Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේටත්, උන්වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේටත්, දෙවි, දේවතාවන්ටත් දක්වන අපමණ ගෞරවයෙන්, ශ්‍රද්ධා , භක්තියෙන් යුක්තව වාර්ෂිකව සංවිධානය කෙරෙන, ඉපැරණි වත් පිළිවෙත් සාම්ප්‍රදායිකව අනුගමනය කරනු ලබන, අති විශිෂ්ට ශ්‍රී ලාංකේය සංස්කෘතික මංගල්‍යයකි. මහනුවර ඇසළ පෙරහර.

ශ්‍රී දළදා මාලිගයේ නැකත් මොහොට්ටාල සකස් කරනු ලබන ශුභ වේලාවන් අනුගමනය කරමින් චාරිත්‍රානුකූ®ලව ඇසළ පෙරහර කටයුතු ආරම්භ කරනු ලැබේ. ඒ හා බැඳි මුල්ම කාර්යය වන්නේ සතර දේවාලයන් හි සිදුකරන කප් සිටුවීම නමැති උත්සවය පැවැත්වීමයි. දෙව්ලොව ඇතැයි විශ්වාස කෙරෙන සියලු සම්පත් ලබාදෙන කල්ප වෘක්‍ෂය සංකේතවත් කරන කප සිටුවීමෙන් පෙරහර මංගල්‍යය වඩා හොඳින් පවත්වා ගැනීමට දෙවි, දේවතාවුන්ගේ පිහිට ලබා ගැනීම අපේක්‍ෂා කෙරේ. මෙම සමාරම්භක උත්සවය යෙදෙනුයේ ඇසළ මස අමාවක පෝය ආශි‍්‍රතව නැකත් මොහොට්ටාල සකස් කරනු ලබන ශුභ නැකතකට ය. සතර දේවාලවල කපු මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සංවිධානය වන මෙම කාර්යයේ ප්‍රධාන වගකීම පැවරෙනුයේ මහ දේවාලය හෙවත් විෂ්ණු දේවාලය භාර කපු මහත්මාට ය. කිරි ගසක් වන කොස් ගසක් වෙත ගොස් ගස මුල ශුද්ධ පවිත්‍ර කර, පහන් දල්වා, සුවඳ ධූප අල්ලා චාරිත්‍ර ඉටු කැරලීමෙන් ඉක්බිති, ඉස්සෝදා නහවා සුදු වතින් සැරසී සිටින විෂ්ණු දේවාලයේ කපු මහත්මා කොස් අත්තක් කපා යළි එය සතරට කපා දේවාල අතර බෙදා හදා ගැනීම සිදු කරයි.අනතුරුව දේවාල කපු මහත්වරු එම කොටස් හේවිසි හඬ මධ්‍යයේ ගෙන ගොස් ඒ ඒ දේවාල ආශි‍්‍රත සුවිශේෂි තැන්වල සිටුවති.

කප් සිටුවීමෙන් පසු සතර දේවාලවල දේවාභරණ හේවිසි හඬ මධ්‍යයේ දේවාල වටා උඩුවියන් යටින් වැඩම කරවීමේ චාම් පෙරහර දින පහක් මුළුල්ලේ පැවැත්වේ. මේ කාර්යය ඇතුළේ පෙරහර නමින් හඳුන්වනු ලැබේ.

