Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රාහුල හිමි ලැබූ ඔවදන්

“රාහුලයෙනි, කැඩපතකින් තමන් පිරික්සා බලන්නාක් මෙන් වචන කතා කළ යුතුය. පිරික්සා, දුර දිග සිතා බලා මනැසින් ක්‍රියා කළ යුතුයැ ” යි අවවාද දුන්හ.

සත් හැවිරිදි වියේ පැවිදි වූ රාහුල පුංචි හාමුදුරුවන් සැබැවින්ම නොදරුවෙකැ’ යි බොහෝ මවුවරුන්ට පියවරුන්ට සිතෙන්නට ඉඩ තිබේ. සත් හැවිරිදි වයස යනු එතරම්ම කුඩා වයසක් වන බැවිනි. එබඳු සුරතල් දරුවන් සුරතලයට බොරු කියන අවස්ථා ද නොමැතිවා නොවේ. තමන් දුටු දෑ දුටු ලෙසින්ම කියනවා වෙනුවට නොදුටු දෑ දුටු සේ ද දුටු දෑ නොදුටු සේ ද පවසන්නට ඇතැම් කුඩා දරුවෝ පෙළඹෙති.

රජගහනුවරට නුදුරු කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන කලෙක, බුදුරජාණන් වහන්සේ, දිනෙක සවස් වේලෙහි, ඵල සමවතින් නැඟී සිට අම්බලට්ඨිකයෙහි රාහුල පුංචිහාමුදුරුවන් හමුවට වැඩියහ. විවේක සුවයෙන් වසන්නාවූ භික්‍ෂූන්ගේ වාසය පිණිස වූ අම්බලට්ඨික ප්‍රාසාදය වේළුවන විහාරස්ථ පධානඝර කොටසක් වෙයි.

කුඩා රාහුල පුංචි හාමුදුරුවන්ට අවවාද දීමේ කුළුණින් වඩින බුදුරජාණන් වහන්සේ දුරතියාම දුටු රාහුල පුංචි හාමුදුරුවෝ බුදුන් වහන්සේ සඳහා අසුන් පැනවූහ. පා දෝවනය පිණිස පැන් බඳුනක් සුදානම් කළහ. බුදුන් වහන්සේ පා දෝවනය කොට පැන් බඳුනෙහි පැන් ස්වල්පයක් ඉතිරි කොට, පැනවූ අස්නෙහි වැඩ සිටියහ.

බුදුන් වහන්සේ සිය ධර්ම දේශනා ශෛලිය මෙන්ම යමක් වටහාදීමෙහි දී අනුගමනය කරන අතිශය ප්‍රායෝගික ස්වරූපයද මෙහිදී අනුගමනය කළ සේක. පැන් බඳුනෙහි ඉතිරි කළ පැන් ස්වල්පය ඒ සඳහා උපමා කොට ගත්හ.

“රාහුලයෙනි, ඔබ මෙම පැන් බඳුනෙහි ඉතිරිව තිබෙන පැන් දුටුවෙහිද ...? “

“එසේය ස්වාමීනි...”

“රාහුලයෙනි, කිසියම් භික්‍ෂුවක් දැන දැන බොරු කීමෙහි හෝ බොරු කිරීමෙහි හෝ ලජ්ජා නැත්තේ වේද ඔහුගේ ශ්‍රමණ ධර්මය මේ පැන් ස්වල්පය මෙන් ඉතා සුළුවේ.”

අනතුරුව බුදුන් වහන්සේ පැන් බඳුනෙහි ඉතිරිව තිබූ පැන් ඉවත දමා “රාහුලයෙනි, ඔබ ඉවත දැමූ පැන් ස්වල්පය දුටුවෙහිද” යි විමසූහ. “එසේය ස්වාමීනි...” යි පිළිවදන් දුන් කල්හි,

“රාහුලයෙනි, කිසියම් භික්‍ෂුවක් දැන දැන බොරු කීමෙහි හෝ බොරු කිරීමෙහි හෝ ලජ්ජා නැත්ද ඔහුගේ ශ්‍රමණ ධර්මය බැහැර කළ පැන් ස්වල්පය මෙන් බැහැර කළේ වෙයි.”

