Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පන්සිල් අගයන සමාජයක් බිහි කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය

බෞද්ධ සමාජයේ මූලික පදනම වන්නේ පංචශීලය යි. ‘කුරුධර්ම’ ජාතකය දෙස බැලීමෙන් පෙනී යන්නේ බුද්ධ කාලයටත් පෙර සිටම පංචශීලය ප්‍රතිපදාවක් ලෙස ආරක්ෂා කිරීමට ජනතාව පෙළඹී සිටි බවයි. එතරම් ඈත අතීතයේ සිට යහපත් සමාජ ජීවිතයක් ගොඩ නැගීම උදෙසා මෙම සාරධර්ම අගයා ඇති බව පෙනේ. එම සාරධර්ම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේගේ සමයේ ඉස්මතු වී පංචශීලය ලෙසින් ජනතාව අතරට බැස ගිය බව අපට වටහා ගත හැකිය.

මහින්දාගමනයේ සිට අද දක්වාම පංචශීලය සමාජයේ සියලු පැතිකඩයන් ඔස්සේ විහිදී ගිය බවත් එමඟින් සමාජ සාරධර්ම හොඳින් ආරක්ෂා වූ බවත් පෙනේ.

එහෙත් මෑත කාලයේ දී එය බෞද්ධයාගේ ජීවිතය අලංකාරවත් කරන මූලධර්මයන් ලෙසින් සමාජගත වී ඇති බවක් දක්නට ඇත. යම් යම් අවස්ථාවන්හි දී අප පන්සිල් සුරකින බවට පෙන්වාදීමක් බඳු හැඟීමක් මෙයින් පිළිඹිබු වේ. උත්සව සභාවක ආරම්භයේදී පන්සිල් සමාදන් වීම මෙහිදී හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැකිය.


කොළඹ විශ්ව විද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති දර්ශනපති
අගලකඩ සිරිසුමන හිමි

ශීලය හෙවත් හික්මීම උදෙසා අවශ්‍ය වන ප්‍රධාන කාරණා 5 ක් මෙමඟින් සමාජ ගත කර ඇත. මිනිසාගේ හික්මවා ගතයුතු අංග තුනක් ඇත. ඒ කායික හික්මවීම, වාචසික හික්මවීම හා මානසික හික්මවීම ය.

පංචශීලයේ දී කායික හික්මවීම හා වාචසික හික්මවීම අංග දෙකට වැඩි වැදගත්කමක් ලබා දී ඇත. සමාජ පැවැත්මට අවශ්‍ය වන කායික හික්මවීමෙහිලා මෙහිදී විශේෂ කොට සැලකිය යුතුය.

කායික හික්මවීම නොමැතිවිට විශාල වැරැදි රැසක් සිදුවේ. මෙය මතුපිටට එතරම් නොපෙනුණත් සමාජයේ සිදුවන අපරාධ ලැයිස්තුවක් ගෙන බැලුවහොත් 80% ත් 85% ත් අතර ප්‍රමාණයක් කය මුල් කරගෙන සිදුවන වැරැදි බව ඉතා පැහැදිලිය.

සත්ත්ව ඝාතනයක් හෝ මනුෂ්‍ය ඝාතනයක් මෙහිලා කැපී පෙනේ. එසේ නැත්නම් සොරකමකි. නැත්නම් කාම මිථ්‍යාචාරයයි. එසේ නැත්නම් මත් ද්‍රව්‍ය සම්බන්ධ උවදුරකි. මේ කරුණු හතර මුල් කරගෙන සමාජ අර්බුධ වලින් වැඩි ප්‍රමාණයක් හටගෙන ඇති බව පෙනේ. දැනගන්නට ඇති ආකාරයට දිනකට සිදුවන අපරාධ සංඛ්‍යාව හා බන්ධනාගාර ගතවන පිරිසෙන් 80% ක්ම මෙම කායික වැරැදි මුල් කරගෙන සිදුවන බව පෙනේ. සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කළ සමීක්ෂණයක දී මේ බව පැහැදිලිව හෙළි විය. 27000 ක් පමණ සිරකරුවන් අතරින් මේ සමීක්ෂණය සිදු කළ අතර එයින් 80% ක්ම පංචශීලය නොරැකීම නිසා බන්ධනාගාර ගත වූවන් බව දැනගන්නට ලැබුණි. එයින් 65% ක්ම මත් ද්‍රව්‍ය වැරැදි සඳහා සිරගත වූවන්ය. මෙය ඉතාම භයානක ප්‍රවණතාවක් බව බොහෝ දුරට ඉස්මතුව නොපෙනේ.

