Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අවාරේ සිරිපා කරුණා කරමු

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සටහන ඇතැයි යන පරම විශ්වාසයෙන් යුතුව සියවස් ගණනාවක් මුළුල්ලේ සිට ඉතා දුෂ්කර වූ ගමන් මගක් ගෙවා දමමින් බැතිබර ලෙස පැමිණෙන වන්දනාකරුවන්ගේ පා පහසින් ශි‍්‍රපාද මාර්ගය කාර්ය බහුල වන සිරිපා වාරයේදී ඔබ සිරිපා කරුණාකර ඇතැයි විශ්වාස කරන අතර ඔබ කිසි දිනක අවාරයේ දී සිරිපා කරුණා කර ඇතැයි අනුමාන කළ නොහැක. එනමුත් අවාරයේ දී විශේෂයෙන්ම යෙදෙන පොහොය දිනවලදී වන්දනා කරුවන් ශ්‍රීපාද කරුණා කරන බව ඔබ දැන සිටියේ දැයි නොදන්නා අතර එවැනි වූ ඉතා චමත්කාර ජනක ගමන මෙසේ සටහන් කරමි.

රත්නපුර නගරයේ සිට ධාවනය වන සිරිපාගම හෝ ශ්‍රී පලාබද්දල බලා ධාවනය වන්නාවු බස් රථයක නැග හෝ පුද්ගලික වාහනයක ඔබට පලාබද්දල බලා පැමිණිය හැකි අතර වන්දනා සමයේ දී දක්නට ලැබෙන වෙළෙඳ සැල් කිසිවක් මෙහිදී දැක ගත නොහැක. පලාබද්දල (සත්‍ය වශයෙන්ම මෙම නම පලාබත් දොලවන අතර ජන වහරට අනු ව එය අද දිනයේ දී පලාබද්දල නමින් හැඳින්වේ.) කීර්ති ශි‍්‍රරාජසිංහාරාමයට පැමිණ (මෙය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවන ලද සංඝාරාමයක් නිසා එ නමින් හැඳින්වෙයි.) පන්සිල් සමාදන්වී එහි, ඇති ශ්‍රී සුමන සමන් දෙවිඳුන්ගේ දේවාලයට ගොස් උන්වහන්සේට පඬුරු ගැට ගසා අවාරයේ සිරිපා කරුණාව ඇරැඹිය හැකිය.

ඔබ වම් පසින් දක්නට ඇත්තේ ඉතා ඓතිහාසික වටිනාකමින් අනූන වු කුනුදිය පර්වත රාජයාය. ජනප්‍රවාද අතිමහත් සංඛ්‍යාවකට නිමිති වූ මේ ඉපැරැණි කඳු ගැටයේ අතීතයේ දී රජ මාවත (ඉපැරණි හා නිවැරැදිව සිරිපා කරුණාව සදහා යොදා ගනු ලබන මාර්ගයයි) හරහා සිරිපා කරුණා කරනු ලැබූ සංචාරකයන්ගේ හා දේශ ගවේශකයන් ගේ නොමද අවධානයට ලක්වූ කඳු ශිඛරයකි. මෙය වටා ගෙතී ඇති ජනප්‍රවාද කථා රාශියක් ඇති නමුත් ඉන් වඩාත් ප්‍රකාශ වන අන්දරය වන්නේ බුදුරදුන් ශ්‍රී පාද සටහන් සමන්ථකූ®ඨය මත තැබූ පසු එය දුටු දෙව්දත් තෙරුන් ඔහුගේ පාදය මෙම පර්වත මුදුනේ තැබීමට උත්සාහ කළ පසු එම පර්වත මුදුනේ සිට කුනුදිය උල්පත් මතුවූ බවය.

