Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්වය

සම්මා සම්බුදු පදවිය භවත්‍රයටම ඇති අති උදාර පදවිය වේ. දේවාතිදේව වූ බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ සනරාමර ලෝක සිවංකරවූ යන විශේෂණ පදවලින් එම අදහස කියැවේ. සම්බුදු පදවියට පත්වීම අතිශයින්ම දුෂ්කර කාර්යයකි. එම පදවියට යම් උත්තමයකු පත්වනුයේ වෙනත් ගුරුවරයකුගේ මඟ පෙන්වීමකින් ද නොවේ. එසේ පත්වනුයේ ද එවැනි පදවියක් දරන්නකු නොමැති කලකදීමය.

සම්මා සම්බුදු පදවිය භවත්‍රයටම ඇති අති උදාර පදවිය වේ. දේවාතිදේව වූ බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ සනරාමර ලෝක සිවංකරවූ යන විශේෂණ පදවලින් එම අදහස කියැවේ. සම්බුදු පදවියට පත්වීම අතිශයින්ම දුෂ්කර කාර්යයකි. එම පදවියට කෙනකු පත්වනුයේ වෙනත් ගුරුවරයකුගේ මඟ පෙන්වීමකින් ද නොවේ. එසේ පත්වනුයේ ද එවැනි පදවියක් දරන්නකු නොමැති කලකදීමය. සම්බුදු පදවියට පත්වීමෙන් ම මෙලොව සියල්ල පමණක් නොව භවත්‍රයේ ම සියලු දෑ අවබෝධ කළ අතිශ්‍රේෂ්ඨතමයා බවට පත්වේ.

සම්බුද්ධත්වයට පත්වීමෙන් එතුමා දකින සියල්ල කවරේද? අපට හැඟෙනුයේ පවත්නා සියල්ල යනුවෙන් නොවේද? සියල්ල දැකීම යනුවෙන් අදහස් කරනුයේ ඇසට පෙනෙන දෙය පමණක් නොවේ. කනට ඇසෙන ශබ්දය ද නැහැයට දැනෙන ගන්ධයද දිවට දැනෙන රසයද සිරුරට ස්පර්ශවන දෑ ද දැන ගන්නේ ය. තවදුරටත් සිතද සිතින් අල්ලා ගන්නා සියල්ල ද දැන ගන්නේ ය. සම්බුදු පදවියට පත්වීමෙන් දැනගනු ලබන්නේ මේ කී දෑ පමණක් ද? සඳහන් කළ සියලු දෑ අප එකිකෙනා විසින් අරමුණු කරනු ලබන ස්වභාවයෝ වෙති.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ කවර ධර්මයක්දැයි උපතිස්ස පරිබ්‍රාජක බමුණු තරුණයා, විමසූ කල්හි අස්සජි මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ වටහාගත් ධර්මය ගැන ඉඟියක් අපට ලැබේ. එම ගාථාව මෙසේ ය.

යෙ ධම්මා හේතුප්පභවා
තෙසං හෙතුං තථාගතො ආහ
තෙසං ච යො නිරොධො
එවං වාදි මහා සමණො

“යම් ධර්ම ස්වභාවයෙක් හේතූන්ගෙන් හටගනුයේ ද එම හේතු තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරති. එම හේතූන්ගේ නිරෝධය ද මහා ශ්‍රමණයන් වහන්සේ වදාළ සේක.”

මෙම ගාථාව පැහැදිලි කරනුයේ -

(අ) හේතූන්ගෙන් හට ගන්නා වූ ධර්ම
(ආ) එම හේතු ධර්ම හා,
(ඇ) එම හේතූන්ගේ නිරෝධයයි.

ලොව පවත්නාවූ ධර්ම, හේතූන්ගෙන් හටගන්නාවූ ධර්ම ඉහත (අ) යටතේ ගැනේ. ඒවා පැහැදිලි කිරීමට යොදාගනු ලබන වචනය ‘ඵල ධර්ම’ යන්නය. ඉහත (ආ) යටතේ දැක්වෙනුයේ ඵල ධර්ම පහළවීමට බලපාන ධර්මයන්ය. (ඇ) යටතේ දැක්වෙනුයේ හේතු ධර්මයන්ගේ නිරෝධයයි. එම හේතු ධර්මයන්ගේ නිරෝධය නිසා ‘ඵලධර්ම’ යන්ගේ උපතක් නොමැත්තේ ය.

තත් විග්‍රහයට අනුව බුදුරජාණන් වහන්සේගේ සම්බුදු නුවණට පාත්‍රවූයේ පවත්නා ඵල ධර්ම පමණක් නොවේ. ඵල ධර්මයන්ගේ පහළවීමට බලපෑ හේතු ධර්මයන් ද නුවණින් දුටුසේක. හේතු ධර්මයන්ගේ නිරෝධය දුටු සම්බුදු නුවණින් එම නිරෝධය සිදුකළ හැකි මගද අවබෝධ කළ සේක. මෙසේ සම්මා සම්බුදු නුවණට අරමුණු වූයේ චතුරාර්ය සත්‍ය ධර්මයෝ ය.

ඵල ධර්ම – දුක්ඛ සත්‍යය වේ.
හේතු ධර්ම – දුක්ඛ සමුදය සත්‍යයයි.
ඵල ධර්ම – දුක්ඛ නිරෝධ සත්‍යය වේ. (හේතූන්ගෙන් හටගත් සංඛත ධර්මයක් නොවේ)
හේතු ධර්ම – දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යයයි.

චතුරාර්ය සත්‍යයෝ මෙසේ හේතු ඵල ධර්ම වශයෙන් ද ඉදිරිපත් කළ හැකි වෙති. ආර්ය සත්‍යය පිළිබඳ කෘත්‍ය ඤණය සලකා බැලීමේ දී මෙම අදහස වඩාත් පැහැදිලි වේ.

දුක්ඛ සත්‍යය – පිරිසිඳ දත යුතු ය. වටහා ගත යුතු වේ. ඒ පඤ්ච උපාදාන ස්කන්ධයයි.
සමුදය සත්‍යය – ප්‍රහාණය කළ යුතු ය.
නිරෝධ සත්‍යය - සාක්ෂාත් කළ යුතු ය.
මාර්ග සත්‍යය – භාවිත කළ යුතු ය. වැඩිය යුතු ය.

මේ දැකීම විශේෂ දැකීමෙකි. මින් පෙර ලොව කිසිවකු අවබෝධ නොකළ දහමෙකි.

“යම් කලෙක මට මේ සිව් අරිසස්හි මෙසේ තුන් පිරිවටක් ඇති දොළොස් අයුරක් ඇති ඤාණ සංඛ්‍යාත දර්ශනය තතුසේ වෙසෙසින් විසද වීද, මහණෙනි එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමැයි පිලිණ කළෙමි.”

(ධම්මචක්ක පවත්තන සූත්‍රය, ජයන්ති මුද්‍රණය - සිංහල)

ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.