බන්ධනාගාරයක් නඩත්තු කිරීමට පවත්වාගෙන යාමට රජයට දරන්නට සිදුවන වියදම සුළු පටු නොවේ. මේ සඳහා වැය වන්නේ රටේ සංවර්ධනයට යෙදිය යුතු මුදල් ය. මේ නිසා ජනතාවගේ හැසිරීම්, චර්යා ධර්මයන් වෙනස් කළ හැකිනම් විශාල වෙනසක් සිදු කළ හැකිය. එසේම රටට වන හානිය විග්‍රහ කර බැලීමේදී පෙනී යන්නේ රටේ අපරාධ අඩු වීමෙන් ජන සමාජය තුළ සමගිය, සහජීවනය ඇති කළ හැකිය. එසේම බන්ධනාගාර, අධිකරණ, පොලිසි ඇතුළු ආයතන නඩත්තුවට යන විශාල වියදම ද ඉතිරි කරගත හැකිවනු ඇත. මේ නිසා පංචශීලය ආරක්ෂා නොකිරීම නිසා සිදුවන ව්‍යසනය සුළු පටු නොවන බව අපට පෙනේ. පැරැණි සමාජයන්හි මේ ආයතන කිසිවක් නොතිබුණි. බන්ධනාගාර පොලිසි අධිකරණ කිසිවක් නොතිබුණි. රාජාධිකරණයක් තිබුණේ ජනතාව යහමඟට ගැනීමේ අරමුණෙනි. අපේ ඉතිහාසයේ බන්ධනාගාර නොතිබුණු බව පැහැදිලිය. නමුත් ජනතාවගේ දුශ්ශීල බව වැඩිවත්ම ක්‍රමයෙන් මේ ආයතන බිහිවන්නට විය. රටේ පවත්නා මේ භයානක තත්ත්වය මත පංචශීලය නීතිගත කිරීම වඩා සුදුසු යැයි කිව යුතුය. රටට වන හානිය හා සංවර්ධනයට වන බලපෑම දෙස බලන්නේ නම් මෙය නීතිගත කළ යුතුයැයි නිතැතින්ම හැඟී යන්නේය.

අද සමාජය දෙස බැලූ විට පෙනී යන්නේ පංචශීලය ආරක්ෂා කළ යුතු ධර්මතාවක් ලෙසින් දකින බවක් නොවේ. එය හුදෙක් මෝස්තරයක් ලෙස ජනතාව අතරට මුල් බැසගෙන ඇති බව පෙනේ.

ඇතැමුන් විමසන්නේ මෙය නිතර නිතර සිහි කර පිලිපැදිය යුත්තක් ද යන්නයි. දිනපතා සිහිකර වැඩිය යුතු ගුණ ධර්මයක් ද යන්න තවත් අය විමසති. එහෙත් ආචාර්ය ඊ. ඩබ්ලිව් අධිකාරම් වැනි වියතුන් ජීවිතයේ එක්වරක් පමණක් පංචශීලය සමාදන් වූ අය බව අප දැනගත යුතුයි. ඔහු එය මැනවින් ආරක්ෂා කළ නිසා පංචශීලය වරින්වර සමාදන්වීමක් ඔහුට අවශ්‍ය වූයේ නැත. ඔහුගේ ජීවිතයේ දී පංචශීලයේ කරුණු එකක්වත් ඔහු අතින් සිඳී බිඳී ගියේ නැත. පංචශීලය ආරක්ෂා කරන තැනැත්තා තමන්ගේ තවත් සත්ත්වයකුගේ ජීවිතය නොනසා ආරක්ෂා කරන්නාසේම තවත් අය ඒ සඳහා පෙළඹවීමක් ද අපේක්ෂා කෙරේ. එසේම ‘පාණාතිපාතා’ ශික්ෂාපදය ආරක්ෂා කරන බව පවසමින් තවත් සතකුගේ ජීවිතය නොනසා මස් මාංශ අනුභව කරන්නේ නම් එතැනම එම ශික්ෂා පදය බිඳෙන බව කිව යුතුයි. තවත් අයකු පර පණ නැසීමෙන් වළක්වා ගන්නවා වෙනුවට තවත් අයකු විසින් දිවි තොර කළ සත්ත්වයකුගේ මස් අනුභව කිරීම කළත් එම ශික්ෂා පදය නිසි අයුරින් ආරක්ෂා කළ නොහැකිය.