1860 වර්ෂයේදී සිරිපා කරුණා කළ විලියම් ස්කීන් නම් දේශ ගවේෂකයා මෙම කඳුගැටය දුටුවේය. හිස කඳීන් වෙන් කළ මිනිසෙකුගේ කවන්ධයක් ලෙසින් වන අතර මා මෙම පර්වතයේ දුටු අපූරුම දසුන වන්නේ මෙම පර්වතය යම් කෝණවලින් බලන විට එය දර්ශනය වන්නේ ඉතා වෙනස් අයුරින් බවයි. කුරුවිට එරත්න කැකුණපරත්න මාර්ගයේ සිරිපා කරුණා කිරීමට පැමිණි විටදී ද මෙම පර්වත රාජයා දක්නට ලැබෙන අතර එහි දී රත්නපුර මාර්ගයේ දී හාත්පසින් වෙනස් වූ දර්ශනයක් දක්නට ඇත.

ඉන් පසු ඔබ පවනැල්ල නම් අවසාන ගම්මානයට පැමිණෙයි. අතරමඟදී කුඩා ව්‍යාපාර ආදිය අවාරයේදී දක්නට නොමැති අතර විශේෂයෙන්ම ඔබ අවශ්‍ය ආහාරපාන සහ අවශ්‍ය කරන ඖෂධයන් ඔබගේ පැස තුළ තබා ගැනීම මතක තබා ගත යුතු කරුණකි.

නීලිහෙල අසල දී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවේ ගැමුණු රෙජිමේන්තුවේ හමුදා නිවස්නයක් ඇත්ද ඔවුන්ගෙන් ඒ අවශ්‍යතා ඉටුකර ගැනීම ඔවුනට කරදරයක් වන බැවින් එය ඔබ විසින්ම සපුරා ගන්නේ නම් ඉතා යෙහෙකි. ඉන් පසු ඔබට ඉතා මෑතකදී සාදා නිම කරන ලද පිය ගැට පෙළ නගිමින් ඉදිරියට යා හැකිය. “දොරණ කඩේ” නම් ස්ථානය පසු කරමින් මහ හිමයට ඇතුළු වන ඔබ ජලය පුරවා ගත හැකි බඳුන් අත තබා ගැනීම අවශ්‍යයෙන්ම මතක තබා ගත යුතු අතර ඉතා පිරිසුදු ජලය පුරවා ගත හැකි ස්ථාන ඕනෑ තරම් මේ අඩවියේදී ඔබට මුණ ගැසේ. කෙකටිය කඳ කඩය පසු කරමින් ඉදිරියට ඇදෙන ඔබ විඩා නිවා ගැනීමට භාවිතා කර යුතු සුදුසුම ස්ථානය වන්නේ නීලි හෙලේ අම්බලමයි. අතීතයේ දී මේ හෙලින් බිමට ඇද වැටුණු නීලි නම් කාන්තාවක් සිහි කරමින් මෙම නම භාවිතා වේ. ඔබ ඉදිරියේ දක්නට ඇති මහා පර්වතය වන්නේ කටුකිතුල් කන්දයි. වර්ෂාව පවතින අවස්ථාවලදී මෙම කන්දෙන් ඉතා ශෝභමාන දිය ඇල්ලක් නිර්මාණය වේ. කටු කිතුල් කන්ද, ගැට හෙතුල, පලාබත්ගුල වැනි අති මනෝරම්‍ය වූ පර්වත මෙම ගමනේදී දක්නට ලැබෙන අතර කුඩා පරිමාණයේ දිය කදුරුද ඔබට දැක බලා ගත හැකිය.

මෙම ගමන ඔබගේ ගමන්මලු, (පැසි) සකස් කර ගන්නා විට අනිවාර්යයෙන් ම තිබිය යුතු උපකරණයක් වන්නේ විදුලි පන්දමයි. රාත්‍රියේ කරුණා කරන විට ඉන් ලැබෙන ප්‍රයෝජනය අතිමහත්ය. කටු කිතුල් වංගුව අසල අම්බලන් දක්නට ඇති අතර එහි නැවති ඔබට විඩාව සන්සිසුවා ගත හැකිය. මේ ප්‍රදේශයට සිරිපා අඩවියේ ඇති අති රමණීය දසුන් ඔබගේ සිත් පුරාවට දැක ගත හැකිය.

