Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයේ දී ආරම්භ කරන ලද ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා කිරීමේ පුණ්‍ය කර්මය

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයේ දී ආරම්භ කරන ලද ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා කිරීමේ පුණ්‍ය කර්මය මහත් ගෞරවාකාරයෙන් යුතුව සිදුවෙමින් පවතී.

සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සිදුකෙරෙන මෙම මහා භාරදූර කාර්යය අගෝස්තු මස 31 වෙනි දිනට නිමාකිරීමට සැලසුම් කර ඇත. මෙම සජ්ඣායනය සඳහා දිස්ත්‍රික්කයේ පිරිවෙන්, ශාසනාරක්‍ෂක මණ්ඩල නියෝජනය කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ස්වාමීන් වහන්සේලා 300 නමක් පමණ මේ වන විට වැඩම කරන්නට යෙදුණි.

වෙසක් මස 18 වන දින ආරම්භ කරන ලද ධර්ම සජ්ඣායනාව මේ වන විට සූත්‍ර පිටකයේ දීඝ නිකාය, මජ්ඣිම නිකාය සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය හා විනයේ පිටකයේ මහා වග්ග පාලිය ඇතුලු ධර්ම කොට්ඨාස රාශියක් දේශනා කොට ඇත. සෑම දිනකම අලුයම 06.00 ට ආරම්භ කරන සජ්ඣායනය පෙරවරු 11 දක්වාත් පස්වරු 2.00 සිට 10.00 දක්වා දේශනා කෙරේ. සෑම දිනකම අලුයම 05.30 ට බුද්ධාරාස්ථ සිදුකොට උණුපැන්, සිසිල් පැන් දැහැටි දඬු චීවර පූජාව, පවත්වා කිරිපිඬු දානය පූජා කිරීම. පෙරවරු 11.00 ට ආහාර බුද්ධ පූජාව, පස්වරු 06.30 ට අෂ්ඨපාන චතුමධුර පූජාව.

අසූහාරදහසක් ධර්මස්කන්ධයට පූජා පිණිස සෑම දිනකම පහන් දහසක් පූජා කෙරේ. මෙම ධර්ම සජ්ඣායනාවට උපහාර පිණිස සෑම සෙනසුරාදා ඉරිදා දිනයන්හි ගමේ සිව් දෙසින් මල් පෙරහර පවත්වනු ලැබේ. ලොකු කුඩා සෑම දෙනම සුදුවතින් සැරසී සහභාගී වීමද වැදගත් කාරණයකි. සෑම සති අන්තයකම ප්‍රසිද්ධ දැන උගත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කොට දේශනා කරන සූත්‍ර ධර්ම පිළිබඳ විශේෂ දේශනයක් පවත්වනු ලැබේ. සෙනසුරාදා දිනයන්හි පෙරවරු 08.00 සිට පස්වරු 2.00 දක්වා විශේෂ භාවනා වැඩසටහනකි. ජීවිතයේ ඉතා දුර්ලභව සහභාගි වීමට ලැබෙන මේ මහා පුණ්‍ය කර්මයට සම්බන්ධ වන ලෙස ලක්වැසි බෞද්ධ ජනතාවට ඇරයුම් කරමු.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.