Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෝවනය කිරීම සඳහා අනුරාධපුර තිසාවැව අසල ඉදිකළ ජල නළ නිමැවුම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඉකුත් දා (8) විවෘත කැරිණි. අනතුරුව එම නව ජල නළ නිමැවුමෙන් ලබාගත් ප්‍රථම පැන් කළය ජනාධිපතිතුමන් සිය දයාබර මවුපියන්ට පින් පිණිස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පූජා කළේ ය. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණයෙන් ඉදි කළ එම නව ජල නළ නිමැවුමෙන් ලබාගත් ප්‍රථම පැන් කළය පූජා කිරීමේ අවස්ථාවේ දී ආගමික වතාවත් පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් සිදු කරන ලදී. එම අවස්ථාවට නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය හා ප්‍රදේශයේ මැති ඇමැතිවරු රැසක් ද සහභාගි වී සිටියහ. ශ්‍රී මහා බෝධි මළුවට පිවිසි ජනාධිපතිතුමන් එහි පැමිණ සිටි ජනතාවට ආචාර කරමින්....
ඡායාරූපය – කිත්සිරි වනසිංහ

නුගේගොඩ හයිලෙවල් පාරේ, ශ්‍රී සුචරිතවර්ධන දහම් පාසලෙහි 60 වන සංවත්සරය නොබෝදා උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී. දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය පිළියන්දල කලාපයේ සිංහල ගුරු උපදේශක, විහාරාධිපති ශාස්ත්‍රවේදී බෝගම්බර රතනජෝති හිමියන්ගේ අනුශාසනා පරිදි පවත්වන ලද මෙම උත්සවයේ ප්‍රධානත්වය උසුලන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් විසිනි. දහම් පාසලෙහි වසර 5කට නො අඩුව ස්වෙච්ඡාවෙන් දහම් දැනුම ලබා දුන් ගුරු භවතුන්ට උපහාර වශයෙන් මෙහිදී තිළිණ ප්‍රදානය කරන ලද අතර, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියන් අතින් බෝගම්බර රතනජෝති හිමියන්ගේ දෙමාපියන්ට උපහාර තිළිණ ලබාදුන් අවස්ථාව. ඡායාරූපය - සුදත් නිශාන්ත

නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රොසැල්ල හයිඩ්‍රී ශ්‍රී‍්‍ර බෝධිරාජ අභිනව විහාරස්ථානයේ දී 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් විහාරාධිපති නමඩගස්වැව සූරියවැව සුගතසෝම හිමියන්ගේ අනුශාසනා පරිදි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා හා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරය රෝපණය කර බුද්ධ ප්‍රතිමා වහන්සේ තැනීමට මුල්ගල තැබීමේ උත්සවයක් පසුගියදා සිදු කැරිණි. එහිදී අග්‍රාමාත්‍යතුමන් අතින් බෝධි රෝපණය සිදු කර පැන් වත්කළ අවස්ථාව.

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.