කටුකිතුලේ විඩා නිවා ගත් ඔබ ඉන් පසු ඉදිරියට කරුණා කරන විට ගෝණතල්ල නම් ස්ථානයක් හමුවේ. අතීතයේදි සිරිපා කරුණා කළ රජවරුන් වෙහෙස නිවාගත් ස්ථානයක් ලෙස මෙම ස්ථානය හඳුන්වා දිය හැකි අතර ගොනෙකුගේ තල්ල අයුරින් ඉදිරියට නෙරා ආ ගල් ඇන්දත් නිසා මෙ නම භාවිතාවන බව පැවසේ. ඉන් පසු තවත් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන විශාල සංඛ්‍යාවක් ඔබ පසු කරමින් පැමිණෙන අතර කොඩිය එළි ගජමන්සල දියබෙත්ම (කළුගඟ ආරම්භක ස්ථානය) සෙවලගල වැනි ස්ථාන, විශේෂිතය.

ඉන් පසු ඔබ පිවිසෙන්නේ ගෙත්තම්පානටය. අනෙකුත් මාර්ගවලද ගෙත්තම් පානවල් දක්නට ඇතත් ඓතිහාසික වටිනාකමින් අනූන වූ ඉතා නිවැරැදි වූ ගෙත්තම්පාන හමුවන්නේ මෙම රත්නපුර පලාබද්දල මාර්ගයේදීය.අතීතයේ අසන්නට ලැබෙන ජන කථා වලට හරියටම සැසදෙන ස්ථානය මෙයයි. අප මහා කාරුණිකයාණෝ තම ඉරීගිය සිවුර ගෙත්තමින් පිළිසකර කර ගත් මෙම ස්ථානය වන්දනාකරුවන්ගේ නොමද ගෞරවයට බඳුන් වෙයි. ගෙත්තම්පාන ලෙස ඉතා නිවැරැදිවු ඓතිහාසික ස්ථානය මෙයයි.

ඉන් පසු ධර්මරාජ ගලේ ගල් පඩි නගිමින්ම ඔබට ඉහළට කරුණාකළ හැකිය. අඳුර ගලා එන බැවින් යම් ආහාරයක් ගෙන විදුලිපන්දම් අතට ගත යුතු මොහොත එළැඹෙන අතර ඔබගේ ඊළඟ නැවතුම වන සීත ගඟුල දක්වා යා යුතු මාර්ගය ඉන් පසු ඉදිරියට ඇත.

සීත ගඟුලේදී ඔබට නා පිරිසුදු වී පඬුරු ගැට ගසා ඉදිරිගමන ආරම්භ කළ හැකිය. සිරිපා කරුණා කරන ප්‍රධාන මාර්ග තුනෙහිම ශීත ගඟුල් හමුවීම විශේෂයකි. රාත්‍රියේදී මෙහි ඉතා තද ශීතලක් ගෙන දෙන අතර දිවා කාලයේදී එතරම්ම සීත ගුණයක් දක්වන්නේ නැත. ඉන් පසු ඔබගෙන් ඊළඟ ඉලක්කය වන්නේ හැර මිටි පාන නම් වූ ස්ථානය බලා ගමන් ඇරැඹීම යි.

හැරමිටිපාන නම් වූ ස්ථානය විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ස්ථානයක් වන අතර විශාල පරිමාණයේ අම්බලම් හා ලැගුම් හල් වලින් අඩුවක් නොමැත. මෙම ස්ථානයට මුදුන් මළුව ඉතා ශෝභමානව දිස් වෙයි.

