Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙල්ලන්විල ඇසළ මහා පුණ්‍යෙත්සවය

බෙල්ලන්විල රාජ මහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යෙත්සවය 61 වන වතාවට අති උත්කර්ෂවත් ව පැවැත්වේ.

අපවත් වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේගේ ගුණ සමරු ධර්ම දේශන අගෝස්තු 11 වන දින ඇරැඹි 13 වන දින දක්වා පැවැත්වේ.

14 සිට 20 දක්වා සති පිරිත් දේශනාවක් ද චාරිත්‍රානුකූලව පැවැත්වෙන අතර එය අවසාන දින දොරකඩ අස්න අනුශාසනාව සහ දේවදූත පෙරහර පවත්වයි. එදිනම රාත්‍රියේ කුඹල් පෙරහර පැවැත්වේ. 21 අලුයම සති පිරිත් සජ්ඣායනය නිමාවට පත්වේ. 21 රාත්‍රියේ සිට 24 දින දක්වා මල් පෙරහර පැවැත්වේ. 25 දින මෙම පෙරහරද වීදි සංචාරය කෙරේ.

26 දින රාත්‍රියේ රංසිවි පෙරහර වීදි සංචාරය කරන අතර එය බෙල්ලන්විල රාජ මහා විහාරයෙන් ආරම්භ වී දෙහිවල පාර ඔස්සේ සෝමරතන පාරට පිවිස පන්සල පාර ඔස්සේ බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණේ. 27 දින රන්දෝලි මහා පෙරහර වීදි සංචාරය කෙරේ. 28 දින චාරිත්‍රානුකූලව දිය කැපීමේ උත්සවයෙන් පසු දේවදානය ලබාදේ. ඉන්පසුව උත්සව කටයුතු නිමාවට පත්වේ.

බෙල්ලන්විල රාජ මහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්විණ.

එම අවස්ථාවට කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල, දයා සමූහ ව්‍යාපාරයේ අධිපති දයා ගමගේ, පාර්ලිමේන්තු සභානායක ලේකම් සුමිත් විජේසිංහ පෙරහර කමිටුවේ සභාපති එච්. ඩී. ප්‍රේමසිරි, ලේකම් කේසරලාල් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.