Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණි විහාරයේ බිතු සිතුවම් ඇඳි

වර්ෂ 1896 ජුනි 17 වනදා වලිමුනි සොයිලියස් මැන්දිස් සිත්තරා උපත ලැබීය. සොයිලියස් සිත්තරාගේ පවුලේ සහෝදර සහෝදරියෝ නව දෙනෙක් වූ අතර මොහු පවුලේ දෙවෙනියාය.

සොයිලියස් මැන්දිස් පාලි සංස්කෘත හා සිංහල භාෂාව ඉගෙනීම සඳහා නාත්තන්ඩියේ වීරහේනේ විද්‍යාරත්න පිරිවෙනට ඇතුල් වීය. පසුකාලීනව මැන්දිස් මාවිල විහාරයේ චිත්‍ර අඳිමින් සිටි සිත්තරුන් සමඟ එක්වී චිත්‍ර කලා ගමන් මගේ මූලික පියවර තැබුවේය.

පසුව විහාරස්ථාන රැසකම සොයිලියස් මැන්දිස් චිත්‍ර ඇඳි අතර ඒවා අතර මැද්දේපොළ විහාරය, මාපිටිගම මල්වානේ ලෙනගම්පල පුරාණ විහාරය , පොළොන්නරුවේ ශ්‍රී ජයමහා විහාරය, අම්පාර දිස්ත්‍රික්කයේ ජයමංගල මහා විහාරය, නාත්තන්ඩිය මාවිල සුවන කුසුමාරාමය, හබරාදුවේ කැලණියන්ගොඩ විහාරය, රණස්ගල්ල විහාරද මේ අතර ප්‍රධාන වේ.

සොයිලියස් මැන්දිස් සිත්තරාගේ විහාර බිතුසිතුවම් කලාවේ උච්චතම අවස්ථාව ලෙස නව කැලණි විහාරයේ බිතුසිතුවම් සමූහය අපට හැඳින්වීමට පුළුවන. මෙරට විහාර බිතුසිතුවම් කලාවේ විප්ලවීය වෙනසක් ඇති කළ මෙම බිතුසිතුවම් සමූහය ඇඳීම ආරම්භ කර ඇත්තේ 1930 වර්ෂයේදීය. එය අවසන් වී ඇත්තේ 1948 වර්ෂයේදීය. පුරා අවුරුදු දහ අටක පමණ කාලයක් නොයෙකුත් දුක් පීඩා මැසිවිලි හා කරදර වලට මුහුණ දෙමින් සොයිලියස් සිත්තරා මෙම බිතු සිතුවම් සමූහය ඇඳ ඇත.

කැලණියේ නව විහාරයේ බිතු සිතුවම් ඇඳීමට මේ සිත්තරාට පැවරී ඇත්තේ පුදුමාකර විදිහකිනි. එව දෛවෝපගත සිදුවීමක් ලෙස අපට හැඳින්විය හැකිය. කොළඹ සේදවත්තේ සිටි විජේවර්ධන පවුලේ අයට සොයිලියස් මැන්දිස් ගැන අසන්නට ලැබී ඇත්තේ ඔවුන් විවාහ කටයුත්තක් සඳහා මාවිලගමට යන්නට එන්නට වූ අවස්ථාවේදීය. මෙහිදී මේ සිත්තරාගේ හැකියාවන් හඳුනාගත් විජේවර්ධන පවුලේ අය නව කැලණි විහාරයේ බිතුසිතුවම් ඇඳීමට සුදුසු තැනැත්තා මැන්දිස් යැයි නිගමනය කර ඇත.මේ දෛවයෝගය එළඹීමට පෙර සිටම විජේවර්ධන පවුලේ අය ලෝක ප්‍රකට ඉන්දීය චිත්‍ර ශිල්පී නන්දලාල් බෝස්ටද ඇරයුම් කර තිබිණි, ආරාධනය පිළිගෙන එම සිත්තරා ලංකාවය ආ විට සොයිලියස් සිත්තරාගේ චිත්‍ර කිහිපයක් මේ නන්දලාල් බෝස්ට දැක ගැනීමට අවස්ථාව ලැබී ඇත.මොහුගේ විශේෂ ප්‍රශංසාවට හා ඇගයීමට සොයිලියස්ගේ චිත්‍ර භාජනය වූ අතර කැලණි විහාරයේ චිත්‍ර ඇඳීම සඳහා සුදුසුම පුද්ගලයා තාම නොවන බවත් නියම සුදුස්සා සොයිලියස් මැන්දිස් යැයි නිගමනය විය. පසුව මේ භාරදූර කාර්යය සොයිලියස් සිත්තරා විසින් භාර ගනු ලැබීය.

පසුකාලීනව මේ චිත්‍ර ඇඳීමට පෙර සොයිලියස් මැන්දිස් විජේවර්ධන පවුලේ අනුග්‍රහය මැද භාරතයට යැවීය. එහිදී අජන්තා ආදි එලේලෝරා ,ශාරානාත්, මූලගන්ධකුටිය යන ලෙන් විහාරවල ඇති බිතුසිතුවම් ගැන මනා අධ්‍යයනයක් කළේය. ඒ ආභාෂය මත පසුව මේ නව කැලණි විහාරයේ බිතු සිතුවම් සමූහය සොයිලියස් විසින් අඳිනු ලැබීය.