අනතුරුව බුදුන් වහන්සේ පැන් භාජනය මුනින් නවා “මේ මුනින් නැවූ දිය බඳුන ඔබට පෙනේ දැ” යි විමසූහ. “එසේය ස්වාමීනි” යි පිළිවදන් දුන් කල්හි

“රාහුලයෙනි, කිසියම් භික්‍ෂුවක් දැන දැන බොරු කීමෙහි හෝ බොරු කිරීමෙහි හෝ ලැජ්ජා නැත්ද ඔහුගේ ශ්‍රමණ ධර්මය මේ මුනින් නැවූ දිය බඳුන සේ වෙයි..”

අනතුරුව බුදුන් වහන්සේ හිස් දිය බඳුන උඩු අතට හරවා “රාහුලයෙනි දියෙන් හිස් වූ මෙම බඳුන ඔබ දුටුවෙහිද” යි විමසූහ. “එසේය ස්වාමීනි” යි පිළිවදන් දුන් කල්හි

“රාහුලයෙනි, කිසියම් භික්‍ෂුවක් දැන දැන බොරු කීමෙහි හෝ බොරු කිරීමෙහි හෝ ලජ්ජා නැත්තේ වේද ඔහුගේ ශ්‍රමණ ධර්මය මේ හිස් බඳුන මෙන් හිස්ය. “

බොරු කීමෙහි බරපතළකම සහ එහි ආදීනව කුඩා රාහුල තෙරුන්ට ප්‍රායෝගිකවම පසක් කරදීමට සරලව උපමා, උදාහරණ ආසන්නයෙන්ම ලබා ගත් බුදුන් වහන්සේ කුඩා රාහුල තෙරුන්ගේ ගුණදම් වැඩි කරනු පිණිස මෙසේ ඔවදන් දුන්හ. ගිහි කළ පුත් වූ ද දැන් සැබෑ බුදු පුතකු වූ ද රාහුල කුඩා තෙරුන් දැඩි සේ අවවාද ලබනු රිසි වූ බව “මට අද මෙතරම් අවවාද ලැබේවා” යි සැම උදෑසනකම වැලි දෝතක් ගෙන උඩ දැමූ අපූරු ක්‍රියාවෙන් ද පැහැදිලි වෙයි.

අනතුරුව බුදුන් වහන්සේ බොරු කීමෙහි විපාක පැහැදිලි කරනු වස් ඇත් උපමාවක් ද ගෙන හැර පෑහ.

“රාහුලයෙනි, සවිමත් දළ ඇති වැඩුණු සිරුර ඇති ජවසම්පන්න, යුද විරිය ඇති, උසස් කුලයෙහි ඇත් රජකු රජුට සිටී. එම ඇත් රජු යුද බිමෙහිදී පෙර පාවලින්, පසු පාවලින්, හිසෙන්, පසු භාගයෙන්, දළවලින්, නගුටෙන් සතුරන්ට පහර දෙයි. එහෙත් සොඬ ආරක්‍ෂා කර ගනී.

සියලු යුද්ධ කාර්යය තුළ සටන් වදින ඇතා සොඬ රැක ගනී. ඔහු සොඬ පාවිච්චි කරන්නට වන්නේ අවසන් අවස්ථාවේයි. ජීවිතාශාව අතහැර ඉදිරියට යන ඔහුට එවිට කළ නොහැකි දෙයක් නැත. එසේම රාහුලයෙනි, දැන දැන බොරු කීමෙහි ලජ්ජා නැති භික්‍ෂුවකට කළ නොහැකි පාපයක් නැත. එබැවින් කිසිවිටෙකත් විහිළුවකට හෝ බොරු නොකිව යුතුය”.

පැන් බඳුනේ උපමාව ද, දෙවනුව ඇත් උපමාවද කුඩා රාහුල තෙරුන්ට අවවාද පිණිස යොදා ගත් බුදුන් වහන්සේ මීළඟට කැඩපත උපමාව කොට ගත්හ.

“රාහුලයෙනි, කැඩපත කුමක් සඳහා දැ” යි විමසූහ.