මෙහිදී දක්නට ඇති තවත් සුවිශේෂී දෙයක් වෙයි. කුරුවිට එරත්න මාර්ගයත් රත්නපුර මාර්ගයත් එකිනෙකට සම්බන්ධවන ස්ථානයද ඇත්තේ හැරමිටිපානට මදක් පහළින් වීම එම විශේෂයයි. ඉන් පසු ගලවංගෙඩිය ද මකර තොරණ ද පසු කරමින් මෑල්ල මල කඳුර වෙත පැමිණේ. ඉන් පසු ආඩියාමලාතැන්නෙන් (අතීතයේදි මේ ශි‍්‍රපාද ස්ථානය භාරව සිටි ආඩිගුරුන් කෙනෙකු සිහිවීම පිණිස මෙම නම භාවිතා කරන බව සඳහන් ය) පසුව ඔබ පිවිසෙන්නේ අහස්ගව්ව වෙතයි. ඉන් පසු ඔබ පිවිසෙන්නේ ගමනේ අති දුෂ්කර වූ කොටසට ය. එය නම් මහගිරිදඹ ය. එහි ඇති මුල කොටස කුඩා ගිරි දඹය වන අතර දෙවැනි කොටස මහගිරි දඹය වේ. කුඩා ගිරි දඹය පසු කරන විට ඔබට දක්නට ඇත්තේ ඇහැළ කණුව නම් ස්ථානයයි. මෙය අතීතයේදී වන්දනා කරුවන් පන්සිල් සමාදන් වී සුදු පිරුවට හැඳ වන්දනා කිරීමට සැරසෙන ස්ථානයයි. මෙහි ඇති කවි සුදුහුනු පිරියම් කරමින් යම් යම් ප්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන කරන ස්ථානයන් ලෙසද හැඳින්විය හැක.

ඔබ පැමිණ සිටින්නේ ගමනේ අවසන් කඩ ඉම පසු කිරීමටය. ගිරි දඹය පසු කරමින් පහත මාලයට පැමිණෙන ඔබ විඩා නිවා ගනිමින් ඉහළට ගමන් කළ හැකිය. අවාරයේ නිසා ඔබට වාරයේදී මෙන් කිසිඳු පහසුකමක් නො දැනේ . නමුත් වාරයේ දක්නට ලැබෙන තදබදය හෝ ජනාකීර්ණ බව මොනයම් අයුරින්වත් මේ අවස්ථාවේ දී දක්නට නැත.අවාරයේ දී සිරිපා සටහන සහිත මුදුන් මළුව ආරක්‍ෂාකරන මුරකරුවන් ඔබට මුණ ගැසිය හැකි වන අතර ඔවුන්ගේ අධීක්‍ෂණය යටතේ ඔබට යම් වන්දනා කටයුතු කිරීමට හැකි ය.

අවාරයේ පැමිණෙන වන්දනාකරුවන් මෙන්ම විදේශීය සංචාකරයන්ද ඔබට දැක ගත හැකිය. ඔබ පැමිණ මුලින්ම එළියේ සිට සිරිපා සටහන දෙසට නමස්කාර කළ යුතු වන අතර සමන් දේවාලය අසලට පැමිණ උන්වහන්සේගේ ආශිර්වාදය ද ලබා ගත හැක.

අවාරයේ සිරිපා කරුණා කිරීම ඔබගේ දිවියට එක්කරන අපූරු මතක සටහන් රසවිදින ලෙස ඉල්ලා සිටිමි. විශේෂයෙන් ඔබ අවාරයේ මළුවට පැමිණ ඉතා සංවර ලෙස හැසිරිය යුතු වන අතර ආරක්ෂකයන්ට කරදරයක් නො වන අයුරින් සිටීමට වග බලා ගත යුතුය. හිමිදිරියේ ඔබට කිසිම තෙරපීමක් නොමැතිව ඉර සේවයද බලා ගත හැකිය.

නමුත් මතක තබා ගත යුතු වන වැදගත්ම දෙය වන්නේ ඔබ පැමිණෙන්නේ සිරිපා කරුණා කිරීමට බව ය. අනෙකුත් කරුණු එයට පරිබාහිර වූයෙකි. මෙම නවමු අත්දැකීමෙන් ඔබේ ජීවිතයට සදානුස්මරණීය සතුටක් ළඟා කර ගත හැකිය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.