Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ ඉදි වූ වටපුළුව පුරාණ බෝධිමළු විහාරය

කන්ද උඩරට සෙංකඩගලපුර (මහනුවර) රාජධානියේ රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ පාලන සමයට අයත් වටපුළුව ඩේවි පාරේ පුරාණ බෝධි මළු විහාරය ඓතිහාසිකය. එකළ රංගිරි දඹුලු රාජමහා විහාරය හා තිත්තවෙල රාජ මහා විහාරය යන උභය මහා විහාරයන්හි ආධිපත්‍යය ඉසුලූ අපවත්වී වදාළ ගොහාගොඩ ශ්‍රී සුමන නාහිමියන්ගේ ශිෂ්‍යවර අපවත් වී වදාළ දන්තුරේ ධම්මරතන හිමියෝ මෙහි ආරම්භක විහාරාධිපති ධූරයට පත්වූහ. උන්වහන්සේ අපවත්වීමෙන් අනතුරුව අපවත් වී වදාළ මහෝපාධ්‍ය අලුත්ගම ශ්‍රී බුද්ධපි‍්‍රය මාහිමියන් දීර්ඝ කාලයක් විහාරාධිපතිත්වය දරමින් සුවිශේෂ වැඩකොටසක් ඉටු කැර තිබේ.


පැරැණි විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

එකළ මේ විහාරස්ථානයේ නේවාසිකව වැඩ සිටි මහනුවර දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කර්මාචාර්ය සද්ධර්ම කීර්ති ශ්‍රී වෛශාරද්‍ය විචිත්‍රභාණී උඩවත්තේ නන්ද නා හිමියෝ 1984 ක් වූ පෙබරවාරි මස 26 දා විහාරාධිපතිත්වයට පත් වූහ.


චෛත්‍ය රාජයාණන් වහන්සේ

උන්වහන්සේ දැඩි අධිෂ්ඨාන පූර්වක සිය වගකීම මැනවින් අවබෝධ කැර අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කැරලීමට උත්සුක වූහ.

මේ විහාරස්ථානය සතු පෞරාණික ලක්‍ෂණ මහනුවර යුගයේ ආරම්භය දක්වා දිවයයි. එකල චිත්‍ර නිර්මාණ කරණයේ දී සුවිශේෂ ස්ථානයක් ගත් දෙගල්දොරුව හිඳගල් හා ලේවැල්ල ගංගාරාම විහාරස්ථානයන්හි චිත්‍ර නිර්මාණයන්්ට සමාන දර්ශනීය චිත්‍ර රැසක්ම බෝධි මළු විහාරස්ථ පැරැණි විහාරාංගණයේ විද්‍යාමාන වේ. විශේෂයෙන්ම බෝධිසත්ව චරිතයේ වෙස්සන්තර ජාතක කතාව පිළිබිඹුවන චිත්‍ර නෙත් සිත් ඇද බැඳ තබනා ආකාරයෙන් නිර්මාණය කර තිබේ.

ඊට අමතරව පැරැණි විහාර මන්දිරයට පිවිසෙන ප්‍රධාන දොරටුව උළුහස්සේ කැටයම් හා මූර්ති විශේෂයෙන් පෞරාණික ලක්‍ෂණ විදහා දක්වයි. තවද විහාරාංග අතුරෙන් බුද්ධ මන්දිරය, චෛත්‍යය, රන්වැට සහිත බෝධි ඝර්භය ධර්මශාලාව දෙමහල් පුස්තකාල ගොඩනැඟිල්ල සිව් මහා දේවාල කුටි විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අභියස ඉදිකැර ඇති මකර තොරණ වළාකුළු බැමි ප්‍රාකාර බැමි ගන්ඨා කුළුණ සංඝාරාමය හා පියගැට පෙළ ක්‍රමාණුකූලව සැකසී තිබීම විශේෂිතය. ලොකු කුඩා සියලු දෙනාගේම අධ්‍යාත්මික ගුණ සුවඳ වඩා වර්ධනය කිරීම් වස් පෙළින් පෙළට පෙළ ගැසුන විහාර සංවර්ධන සමිතිය, තරුණ බෞද්ධ සංගමය ශ්‍රී සදහම් සමිතිය හා දායක සභාව යාවත් කාලීන අත්වැලකි.


නුවර යුගයේ සිතුවම්

ධර්මානුකූල ජීවිතයට ආලෝකයක් ගෙන දෙන ආමිස ප්‍රතිපත්ති පූජාවන් මුල්කැරගෙන ශීල සමාදාන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා, භාවනා, පිරිත් දේශනා, යුගාසන ධර්ම දේශනා අටවිසි බුද්ධ පූජා, සූවිසි විවරණ ධර්ම දේශනා හා කඨින චීවර පුණ්‍යමහෝත්සව අඛණ්ඩව විහාරස්ථානය කේන්ද්‍රිය කැරගෙන සිදු කෙරේ.


විහාරාධිපති
උඩවත්තේ නන්ද නා හිමි

වත්මන් විහාරාධිපති උඩවත්තේ නන්ද නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි විහාරාධිකාරී ශාස්ත්‍රවේදී බටගොල්ලේ චන්දානන්ද හිමියන් ඇතුලු විහාරස්ථ දායක කාරකාදීන්ගේ පූර්ණ සංවිධායකත්වයෙන් දිනෙන් දින ගමත් පන්සලත් අතර ඇති සම්බන්ධය වර්ධනය වේ.

 

 

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.