“ස්වාමීනි පරීක්‍ෂාකර බැලීම පිණිසයැ “ යි පිළිවදන් දුන් කල්හි,

“රාහුලයෙනි, කැඩපතකින් තමන් පිරික්සා බලන්නාක් මෙන් වචන කතා කළ යුතුය. පිරික්සා, දුර දිග සිතා බලා මනැසින් ක්‍රියා කළ යුතුයැ ” යි අවවාද දුන්හ.

බොරුකීමෙහි බරපතළකම දන්නෝ එය බරපතළ පාපකර්මයක් සේ සලකත්. කුඩා රාහුල තෙරුන් අරභයා දේශනා කළත්, බුදුන් වහන්සේගේ මූලික අරමුණ කුඩා රාහුල තෙරුන් මනාව හැඩ ගැස්වීම සමඟම සමස්ත සමාජයටම වැදගත් දහමක් එයින් පහදාදීමය. බොරුව සොරකම පිණිසත් සොරකම බොරුව පිණිසත් එකිනෙකා සමඟ තරව බැඳී පවතියි.

බුදු දහම අවිහිංසාවාදීය. එය කිසිවිටෙකත් කායිකව මතු නොව මානසිකව ද කිසිවකු තලා පෙළන කිසිවක් අනුමත නොකරයි. එබැවින් අනිකකුගේ දුක්ඛ දෝමනස්සයන් දැක තම ඇස්, ඉස්, මස්, ලේ පවා දන් දෙන්නට පාරමී පුරන තැනැත්තා පසුබට නොවෙයි.

බුදුන් වහන්සේ කුඩා රාහුල තෙරුන් අරභයා මෙසේද පැවසූහ. “රාහුලයෙනි, ඔබ ඔබගේ ශරීරයෙන්, අතින්, පයින් කරන යමක් ඇත්නම් එය තමාට දුක් පිණිස පවතින්නේ දැ’ යි සිතා බලන්න. එය අනුනට දුක් පිණිස හේතුවන්නේ දැ’ යි සිතා බලන්න. දෙදෙනා කෙරෙහිම දුක් පිණිස හේතු වන්නේ නම් එම කාය කර්ම අකුසලය. දුක් ඇතිකරන්නේය. දුක් විපාක ද ගෙන දෙන්නේය. එලෙස දුක් පිණිස පවතින්නා වූ කාය අකුසල කර්මය නොකර සිටින්න. “රාහුලයෙනි, ඔබ කයින් කරන එම කාය කර්ම කෙරෙහි නුවණින් සිතා බලන්න. එය තමන්ට දුක් පිණිස පවතින්නේද අනුනට දුක් පිණිස පවතින්නේද සිහි නුවණින් බලා තමනට අනුනට දෙපිරිසටම දුක පිණිස පවතීනම් එවැනි කාය කර්ම නොකරන්න. රාහුලයෙනි ඔබ පිරික්සා බලන්න. එවිට තමන් විසින් කරනු ලබන කාය කර්මය තමන්ට ද අනුනට ද දෙදෙනාටම ද දුක් පිණිස නොපවතී යැ’ යි දන්නහුනම් එම කාය කර්මය සැප වඩන්නේය. යහපත් විපාක ඇත. ඔබ මෙවැනි කර්ම කරන්න.

රාහුලයෙනි, ඔබ කිසියම් ක්‍රියාවක් වචනයෙන් කිරීමට පෙරද, එය කරන විටද, කළ විටද, එයින් තමන්ට, අනුන්ට, දෙදෙනාටම ද පීඩාවක් සිදුවේද නැද්ද යන්න නුවණින්, සිහියෙන් කල්පනා කළ යුතුය. එසේ කල්පනා කොට දිවා රෑ දෙක්හිම ප්‍රීතියෙන් වාසය කරන්න. යෝනිසෝමනසිකාරයෙන් පිරික්ස පිරික්සා කාය කර්ම කරන්නේ ඔහු රෑ දාවල් ප්‍රීතියෙන් සතුටින් වාසය කරන්නේ ය’’.

බුදුන් වහන්සේ රාහුල තෙරණුවන් අරභයා මෙන්ම සමස්ත ප්‍රජාව කෙරෙහිද මහා කරුණාවෙන් ලබා දුන් මේ ඔවදනෙහි පිහිටා අපිදු කටයුතු කරමු.

( මජ්ක්‍ධිම නිකායේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය ඇසුරෙනි )


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.