ඉන් පසු කුඹල් පෙරහර ආරම්භ වේ.සෙංකඩගල පුර වරය හේවිසි , ගැටබෙර හඩින් ගිගුම් දෙවමින් වීදි බසින මෙම පෙරහැර අලි, ඇතුන්ගෙන් සමන්විත අතිශය දර්ශනීය පෙරහරකි. විවිධ නර්තන අංගයන්ගෙන් හැඩ, වැඩවන කුඹල් පෙරහර පුරා දින පහක් තිස්සේ වීදි සංචාරය කරනු ලැබේ. මෙහි විශේෂත්වය වනුයේ දියවඩන නිලමේතුමා පෙරහරට සහභාගි වී සිටිය ද සුදුවතින් සැරසී ගමන් කරීම හා දළදා කරඬුව වෙනුවට පෙරහර කරඬුව, වැඩම කරවන හස්තිරාජයා උඩුවියන්, පියවිලි ආදිය භාවිතා නොකර ් ගමන් කිරීමයි. ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කරන දින එය නැරඹීම පිණිස කුඩා දරුවන් වඩා ගත් මව්පියවරුන්ගෙන් පෙරහර ගමන් මග දෙපස පිරී ඉතිරී යයි. මෙයට ප්‍රධාන හේතුව පළමු කුඹල් පෙරහර නැරඹීමෙන් ලෙඩ රෝග දුරුවී යන්නේය යන විශ්වාසය සැදැහැවතුන් තුළ පැවතීමයි. කුඹල් පෙරහර අවසන් වන විට නර්තන අංග, අලි ඇතුන් සහභාගිකරවීම ආදිය වඩා සංවර්ධනය වූ රන්දෝලි පෙරහර ආරම්භ වේ.

මෙම වර්ෂයේ අගෝස්තු මස 09 වන දින සිට 13 වන දින දක්වා මහනුවර ඇසළ පෙරහරේ රන්දෝලි පෙරහර පැවැත්වේ. රන්දෝලි යනු දේවාලවලට අයත් දෝලාවන්ය. ඒ ඒ ඒ දේවාලවලට අයත් රන් කෙණ්ඩි , රන් කඩු දෝලාවල ගෙන යාම සිරිත වේ. රන්දෝලිය සමග රජ කුමරියන් හා වෙනත් ආර්යාවන් ගමන් ගත් පුවතක් සමාජ ගත වී තිබේ. මෙය සංකේතවත් කරමින් අදත් රන්දෝලි දෙපස කාන්තාවන් දෙදෙනා බැගින් ගමන් කරනු දක්නා ලැබේ.