සංඛ්‍යාලේඛන ගෙන බැලූ විට දිනකට කොපමණ ගවයන් ඝාතනය කෙරෙනවාද ? කුකුළන් ඝාතනය කෙරෙනවාද ? මනුෂ්‍ය ඝාතන කොපමණ සිදුවනවා ද යන්න තේරුම් ගත හැකිය.

පංචශීලය ආරක්‍ෂා කරන පුද්ගලයා සියලු සත්ත්වයන්ගේ ජීවිත ආරක්ෂා කර දීමට බැදී සිටී. ‘සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා’ සියලු සත්ත්වයන්ම සැප ඇති සත්ත්වයන් බවට පත් කිරීමට අපි කටයුතු කළ යුතුය.

එක් දිනක පුවත්පත් වාර්තා දෙස බැලුවහොත් පංචශීලය ආරක්ෂා නොකිරීම නිසා එම වැරැදි, අපරාධ සිදුව ඇති බව පෙනේ. එම නිසා කුමන සංවර්ධන කටයුත්තක නියැලී සිටියද මිනිස් සමාජය නිසි ගුණ දහම් අගයන්නේ නැතිනම් එතැන දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය. දුක් මහන්සි වි හම්බ කරගත් තමන්ට හිමි දේ ආරක්ෂා කර ගැනීමට නොහැකි නම් එතැන සාමය අගයන සමාජයක් බිහි නොවනු ඇත. තමන්ගේ අයිතින්, හිමිකම් සුරැකීමට හැකියාව නොලැබේ. එහෙත් පංචශීලයෙන් මේ අයිතීන්, හිමිකම් ආරක්ෂා කර දී ඇත.

අපේ රටේ දුර බැහැර ප්‍රදේශයක සංචාරය කරන පවුලකට නිදහසේ ඒ ගමන පවා යා නොහැකිය. ගෙදර තිබෙන සියලු රන් අබරණ ඇතුළු වටිනා දේ පොදි බැඳගෙන යාම හෝ ඒවා තවත් තැනෙක සඟවා යාමට ඇතැම්විට ඔවුනට සිදු වේ. එවන් ආකාරයට ගමනක් යාමේදී ඔවුනගේ හිසට මහත් වදයක් ගෙන දෙනු ඇත.

එසේම සුරාව ද සමාජයේ මුල් බැස ගත් විෂ බීජයක් බවට පත්ව ඇත. සිංහල බෞද්ධයකුට තමන්ගේ විවාහ මංගල්‍යයක්වත් ඇතැම්විට මත්පැනින් තොරව පැවැත්වීමට නොහැකි වී ඇත.

විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගන්නා මනාල යුවල තම මංගල්‍ය උත්සවයේ දී මත්පැන් භාවිතයට ඉදිරිපත් කිරීමෙන් බෞද්ධකම යටපත් කර දමයි. මේ නිසා අඩුම වශයෙන් කාන්තාව හෝ පෙරමුණ ගෙන කටයුතු කරමින් මත්පැන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. මනාලිය හෝ අඩුම වශයෙන් මව හෝ ඒ සඳහා ඉදිරිපත්ව විවාහ උත්සවයන්ගෙන් මත්පැන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුය.

බෞද්ධයාගේ නව දිවියක ඇරැඹුමට මත්පැන් සංකේතයක් ලෙස යොදා ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මත්පැන් සාද ඇතැම් විට ගුටි බැටවලින් නිමාවට පත්වන අවස්ථා ඇත. එසේම කාම මිථ්‍යාචාරය ආරක්ෂා නොකිරීම නිසා ඇතැම්විට පියාගෙන් තම දියණිය ආරක්ෂා කර ගැනීම පවාඇතැම් විට ගැටලුවක් වී ඇත.

විහාරස්ථානයක් ගමත් අතර සබැඳියාව දුරස්වීමත් පන්සිල් සුරකින සමාජයක් බිහි කිරීමට බාධා වී ඇත. සතර පෝයටම සිල් ගත් සිංහල බෞද්ධයන් පන්සලෙන් ඈත්වීමට හේතූන් රැසක් බලපා ඇත.

