ සතුටින්ද? කණස්සල්ලෙන්ද? එයා සතුටින් සිල්රකින කෙනෙක් නේද? දවසින් දවස අපේ වයස ගතවෙන්ට ගතවෙන්ට අපේ සීලය ගැන අපිට සතුටුවෙන්ට පුළුවන්ද බැරිද? සතුටුවෙන්න පුළුවන්. අපි සේඛ ධර්ම දියුණු කරමින් තමයි අප ඉන්නෙ. එහෙනම් සීලය පරිපූර්ණ කරගනිමින් නේද? ඉන්නෙ.දැන් අපිට කණස්සලලෙන් ඉන්ට කාරණා තියෙනවද? නෑ නේද? එහෙනම් බලන්න. මේ ප්‍රත්‍යවේක්‍ෂා කිරීම කියන එක, සැප උපද්දන උල්පතක් වගේ නේද? ප්‍රත්‍යවේක්‍ෂා කරනව කියන එක සැප උපද්දන , සතුට උපද්දන, උල්පතක් වගේ එකක්. අන්න ඒ උල්පත පාදා ගන්ට අප දක්ෂවෙන්නට ඕන. එහෙම නැත්නම් අන්ධකාරේ ඉන්න අය වගේ. කිසි දෙයක් පෙනෙන්නේ නැහැ. එයාට ඇස් තියෙනවා, හැබැයි පෙනෙන්නේ නැහැ . ඇයි ඒ? ආලෝකයක් නෑ. එහෙනම්, අපේ ජීවිතයට ආලෝකය ඇති කරන, ඇතිකර ගන්න විදිය තමයි ප්‍රත්‍යවේක්‍ෂා කිරීම .

ප්‍රත්‍යවේක්‍ෂා කරන කෙනාට, තමාගේ ජීවිතයේ සතුට උපද්දවගන්ට පුළුවන්කම තියෙනවා. සතුටින් පී‍්‍රති සිතින් යුක්තව සිලරකින කෙනාට , බණ භාවනා කරන්න අමාරුද? එයාට පී‍්‍රති සිතින් බණ භාවනා කරගන්ට පුළුවන්. ඒ විදියට බණ භාවනා කරනකෙනා තුළ සමාධිය වැඩෙයිද? නැද්ද? සමාධිය වැඩෙනවා. ඇයි එයා කණස්සල්ලෙන් නෙවෙයි ඉන්නෙ. එයා දවස ගෙවන විට සතුටු වෙනවා. මම අද දවසෙ සිල් පද රැක ගත්තා කියල. උදේට සතුටු වෙනවා සිල් පද රැක ගත්තා කියල. සිල් පද රැකගත්ත කියල සතුටුවෙන කෙනාට, සේඛ ධර්ම තමා තුළ දියුණුවෙනවා තේරුම් ගන්න කෙනා, සතුටු සිතින් වාසය කරන්ට පුළුවන්. එයාට බණ භාවනා කිරීම පහසුයි. එසේ බණ භාවනා කරන කෙනා තුළ සමාධිය වැඩෙනවා. සමාධිය පිරෙනවා. සමාධිමත් කෙනා ප්‍රඥාව උපදවා ගන්නවා. ප්‍රඥාව පරිපූර්ණ කරගන්නවා. බලන්නා අපිට ප්‍රඥාව පරිපූර්ණ කරගැනීම පිණිස බොහෝ උපකාරවුණේ කුමක්ද? ප්‍රත්‍යවේක්‍ෂා කිරීම, එහෙනම් , ඒ ප්‍රත්‍යවේක්‍ෂා කිරීම හොඳීන් තේරුම් අරගෙන, නිතර නිතර පුරුදු කරගන්න. එවිට අපේ ජීවිතයට එය බොහෝ යහපත උපද්දවන දෙයක් බවට පත්වෙනවා. අපි යම් විදිහයකින් නිවන් මග තේරුම් අරගෙන හොඳින් ප්‍රත්‍යවේක්‍ෂා නොකළොත් , ඒ කියන්නේ අපි කළයුතු දේ කරනවද? නැද්ද? කියල හොයල බැලුවේ නැත්නම්, ටික කාලෙකදි සමහර විට අපි ප්‍රමාදයට ගොදුරුවෙන්ට පුළුවන්.