රන්දෝලි පෙරහර ඇසළ පෙරහර මංගල්‍යයේ ඉතාම උත්කර්ෂවත් අවස්ථාවයි.අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් හා උඩරට මෙන්ම ගැමි නර්තන අංග බොහොමයක් මේ පෙරහරවල ඇතුළත් ය. කුඹල් පෙරහර මෙන් ම මේ පෙරහර ද ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර පෙරටු කරගෙන පිළිවෙලින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාලවල පෙරහර සම්බන්ධ කරගෙන සමස්ත පෙරහරක් වශයෙන් වීදි සංචාරය කරනු ලැබේ. මහනුවර ඇසළ පෙරහර ඊට අනන්‍ය වූ සම්ප්‍රදාය අනුව පෙළ ගස්වන අකාරය විශේෂිතය. පොලිස් පෙර ගමන් රථය ප්‍රථම කොට ගමන් ගන්නා අතර ඉක්බිති කස පුපුරවන්නන්, ගිනිබෝල සංදර්ශන ශිල්පීන්, ඔවුනට වාදනය සපයන හේවිසිකරුවන්, ජාතික කොඩිය හා බෞද්ධ කොඩි රැගෙන යන අයවළුන්, පිත්තල කොඩි හා කෝරළ පළාත් ආදි ඉපැරණි පරිපාලනය සංකේත කරන කොඩි රැගෙන යන උදවිය, කඩු රැගෙන යන අය, තාලම් වාදන කණ්ඩායම් හා ඇසළ පෙරහරේ සුවිශේෂි අංගයක් වන හේවිසි වාදන ශිල්පීන් ආදි විවිධ පෙරහර අංග පෙළගැස්මෙහි මුල්කොටසෙහි විශේෂත්වයක් ගනී.මේ අතර පෙරහරෙහි ගමන් කරන මුල්ම ඇත් රජු පිටමත පෙරමුණේ රාළ ගමන් ගනී. ඔහුගේ දෑතෙහි රමණීය මංජුසාවක බහාලන ලද පුස්කොළ පොතකි. එය ලේකම් මිටිය නමින් හඳුන්වනු ලැබේ. ශ්‍රී දළදා මාලිගයෙහි රාජකාරි හා පෙරහර පැවැත්විය යුතු ආකාරය පිළිබඳ විස්තර එහි අඩංගු බව කියැවේ. දෙවනුව පෙරහරෙහි ගමන් කරන ඇත් රජු පිටමත ගමන් ගන්නේ ගජනායක නිලමේය. එතුමන්ගේ දෑතේ රිදී අංකුසයක් දක්නට ලැබේ. රජ වාසල ඇතුන් භාරව සිටින මෙම නිලධාරියා පෙරහරෙහි ගමන් කරනුයේ පෙරහරේ ගමන් කරන අලි ඇතුන් භාරව බවද පිළිගැනේ. අනතුරුව පෙරහරෙහි අලි, ඇතුන් දෙදෙනා සහ තිදෙනා බැගින් වරින් වර ගමන් කරන අතර, ඒ අතරතුර ලී කෙළි, සවරන්, උඩැක්කි, රබන් කරකැවීම, පන්තේරු ආදි විවිධ නර්තන අංග යොදා විසිතුරු කෙරේ. පෙරහරෙහි අවසාන භාගය ළඟාවන කල්හි උඩරට නර්තන ශිල්පී ක්‍රමයේ හිස වේස් පැළඳවීමට සුදුසුකම් ලබා ශිල්පය ප්‍රගුණ කර සිටින නයියණ්ඩි නර්තන කණ්ඩායමක් සහ එහි කෙළවර සංඛ්‍යාත්මක වශයෙන් විශාල උඩරට නර්තන ශිල්පී කණ්ඩායමක් ගමන් කරනු දක්නට ලැබේ. මෙය අතිශය චමත්කාරජනක දර්ශනයකි. එම කණ්ඩායම කවි ගායනා කරමින්, අඩව්, කස්තිරම් අල්ලමින් ශිල්ප දක්වන අතර ඊට පිටුපසින් උඩුවියන් යට සුදු පිවිලි මත දෑලේ ඇතුන් පිරිවරාගෙන ඉමහත් සාඩම්බර ලීලාවෙන් මංගල හස්තිරාජයා පෙරහර කරඬුව සහිත රන්සිවිගෙය වැඩමකරගෙන ගමන් ගනී.මේ අවස්ථාව වන විට මග දෙපස රැඳී පෙරහර අසිරියෙන් මුසපත්ව සිටින සැදැහැවත්හු දෑත නළලත බැඳ සාදු නාද පවත්වති. මහත් ගෞරවාන්විත දසුනකි. ඊට පිටුපසින් කවිකාරමඩුව කව්ගායනා කරමින් ගමන් ගන්නා අතර මල් පහන් දෝතට ගත් සැදැහැවත් ළමා පෙළක් ගමන් කරනුයේ දළදා වහන්සේ වෙත ගෞරව බහුමානය දක්වනු පිණිසයි. ඊට පිටුපසින් තවත් රමණීය උඩරට නර්තන ශිල්පීන් පිරිසක් ගමන් කරති. එහි නායකත්වය දරනුයේ දෙස්, විදෙස් පතළ උඩරට ප්‍රවීණ නර්තන ශීල්පී, පීටර් සූරසේනයන් ය. එම නර්තන කණ්ඩායම ශිල්ප දක්වනුයේ පිටු පසින් පැමිණෙන දියවඩන නිලමේතුමන්ටය. වත්මනෙහි එම තනතුර හොබවන ප්‍රදීප් නිලංග දෑල මහතා පිරිවරාගෙන ශ්‍රී දළදා මාලිගයේ විදානේවරු ගමන් කරති. ඉක්බිති දළදා මාලිගයේ පෙරහර සමාප්ත වේ. ඊළඟට පිළිවෙලින් පෙළ ගැසුණු නාථ , විෂ්ණු, කතරගම, සහ පත්තිනි දේවාල පෙරහර සම්බන්ධ වේ. මෙම පෙරහරවල ද අලි, ඇතුන් ගැමි හා උඩරට නර්තන අංග දක්නට ලැබේ. නාථදේවාල පෙරහරේ ගමන් කරන අලි , ඇතුන් කහ පැහැයෙන් යුක්ත ඇඳුම් සහ විදුලි බුබුළුවලින් ද විෂ්ණු දේවාල පෙරහරේ ගමන් කරන අලි ඇතුන් නිල් පැහයෙන් යුත් ඇඳුම් හා විදුලි බුබුළුවලින්ද, කතරගම දේවාල පෙරහරේ ගමන් ගන්නා අලි ඇතුන් රක්ත වර්ණ ඇඳුම් සහ විදුලි බුබුළුවලින් ද පත්තිනි දේවාල පෙරහරට සහභාගි වන අලි ඇතුන් කහ පැහැ ඇඳුම් සහ විදුලි බුබුළුවලින්ද සැරසීම විශේෂ ලක්‍ෂණයකි. තවද කතරගම දේවාල පෙරහරේ සිරුරට දුක් දෙමින් දෙවියන් උදෙසා බැති උපහාර දක්වන කාවඩි නර්තන ශිල්පීන් ගමන් ගැනීම සහ පත්තිනි දේවාල පෙරහරේ නර්තන ශිල්පිනියන්ගේ වැඩි නියෝජනයක් තිබීමද වෙසෙසි ලක්‍ෂණයකි. පෙරහර ඉතිහාසය සමග අමතකව නොයන අලි, ඇතුන් කිහිප දෙනෙක්ද ඇසළ පෙරහර සමය තුළ අප සිහියට නැඟේ. අඩසිය වසක් පමණ ශ්‍රී දළදා මාලිගයේ පෙරහර කරඬුව වැඩම කළ ජගත් පතළ ‘රාජා’ ඇත් රජු ඉන් ප්‍රමුඛස්ථානය ගනී. දැනට වසර 23 කට පමණ පෙර මිය ගිය රාජා හස්තියාගේ සිරුර ප්‍රති නිර්මාණය කර දළදා මාලිගා පරිශ්‍රයේ විශේෂ කෞතුකාගාරය දැනට තැන්පත් කර තිබේ. ඉන් පසු එකී කාර්යය ඉටුකළ හෙයියන්තුඩුවේ ඇතා, පත්තිනි දේවාල පෙරහැරේ දේවාබරණ වැඩම කළ සිරිලක උසම හස්තියා ලෙස ප්‍රකටව සිටි ගන්නෝරුව හස්තියා දැනට මියට ගොස් නමුදු අමරණීය ය. විෂ්ණු දේවාල පෙරහරේ දේවාභරණ වැඩම කරගෙන ගිය මිල්ලංගොඩ ඇත් රජු ගිය සතියේ මියගියද දැනට දිගම දළ යුවළකට හිමිකම් කිය පරසිදු හස්තියෙකි. එසේම හේවිසි හා උඩරට නර්තන අංග ඉදිරිපත් කරන මාලගම්මන හා අමුණුගම ශිල්ප පරම්පරා ද සිහිපත් කළ යුතුවේ. අවසන් රන්දෝලි පෙරහර මහ පෙරහර යනුවෙන් හැඳින්වෙන අතර එය අලි ඇතුන් හා නර්තන අංග වැඩි ප්‍රමාණයකින් යුත් සංදර්ශනයකි. නිකිණි පුර පසළොස්වක පොහොය දිනට යෙදෙන මෙම පෙරහර මෙවර පැවැත්වෙනුයේ අගෝස්තු මස 13 වන දිනට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහෝ දවසේ ය.

