Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දළදා පෙරහරට සතර දේවාල හවුල් වන අයුරු

ඇසළ පෙරහර අතර මුල්තැන ලැබෙනුයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරටයි. මේ දළදා මාලිගාවේ පෙරහරට පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සතර දේවාල එකතු වෙයි. අද සෙන්කඩගල ඇත්තේ මහනුවර නගරයේ ඉදිවූ පස්වන දළදා මැඳුරයි. මීට පෙර තිබූ දළදා මැදුරු හතරක් විනාශ විය. අද ඇති පස්වන දළදා මැඳුර මුලින්ම ඉදිකළේ කුණ්ඩසාලේ රජ කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. (1707- 1739 ) 1765 උඩරටට වෑන්ඊක් යටතේ එල්ලවූ ඕලන්ද ආක්‍රමණයෙන් දළදා මැදුරට තදබල හානි සිදුවිය.

මේ නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජුට (1747 – 1782 ) අවුරුදු හතකට වැඩි කාලයක් දළදා මැඳුරේ දීර්ඝ ප්‍රතිසංස්කරණයක් කිරීමට සිදුවිය. ඒ නිසා නරේන්ද්‍රසිංහ රජු කල දෙමහල් දළදා මැඳුර කීර්ති ශ්‍රී රාජසිංහ රජු කළ දීර්ඝ ප්‍රතිසංස්කරණයෙන් පසු මුල් ස්වරූපය එසේම ඇත. උඩරට අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ (1798 –1815) දළදා මැඳුරට පත්තිරිප්පුව අද ඇති දිය අගල හා වලාකුළු බැම්ම එකතු කොට දළදා මැඳුර අසල බෝගම්බර කිරිමුහුද නිර්මාණය කළේය. මෑතකදී සිදුවූ ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පසු දළදා මාලිගාවේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් ඇති විය.

සෙන්කඩගලට දළදා වහන්සේ වැඩම කළේ සීතාවක දෙල්ගමු විහාරයේ සිටය. උඩරට රාජ්‍යය ආරම්භ කළ පළමු විමලධර්මසූරිය රජු (1592 – 1604) පටන් සෙන්කඩගල අසළ පෙරහර ආරම්භ විය. සෙන්කඩගල මුල්ම කාලවල පැවැති දළදා පෙරහර ගැන විස්තර හමු නොවෙයි. උඩරට දෙවන රාජසිංහ රජු (1636 – 1687 ) ගේ සිරකුරුවෙකුව සිටි රොබට් නොක්ස්ගේ “ ලංකා විස්තරය “ අනුව එදා පැවැතියේ දළදා පෙරහරක් නොව දේව පෙරහරකි. නොක්ස්ගේ විස්තරයේ පහත දැක්වෙන ප්‍රධාන කරුණු හෙළිවෙයි. එදා පෙරහරේ දළදා කරඬුව වැඩමවූයේ නැත. ඇසළ පෙරහර පැවැතුණේ අහස පොළොව ඉරහඳ මැවූ බව විශ්වාස කළ අලුත්නුවර දෙවි වෙනුවෙනි. (දෙවුන්දර උපුල්වන් දේවාලයේ සිට දඹදෙණි කල මාවනැල්ල අලුත්නුවරට වැඩම වූ උපුල්වන් දෙවි උඩරට සෙනරත් රජු කල පමණ මහනුවරට වැඩමවා ඇත. අලුත්නුවර දෙවි ලෙස මෙකල පුද ලැබුවේ උපුල්වන් දෙවියන්ය.

අලුත්නුවර දේවතා බණ්ඩාර, දැඩිමුණ්ඩ යන නම්වලින් එතුමා වඩාත් ප්‍රසිද්ධ විය.

අලුත්නුවර දෙවියන්ගේ දේවාභරණ ඇසළ පෙරහරේ මුලින්ම වැඩමවා ඇත. ඒ පෙරහර දිග තනි පේළියක් ලෙස ගමන් කර ඇත. අලුත්නුවර පෙරහර ආරම්භක ස්ථානයට මඳක් පසුපස සිට අලුත්නුවර පෙරහර මැදිකර ගෙන ඒ දෙපැත්තේ පේළි දෙකක් ලෙස කතරගම හා පත්තිනි දේවාල පෙරහරට හවුල් වී ඇත. අද මෙන් එක දේවාල පෙරහරක් නිම වූ පසු අනෙක් දේවාල පෙරහර ගමන් කළේ නැත. අලුත්නුවර කතරගම, පත්තිනි යන දේවාල තුනේම පෙරහර ගමන් කළේ එකටය.

