Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිත සැපතට පිළිපැදිය යුතු පිළිවෙත්

නොපසුබට වීර්යය ඇති,  යහපත් සිහි නුවණින් යුතු, නිවැරැදි දේ කරන  දැහැමි වූ  නොපමාවන පුද්ගලයා ගේ යස ගොස  මනාසේ වැඩෙන බව වදාළ සේක.

උපන් හැම සත්ත්වයකු ම සැප විඳීමට කැමති ය. මෙලොව ජීවිතය සැපවත් කර ගැනීමට දහමට අනුව අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් පිළිපැදිය යුතුය. තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර ඇති දහම නිසි ලෙස පිළිපදින තැනැත්තාට කිසි විටෙක වැරදීමක් වන්නේ නැත.

සත්‍ය දහම අනුව ජීවිතය හැඩ ගසා ගන්නාගේ ජීවිතයෙහි යසස් වර්ධනය වේ. කය වචනය දෙකින් හික්මී දැහැමින් දිවි පෙවෙත ගෙවන නොපමා පුද්ගලයාගේ දිවිය දියුණු මාර්ගයට පත්වේ. නොපසුබට උත්සාහයෙන් තම කටයුතු කුසීත නොවී යහපත් සිහියෙන් යුතුව පවත්වා ගැනීමෙන් නිවැරැදි කාය කර්මාදියෙන් ආදර්ශමත්ව නුවණින් විමසා බලා සෑම කටයුත්තකදීම ඉදිරියට යන පුද්ගලයාට මෙලොව ජීවිතය යහපත් ලෙස ගෙවීමට සැප සම්පත් ලබා ගැනීමටත් මෙලොව ජීවිතය හරවත් ලෙස පවත්වා ගෙන යාමටත් පුළුවන.

එදා රජගහ නුවර බැළයන්ගෙන් වැඩ පල කර ගත් බොහෝ දෙනෙක් වූහ. ධනය ඇති, බලය ඇති බොහෝ දෙනා ළඟ බැළයන් වැඩි දෙනෙකු සේවාවන්හි යෙදී සිටිය බව පෙනේ. තම ජීවිත කාලයම සමහරුන්ට එකම ස්වාමියකු යටතේ මෙම වහල් සේවය කරන්නට සිදුව ඇත. බැළයන් විශාල වශයෙන් විවිධ සේවාවන්හි යෙදී සිටි රජගහ නුවර හිමිදිරියේ සේවයට යාමට සිටින බැළයන් අවදි කිරීමට ඝෝෂකයෙකු වැටුප් දී යොදා සිටියහ. ඔහු ගේ නියමිත කාරිය වූයේ උදෑසනින්ම නැගිට වීදියේ ශබ්ද නඟා හඬ ගා බැළයන් අවදි කිරීමයි.

සෑම දිනකම මෙසේ නගර යේ වීථිවල මුරගාන ඝෝෂකයා ගේ හඬ රජ මාලිගයේ සිටින බිම්බිසාර රජතුමාට ද ඇසෙයි. ඝෝෂකයා ගේ කටහඬ ගැන විමසිලිමත් වූ රජතුමා හෙතෙම රාජ පුරුෂයකු මගින් මාලිගයට ගෙන්වා ගත්තේ ය.

කට හඬ ගැන තියුණු දැනුමක් ඇති රජතුමා ඝෝෂකයා ගැන කළ පරීක්‍ෂණ යේදී සියලු සැබෑ තොරතුරු හෙළි කරගෙන දිළිඳු වෙස් ගෙන සිටි පුද්ගලයා ගේ පැවැත්ම වෙනස් කරගෙන සිටි ආකාරය ගැන ද පුදුම විය. බුද්ධිමත් අන්දමින් ජීවිත තත්ත්වය වෙනස් කරගෙන සිටි පුද්ගලයා මහා ධනවතෙකු බව දැනගත් රජතුමා සත්‍ය තොරතුරු හොඳින් දැන තම දියණිය ද සරණ පාවා දී සිටු තනතුරක් ද පැවරුවේ ය.

අවුරුදු ගණනාවකට පෙර රජගහ නුවර උසස් සිටු පවුලක උපන් ඝෝෂක තෙමේ තම නිවෙසින් පලා ගියේ පවුලට සෑදුන “අහිවාතක” නම් භයානක රෝගයෙන් දෙමාපියන් මිය යෑමට පෙරය. අන්තිම අවස්ථාවේ තම පුත්‍රයා බේරා ගැනීමට ඔවුන් දුන් උපදෙස් අනුව විශාල වශයෙන්නිදන් කර ඇති ධනය ද පෙන්වා ජීවිතය බේරා ගැනීමට පලා යන ලෙස ද කාලයක් ගෙවා පැමිණ ධනය ගෙන වාසය කරන ලෙස ද කියා දුන්හ.

ඒ අනුව පලා ගොස් අවුරුදු දොළහක්ම ඈත පෙදෙසක සිට කිසිවකු නාඳුනන ලෙස කුලය, ධනය ආදි ගැන නොසිතා ලෝභ, මානය ගැන නොතකා දිළිඳු වෙස් ගෙන අනතිමානිව ජීවත් වී පසුව ධනය ලබාගතයුතු බව සිතා කටයුතු කෙළේය.

මේ නිසා හෙතෙම ජයග්‍රාහකයෙක් විය. රජතුමාට ද මේ යසස් වැඩෙන පුද්ගලයා ගැන අවබෝධ විය. රජතුමා බුදුන් වහන්සේ ළඟට ද මොහු කැඳවා ගෙන ගොස් හඳුන්වා දුන්නේය.

මෙවැනි නොපසුබට වීර්යය ඇති, යහපත් සිහි නුවණින් යුතු, නිවැරැදි දේ කරන දැහැමි වූ නොපමාවන පුද්ගලයා ගේ යස ගොස මනාසේ වැඩෙන බව වදාළ සේක. ඒ අනුව

‘’ උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්ම කාරිනො
සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනො
අප්පමත්තස්ස යසොභි වඩ්ඨති”

බුදුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කරමින් බිම්බිසාර රජතුමාට, පුද්ගල කීර්තිය, යසස වැඩෙන අන්දම පැහැදිලි කර දුන් සේක.

කුම්භඝෝසක සිටාණන් ඇරැබ දෙසූ සේක.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.