අපගේ ලෙන් හා විහාරස්ථානවල බිතුසිතුවම් කලාව ජාතක කථාවලට සීමා වූ අතර කැලණි විහාර බිතුසිතුවම් ඒ මග නොගොස් බුදුදහමේ විශේෂ අවස්ථා හා ලාංකීය බෞද්ධ ශාසන ඉතිහාසය මේ සිත්තරා තේමා කරගෙන මේ බිතුසිතුවම් සමූහය ඇන්දේය.

මහමායා දේවියගේ සිහිනය, සඟමිත් තෙරණිය විසින් ශ්‍රී මහා බෝධිය වැඩමවීම, හේමමාලා දන්ත කුමරුන් දන්ත ධාතුව වැඩමවීම විජයාගමනය, සිදුහත් කුමර අකුරු කිරිම, මහින්දාගමනය, ත්‍රිපිටකටය ග්‍රන්ථාරූඪ කිරීම හා බුදුන් වහන්සේගේ ලංකාගමනය මේ විචිත්‍ර සිතුවම් අතර ඉතා අලංකාර ප්‍රධාන චිත්‍ර ලෙස ගත හැකිය.

මේ බිතුසිතුවම් ඇඳීම සඳහා වර්ණ සාදාගෙන ඇත්තේ ලක් පොළොවෙන් ගනු ලබන අමුද්‍රව්‍ය උපයෝගී කරගෙනය. පතල් ආදියෙන් ලබාගත් මකුළු ඇතුළු වර්ණ මැටි වර්ගත්, අත්තනගල්ලේ සිට අලවල හරහා යන දුනුමාලේ නමැති ගමේ හිරියල් උපයෝගි කරගෙන සාදාගනු ලබන පාටත්, තිලගම කන්දෙන් නිල් පාටත් කලු ඇදුන සකසා පරණ කොහොල්ලෑ දුම්මල ආදිය යොදා කළ වර්ණත් මේ චිත්‍ර ඇඳීම සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත.කොළඹින් ගෙනෙන ලද කැඩුණු බිත්තරවල සාරයද මේවාට මිශ්‍ර කර මේ චිත්‍ර සමූහය ඇඳ ඇත.

ප්‍රවීන චිත්‍ර ශිල්පියෙකු වන ඒ ඩී.ජයතිලක මහතා පවසන අන්දමට මේ බිතු සිතුවම් සමූහය නිම කර ඇත්තේ බිත්තර ටෙම්පරා ජල මිශ්‍රණ (EGG TEMPERA IN WATER) ක්‍රමය උපයෝගී කරගෙනය. ඔහු තව දුරටත් කියා සිටින්නේ මේ සිතුවම් වල සෙවණ යෙදීම සදහා “ සතිත් ක්‍රමය (STIFFING TECHNIQUE) යොදාගෙන ඇති බවයි.

මේ අති විශිෂ්ට චිත්‍ර සමූහය ගැන පෑලියගොඩ ගංඟාරාම විහාරයේ බිතුසිතුවම් ඇඳි ඕලන්ද ජාතික “ ජෝ පිකාසෝ නම් කිතුණූ චිත්‍ර ශිල්පියා සඳහන් කරන පරිදි කැලණියේ තව සිතුවම් වූ කලී අසාමාන්‍ය කැපවීමකින් හා මාධ්‍යය උපරිම පරිදි ප්‍රයෝජනයට ගනිමින් කරන ලද ප්‍රෞඩ නිර්මාණයකි. විහාරයට රැස්වන සැදැහැවතුන් ආගමික ශ්‍රද්ධාවකින් පිබිදවීමට ලැබී ඇති පිටිවහල නිසා මේ සිතුවම් අද්විතීය වන්නේය. මෙය පුරාතන බිතුසිතුවම් කලාවේ නව මුහුණුවරකි. එය අලුත්ය. නැවුම් වින්දනයකින් පුබුදු කරවන සුලුය. “

කෙසේ වෙතත් පුරා අවුරුදු 18 ක් තම ශ්‍රම ශක්තිය කැලණිය වෙනුවෙන් කැප කළ මේ සිත්තරාට අවසන් වශයෙන් ඉතරි වූයේ කළකිරීමක් පමණි. මේ කලකිරීමට හේතු වූයේ බුදුමැදුරෙහි පසුබිම චිත්‍රකරණය කිරීම සඳහා ඔහුගේ චිත්‍ර අවතක්සේරුවට ලක් කරමින් ජර්මන් චිත්‍ර ශිල්පියෙකු කැලණි විහාර පාලන අධිකාරිය විසින් ගෙන්වීමය. මෙයින් හොඳටම කලකිරුණු සොයිලියස් සිත්තරා තමාගේ පින්සල් මිටියද කැලණි ගඟට විසිකර තවත් චිත්‍ර නොඅඳිමියි සිතා තම ගම් බිම් බලා පිටත්විය.

අවසානයේ තමන් සතු සියලු ධනය වියදම් කර මහා වැව සිවි රාජ අඳ බිහිරි විද්‍යාලය ඉදි කරවා තමන් සතු සියලු ඉඩම් අක්කර 85 ක් එහි නඩත්තුව සඳහා පරිත්‍යාග කර 1975 සැප්තැම්බර් 01 වනදා අප අතරින් සදහටම වෙන්වී ගියේය.

කෙසේ වෙතත් මේ කැලණි විහාරයේ නව බිතුසිතුවම් සමූහය රැක ගැනීම අප කාගේත් පරම යුතුකමකි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.