කල්‍යාණ මිත්‍ර ඇසුරේ ගරු සරු ඇතිව වාසය කරන කෙනා එකිනෙකාට උපකාර කරන්නට පුරුදු වෙනවා. ගරු සරු ඇතිව ධර්මය පුරුදු කරනවා.අවවාද අනුශාසනා අනුව කටයුතු කරනවා. වත් පිළිවෙත් කරනවා. මේවා තමයි අභිසමාචාර සීලයට අයිති වෙන්නෙ. මේ තුළින් එයා තුළ සංවර භාවය ඇති වෙනවා. ඒ කියන්නේ කායික, වාචසික, මානසික ක්‍රියා යහපත් වෙන්ට පටන් ගන්නවා. එවිට යමෙකු තුළ සංවර බව ඉපදීම පිණිස මූලික වශයෙන් තිබිය යුතු ගුණයක් තමයි එකිනෙකා කෙරෙහි ගරුසරු බවින් යුතු වීම. අපි එකිනෙකාට ගරු සරු බව සහිතව, ඒ කියන්නේ එකිනෙකාට ගරු කරන කෙනෙක් විදියට, අන් අයට උපකාර කරනවා නම්, ධර්මය පුරුදු කරනවා නම් අපි තුළ සංවර බවක් ඇති වෙයිද? අසංවර බවක් ඇති වෙයිද? සංවර බවක් ඇති වෙනවා.

කෙනෙක් කල්‍යාණ මිතුරු ඇසුරේ සිට අන් අයට ගරු කරන සිතින් යුක්තව වාසය කරනවා. අන් අයට ගරු සරු භාවයෙන් යුක්තව ඇසුරු කරනවා. එවිට අනිත් අයට ගරු සරු දක්වමින් , එයා ධර්මය ඉගෙන ගන්නවා. උපකාර කරනවා. ධර්මය කියා දෙනවා. අන්න එහෙම කටයුතු කරන කෙනා තුළ සංවර බව උපදිනවා. ඇයි සංවර බව උපදින්නේ?. එයා කැමැතියි අනිත් අයට ගරු කරන්න. අනිත් අයට ගරු කරමින් තමයි, එයා කටයුතු කරන්නෙ. එතකොට එයා තුළ උපදින්නෙ නිහතමානි බව, එයා සංවරයි. ඒ කියන්නේ සංවර සිතකින් ඉන්ට එයාට පුළුවන්. අන්න එයා තුළ ඉගෙනගත්තා වූ ධර්මය මුල්කරගෙන ශ්‍රද්ධාව උපදිනවා. එකිනෙකාට ගරුකිරීම ආදි දේ මුල්කරගෙන, නිහතමානි බව මුල්කරගෙන, හිරි ඔතප් උපදිනවා. එතකොට ශ්‍රද්ධාව , හිරි ඔතප් මුල් කරගෙන වීර්ය උපදිනවා. ශ්‍රද්ධාව , හිරි ඔතප් , වීර්ය ආදි දේ මුල් කරගෙන, ප්‍රඥාව උපදිනවා.