ඇතැම් විහාරස්ථානවල භික්ෂූන් නොමැතිකම එක් හේතුවකි. විහාරස්ථානයේ සිටින භික්ෂූන් වහන්සේ බොහෝවිට වයෝවෘද්ධය. තරුණ හිමි නමක් වෙත්නම් උන්වහන්සේ අධ්‍යාපනයට නගරයට ගොස් ඇති නිසා ගමත් සමඟ වැඩි සබඳතාවක් නැත.

මීට අමතරව ජනතාවගේ කාර්ය බහුලතාවයත් මේ දුරස්වීමට හේතු සාධක වී ඇත. ජනතාවගේ ජීවිතය බොහෝ දුරට රැකියාවට, ටියුෂන් පන්තියට වෙළඳ සැලට සීමා වී ඇත. පවුලේ සැමට එක්ව කෑම මේසයේ අසුන් ගැනීමට පවා ඇතැම්විට කෙනෙකුට හැකියාවක් නැත. එසේම ඉරු දින දහම් පාසලකට යාමට තරම්වත් වේලාවක් සකස් කර ගැනීමට බොදු දරුවාට ඇතැම්විට හැකියාවක් නැත. විවෘත ආර්ථිකයත් සමඟ ජනතාව යන්ත්‍ර සූත්‍ර බවට පත්ව ඇත. ජනතාවගේ ජීවිත අධික කාර්ය බහුලත්වයක් ඇතිවීම නිසා පොහෝ දින විහාරස්ථානයට ගොස් වතාවත් කිරීමේ හැකියාව පවා ඇතැම්විට බෞද්ධයාගෙන් ගිලිහී ගොස් ඇත. රජ කාලයේ සිට සිංහල බෞද්ධයන් තම ගම් පියසේ, රටේ, පවුලේ ඇතිවන ගැටලු සාකච්ඡා කෙළේ විහාරස්ථානය මුල් කරගෙනය. වර්තමාන හෙලයාට අද ඒ සඳහාවත් විවේකයක් නැත. මිනිසා පරිණාමය වීමේදී ඇතිවූ වෙනස්වීම් මෙන්ම විහාරස්ථානය ජනතාවගෙන් ඈත්වීම නිසා මේ තත්ත්වය උදා වී ඇති නමුත් වර්තමාන තරුණ සමාජය බොදු වත් පිළිවෙත් කෙරෙහි යම් නැඹුරුතාවක් දක්වන බව පෙනේ.

මීට අමතරව ගුරු සිසු සබඳතා දුරස්වීම ද සමාජයේ පංචශීලය බිඳවැටීමට බලපා ඇත. පෙර කල ගුරුවරයා තම ජීවිතයම සිසුන්ට අධ්‍යාපනය ලබා දීමට කැප කළ නමුත් අද ගුරුවරයා ඊට වෙනස් ය. අද ඇතැම් විට ගුරු වෘත්තිය තවත් රැකියාවකි. අද ගුරුවරයාගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ තම වැටුපෙන් පවුලේ අය වැය කෙසේ හෝ පියවා ගැනීමයි. එසේම පාසලේදී අධික වැඩ රාශියක් ගුරුවරුන් පිට පැටවී තිබීමත් අධික සිසුන් ප්‍රමාණයකට අධ්‍යාපනය ලබාදීමට සිදුවීමත් නිසා ගුරුවරයාට සිසුන් දෙස පෞද්ගලිකව අවධානය යොමු කළ නොහැකිය.

අතීතයේ සිසුන් 25 ක් සිටි පන්තියක අද ඊට වඩා සිසුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබති. මේ නිසා ශිෂ්‍යයා ගුරුවරයාගෙන් ඈත් වී ඇති අතර ගුරුවරයාට සිසුවාගේ ආකල්ප නිසි අයුරින් හඳුනාගත නොහැකිය. දහම් පාසලේදී වුවද සිසුන්ට අධික දහම් දැනුමක් පැටවීමට ගෙන ඇති බව පෙනේ. එහෙයින් දහම් පාසල් විෂය මාලාවද සංශෝධනයකට ලක්විය යුතුය. පාසල, දහම් පාසල යන අධ්‍යාපන මූලස්ථාන දෙකින්ම පන්සිල් අගයන සමාජයක් බිහි කිරීමට අවශ්‍ය පියවර හෙට නොව අදම ගත යුතුය.

සාකච්ඡා කළේ -
තාරක වික්‍රමසේකර


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.