නාථ, මෛත්‍රිය, බෝධිසත්වයන් ලෙස මෙකල විශ්වාස කළ බැවින් ඇසළ දේව පෙරහරට හවුල් වූයේ නැත.

සෙන්කඩගල පැවැති ඇසළ දේව පෙරහැර දළදා හිමිට පුද පිණිස දළදා පෙරහරක් ලෙස සංවිධානය වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1782) රජු කලය. ඒ බව මුංකොටුවේ රාළ ලිවූ “ සඟරාජවත “ කවිපොත කියයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජුට දළදා උපහාර පිණිස ඇසළ පෙරහර සංවිධානය කිරීමට වැලිවිට සරණංකර සඟ රජුගේ අනුශාසනා ලැබී ඇත. එදා සිට අද වන තුරු සෙන්කඩගල ඇසළ පෙරහරේ දළදා පෙරහරට පසු පිළිවෙලින් නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සතරදේවාල පෙරහර ගමන් කරයි.

නාථ දේවාල - මහනුවර ඇති පැරැණිම ගොඩනැඟිල්ලයි. ගම්පළ අග යුගයේ ඉදි වූ ගෙඩිගේ දේවාලයකි.(අනුරාධපුර අගකල ඉදිවී ගම්පළ කල දක්වා පැවැති මුල් නාථ දේවාලය අද නාථ දේවාල බිමේ කෙළවරක ඇති ගම්බාර දේවාලය ලෙස සැලකෙයි) නාථදෙවි යනු මහායාන අවලෝකිතේශ්වර දෙවියන්ය. මුල් නාථ දේවාලයක් ලේවැල්ල නුදුරු යක්ගහපිටියේ විය. දුම්බරට අධිපති පිටියේ දෙවි අතින් පැරදි නාථදෙවි මහනුවරට පසුබැස ඇත. සෙන්කඩගල අවධිය වන විට නාථ දෙවිගේ් මහායාන ස්වරූපය යටපත්ව මතු බුදුවන මෛත්‍රිය බෝසතුන් ලෙස පිළිගැනීමක් විය. එදා නාථ දේවාලයේ දී උඩරට රජවරු රාජ නාමය තෝරා ගැනීම ඔටුනු පැළදවීම කළ අතර සිංහල අවුරුද්දට ගල්වන හිස තෙල් රටපුරා බෙදාහැරියේ නාථ දේවාලයෙනි. නිරෝගී සුවය ලෙඩරෝග වැළැක්වීම කරයි. නාථ දේවාලයේ පිටිසර දේවාල ලෙස දොඩන්වල පස්ගම දේවාලවල බස්නායකවරු පෙරහරේ යති.

විෂ්ණු දේවාලය - බුදුදහමේ හා දළදා මාලිගාවේ ආරක්ෂකයා ලෙස පිළිගැනෙයි. යුද්ධ ජය ලබා දෙයි. හින්දු ස්වරූපය යටපත්ව බෞද්ධ ආරක්‍ෂකයෙකු ලෙස පුදයි. අද විෂ්ණු දේවාලය ඇති බිමේ මුලින් පුද ලැබුවේ අලුත්නුවර දෙවිය. නරේන්ද්‍රසිංහ රජුකල (1707 – 1739) එතෙක් පැවැති අලුත්නුවර දේවාලය කඩා වෙනස් කර විෂ්ණු දේවාලයක් බවට පත් කරන ලදී. ඒ වෙනුවට විෂ්ණු දේවාලයේ පිටුපස අලුත්නුවර දේවාලයක් ඉදිවිය. උඩරට රජවරුන්ගේ යුද ජය ග්‍රහණවලට විෂ්ණුදෙවි පිහිට වී ඇත. එදා උඩරට රජවරුන්ගේ මංගල කඩුව කරලෑම ඔටුනු පැළඳවීම චාරිත්‍ර විෂ්ණු දේවාලයේ දී සිදුවිය. දේවාල ගොඩනැඟිල්ල දිගටිය. පිටතින් දෙමහල්ය. මෙහි බෝධිය බෝධිපූජා වලට බාරහාරවලට ප්‍රසිද්ධය. විෂ්ණු දේවාල පෙරහරේ නිල් වර්ණය කැපී පෙනෙයි.ඇසළ පෙරහැර නිම වු පසු විෂ්ණු දේවාලයේදී වළියකුන් නටයි.