කෙනෙක් ඉන්නව, එයා කල්‍යාණ මිත්‍ර ඇසුරේ ඉන්න පුරුදු වෙනවා. හැබැයි එයා එකිනෙකාට ගරුසරු ඇතුව වාසය කරන්ට පුරුදු වෙන්නේ නෑ. එවිට එයා කල්‍යාණ මිතුරු ඇසුරට හොඳින් පවත්වෙයිද? හොඳින් පවත්වන්නෙ නෑ.ඇයි ඒ? ගරුසරු නැති නිසා. අන් අයට ගරුකරන්ට එයා කැමැති වෙන්නේ නෑ. දැන් එයා ධර්මය ඉගෙන ගන්නවා. බණ භාවනා කරනවා. ධර්මය අනිත් අයට කියලත් දෙනවා. එවිට අන් අයට ගරුකරන්න කැමැති නැති කෙනා, තමන් ගෞරවය බලාපොරොත්තු වෙනවා. තමා ගෞරවය බලාපොරොත්තුවෙන කෙනා, ධර්මය ඉගෙන ගත්තත්, ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ තමාට ගෞරවයක්. ධර්මය කියාදුන්නත් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ තමාට ගෞරවයක්. අන් අයට උපකාර කළත්, ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙත් තමාට ගෞරවය වැටහුණාද කාරණාව! අන්න එයා තුළ ධර්මය ඉගෙනගත්ත කියල, ධර්මය කියාදුන්න කියල, අන් අයට උපකාර කළා කියල, සංවරබව ඇතිවෙයිද? සංවර බව ඇතිවෙන්නේ නෑ.ඇයි ඒ ? තමා තමාට ගෞරවයක් බලාපොරොත්තුවෙන කෙනා තුළ, නිහතමානි බව ඇතිවෙන්නේ නෑ.ආඩම්බරය ඇතිවෙනවා. එතකොට එයාට සංසුන් සිතකින් ඉන්නට බෑ. එතකොට එයා තුළ සේඛ ධර්ම ඇතිවෙයිද? ශ්‍රද්ධාව , හිරි ඔතප්, වීරිය, උපදීද, ඉපදුනා වූ ශ්‍රද්ධාව, හිරි ඔතප්, වීර්ය ආදි දේ වැඩි දියුණු වෙයිද? වැඩිදියුණු වෙන්නේ නෑ. එයා තුළ ලැජ්ජා භය වැඩි දියුණුවෙයිද? වැඩි දියුණු වෙන්නේ නෑ. එයා තුළ වීර්ය දියණු වෙන්නේ නෑ. ඒ නිසාම ප්‍රඥාව දියුණුවෙන්නේ නෑ. සේඛ ධර්ම පිරෙන්නේ නෑ. ප්‍රමාදයට ගොදුරුවෙන්නේ නෑ. ඒ නිසා ම, ප්‍රඥාව දියුණුවෙන්නෙ නෑ. ප්‍රමාදයට ගොදුරුවෙනවා. සේඛ ධර්ම පිරෙන්නෙ නැති තැන, සීලය පරිපූර්ණ වෙන්නේ නෑ. එතකොට සමාධිය පරිපූර්ණ කරගන්න බැරුව යනවා. සමාධිය පරිපූර්ණ කරගන්ට බැරි තැන, ප්‍රඥාව පරිපූර්ණ කරගන්න බැරි වෙනවා.

එහෙනම් මතක තියාගන්න, අපි ප්‍රඥාව පරිපූර්ණ කරගැනීම දක්වාම මේ නිවන් මඟ වඩන්නට, පුරුදු කරන්ට, කැමැතිවෙන්ට ඕන, එහෙමනම් ඒ නිවන් මගේ ආරම්භය කොතැනද? කල්‍යාණ මිත්‍ර ඇසුරේ , එකිනෙකා කෙරෙහි ගරු සරු ඇතිව වාසය කරන්නට පුරුදුවීම, එය ටික දවසක් පුරුදු කරල, අතහරින එකක්ද? කවදද එය අවසන් වෙන්නේ? එය ටික දවසක් පුරුදුකරල අත හැරියොත් මොකද වෙන්නේ? ඔන්න ආරම්භයේදි කල්‍යාණ මිත්‍ර ඇසුරේ එකිනෙකාට ගරුසරු ඇතුව වාසය කරනවා.

මතු සම්බන්ධයි


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.