අවසන් දින රාත්‍රී වීදි සංචාරය කළ පසු දළදා මාලිගයේ පෙරහර මාලිගයට ගෙවදින්නේ නැත. එදින පෙරහර කරඬුව පසුදා පහන්වන තෙක් අස්ගිරිය විහාරය යාබද ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයෙහි තැන්පත් කෙරේ. එම අලුයම තුනට පමණ සතර දේවාලවල කපු මහත්වරු පේරාදෙණිය, ගැටඹේ පිහිටි දියකපන තොට විහාරය බලා පෙරහරෙන් පිටත්ව යෙති. ඔවුහු පෙර වර්ෂයේ මෙතැන දී පුරවා ගත් දිය සහිත රන් කෙණ්ඩි හා රන් කඩුගෙන සුදු පැහැ කඩතුරාවකින් වසනා ලද පාරුවකින් ගඟ මැදට ගමන් කරති. කඩතුරාවට මුවා වී රන් කඩුවෙන් දිය කපත්ම කෙණ්ඩිවල දිය හිස්කර වහා යළි පුරවා ගනිති. මේ චාරිත්‍රය දිය කැපීම නමි. මේ අවස්ථාවේ මල් වැසි වැටෙන බවට සැදැහැවත්හු විශ්වාස කරති.