කතරගම දේවාලය - මහනුවර නගර මධ්‍යයේ ඇත. නරේන්ද්‍රසිංහ රජුකල (1707 –1739 ) දේවාලය ඉදි විය. පළලින් අඩු දිගවැඩි ගොඩනැඟිල්ල වටා හතර පැත්තෙන්ම පටු ආලින්දයකි. උඩරට රජවරුන්ගේ යුද්ධවලදි ජය ලබා දී ඇත. එමෙන්ම රුහුණු කතරගම යාමට පෙර මෙහි ගොස් බාරහාරවීම චාරිත්‍රයයි. කතරගම දෙවි වෙළෙඳුන්ගේ පුද පූජා බහුලව ලබයි. මේ දේවාලයේ බස්නායක පරපුර සිංහලයි. කපු පරපුර දකුණූ ඉන්දියාවෙන් ආ හින්දු බ්‍රාහ්මණ පරපුරකි. ඒ හින්දු බ්‍රාහ්මණ පරපුරේ දසවෙනියා අද ඇත. පෙරහරේ කාවාඩි කොහොඹ කළය වැනි ද්‍රවිඩ ස්වරූපය ගත් නැටුම් ගායන වාදන වැඩිපුර ඇත. රතු වර්ණය මේ පරපුරේ කැපී පෙනෙයි. 1880 දී පමණ ඇරැඹුණු බෞද්ධ පන්සල් දෙකක් දේවාල බිම සීමාවේ ඇත.

පත්තිනි දේවාලය - ද්‍රවිඩ “සිනප්පදිකාරම්” කාව්‍යයේ එන කණ්ණඟි පතිවත නිසා පත්තිනි වී ඇත. පසුකල ඇය ලංකාවේදි බෞද්ධ ස්වරූපය ලබා පුද ලබයි. භක්තිය වැඩිවත්ම සත්පත්තිනි දොළොස් පත්තිනි ලෙස පුදයි. පළමු ගජබා රජුකල පත්තිනි වන්දනාව ලංකාවට පැමිණ ඇත. ප්‍රධාන පත්තිනි දේවාලය නවගමුවයි.

සෙන්කඩගල මුල්කල කුඩා පත්තිනි දේවාලයක් හා බුදුමැදුරක් තිබී ඇත. අද ඇති පත්තිනි දේවාලය නරේන්ද්‍රසිංහ රජුකල (1707- 1739) ඉදිවිය. මේ පෙරහරේ කාන්තා නැටුම් වැඩිය. සුදු වර්ණය කැපී පෙනෙයි.බෝවෙන රෝග වැළැක්වීම දරුවන්ගේ ලෙඩරෝග වළක්වා ආරක්ෂාව ස්ත්‍රීන්ට දරු සම්පත් ලබාදීම ප්‍රධාන වෙයි. කිරිඅම්මා දානය පත්තිනි දෙවි පූජාවකි.

ගණදෙවි කෝවිල - පුල්ලෙයාර් ගණදෙවි හෙවත් සෙල්වවිනයාගර් කෝවිල කටුකැලේ ඇත. දිය කපනදා රාත්‍රි හා දහවල් පෙරහරදා සතර දේවාල පෙරහර ගණදෙවි කෝවිලේ දී පිළිගෙන පෙරහර චාරිත්‍ර රැසක් ඉටු කරයි.අද ඇත්තේ මේ බිමේ ඉදි වූ තුන්වෙනි ගොඩනැඟිල්ලයි.මෙම දේවාලයේ ආරම්භය කීර්ති ශ්‍රී‍්‍ර රාජසිංහ රජුකල (1747 – 1782) බව පිළිගැනෙයි. අනුරාධ සෙනෙවිරත්න “ මහනුවර” ග්‍රන්ථයේ දී කියන්නේ 1840 දී පමණ දේවාලය ඇරඹුණු බවයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.