දිය කැපීමෙන් අනතුරුව එම පෙරහර යළි දේවාලවලට පැමිණෙන අතර දළදා මාලිගයේ පෙරහර පෙරටු කොට ගණදෙවි කෝවිලෙන් පිටත්ව සතර දේවාල පෙරහර සමග දළදා මාලිගය තෙක් දහවල් පෙරහර ලෙස ගමන් කර මාලිගා පරිශ්‍රය වටා තෙවරක් ප්‍රදක්‍ෂිණා කොට සවස ගෙවදීමෙන් ඉක්බිති දළදා පෙරහර නිමාවට පත්වේ.

මෙදින දහවල් පෙරහර ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේ ප්‍රධාන සතර දේවාලවල බස්නායක නිලමේවරු සම්ප්‍රදායානුකුලව මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සම්මුඛව පෙරහර සාර්ථකව නිම කළ බව සැළ කර සිටිති. එතුමන් එහි පැමිණෙන අලි ඇතුනට සංග්‍රහ කර, පෙරහරෙහි දස්කම පෑ කලා ශිල්පීන් ඇගයීමට ලක් කිරීම සිදු කරන අතර මෙවර එම කටයුත්ත අගෝස්තු 14 වන දිනට යෙදී තිබේ.

පෙරහර සමය අවසාන වනුයේ එක්තරා සාම්ප්‍රදායික මංගල්‍යකිනි. එය වලියක් මංගල්‍යය නමින් හදුන්වනු ලැබේ. මහා දේවාලය හෙවත් විෂ්ණු දේවාල භූමියෙහි සතියක් මුළුල්ලේ මෙම උත්සවය පැවැත්වේ. පෙරහර පැවැත්වීමේදී යම් යම් අත්වැරදි සිදුවූයේ නම් දෙවි දේවතාවන් වෙතින් සමාව අයැද සිටීමද ඇස්වහ කටවහ ආදි වස්දොස් ආදිය දුරුකර ගැනීමද මෙම වලියක් මංගල්‍යය පැවැත්වීමේ අරමුණයි.

සමාජ විද්‍යා දෘෂ්ටි කෝණයෙන් බලා පෙරහර වර්ෂාව අනුකරණය කරන බවට සමාජ විද්‍යාඥයෝ අර්ථ දක්වති.කස පුපුරවන්නන් හෙණ හඬ සංකේතවත් කරන බවත්, අනතුරුව එන ගිනිබෝල කරකවන්නන් හා විලක්කු ගෙන යන්නන් නිසා අඩු වැඩි වශයෙන් පෙරහරට එක්වන ආලෝකය විදුලි කෙටීම බඳු බවත් අකුණු හඬටත් විදුලිකෙටීමටත් පසුව එන වැසි වළාවන් පෙරහරෙහි ගමන් කරන අලි, ඇතුන් තුළින් සංකේතවත් වන බවත් වැඩිදුරටත් විස්තර වේ. කෙසේ වෙතත් මහනුවර ඇසළ පෙරහර නිමාවට පත්වීමත් සමග වැසි ලැබීම සාමාන්‍යයෙන් සිදුවන බව පැවසිය හැකිය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.