Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නූතන ලෝකයේ ප්‍රශ්නවලට බුදු දහමෙන් පිළිතුරු

අපේ දුකට හේතුව කුමක්දැ යි දකින්නට අපට මඟ පෙන්වීමට ප්‍රඥාවට පුළුවන. අපේ සිතට එකඟව අප අප ම සමඟත්, අනෙකුත් ජීවීන් සමඟත්, මිහිතලය පුරා ව්‍යාප්ත පරිසරය සමඟත් එකමුතුව ජීවත් වීම වෙනුවෙන් උදවු කරන්නට කරුණාවට හැකි ය. ගහ කොළ සතුන් සහ මිනිස් ජීවීන් ආදී සියල්ල කෙරෙහි ආදරය සහ ගෞරවයදක්වමින් කටයුතු කිරීමට බුදුන් වහන්සේ අනුබල දුන්හ. සැබවින් ම විමුක්ති මාර්ගයෙහි ගමන් කිරීමේදී මෙත් සිත වැඩේ. එහි ආසන්නතම ප්‍රතිඵලය වන්නේ ආදරය, ගෞරවය සහ සාමයෙන් පිරි ලෝකයක් බිහිවීමයි.

2003 මාර්තු 16 වැනිදා ඩේලි නිවුස් පුවත්පතේ පළ වූ තිච් බාඕ ලක් හිමියන්ගේ Our modern world’ s problems: Is Buddhism the answer ? නිබන්ධනය ඇසුරෙන් මේ ලිපිය සැකසෙයි. තිච් බාඕ ලක් හිමියෝ ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්සයේ, එක්සත් වියට්නාම් පර්ෂදයේ සභාපති සහ සිඩ්නි නුවර බාඕ ආශ්‍රමයේ යතීන්ද්‍රයාණෝ ය.

අපේ යුගයේ මානව සංහතිය දැවැන්ත තාක්ෂණික ප්‍රගතියක් ලබා ඇති බව සහතික ය. අපට දැන් අපේ ග්‍රහයාගෙන් එපිට ආලෝක වර්ෂ දහස් ගණනක් දුර බාහිර අභ්‍යවකාශය ගවේෂණය කරන්නට පුළුවන. එහෙත් ඒ අතරතුර අපේ අධ්‍යාත්මික ජීවිතය අප සපුරාම වාගේ අමතක කර දමා ඇත්තේ නොවේ ද ? ඇත්තටම ම අපට එය අමතක කරන්නට නොහැකි ය. එය අපේ ජීවිතයේ අනිවාර්ය අංගයක් විය යුතු හෙයිනි. ඒ අනුව අපට එය කෙතරම් වැදගත් වුවත් සිදුව ඇත්තේ කුමක් ද ? අප නොදැනුවත්ව ම හෝ අපට හොරා එය පැන ගොසිනි. ඒ ඇයි ? අපගේම අනවබෝධය, සිහි මුළාව නිසාම නොවේද ?

කාල් යුං ප්‍රමුඛ මනෝ විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරන ලද අපේ අන්තර් මනැස පිළිබඳ නිසැක කල්පිත ආදියෙන් අපේ අධ්‍යාත්මික ජීවිතය කොහෙත් ම ප්‍රගතියක් ලබා නැත. අප අධ්‍යාත්මික අර්බුදයක පැටලී සිටින බව පිළිගත යුතු ය. එහෙත් මෙයින් වසර 2500 කට පමණ පෙර, බුදුන් වහන්සේට අනන්ත වූ විශ්වය තුළ දස දහස් ගණනින් සෞරග්‍රහ මණ්ඩල ඇති බවට අවබෝධයක් තිබුණා පමණක් නොව, තව දුරටත් උන්වහන්සේ පුද්ගල අධ්‍යාත්මය විනිවිද දකිමින් සිය ප්‍රඥාලෝකය විහිද වූ සේක් සත්වයන්ගේ දුකට හේතුව ද පැහැදිලි කළහ.

මේ න්‍යෂ්ටික යුගයේ, ඇසිපිය හෙළන පමණකින් අප පය ගසා සිටින මේ භූ®තලය සුන්නද්දූලි කර දමන්නට සුපිරි බලවතුනට වුවමනා වන්නේ ඔවුන් අතර කෙස් ගසක් පමණ වූ යන්තම් වැරැදි තේරුම් ගැනීමක් පමණි. කෙසේ වෙතත් සැබෑම අනතුර වන්නේ ඔවුනොවුන් අතර න්‍යෂ්ටික බෝම්බ එල්ල කර ගැනීම පමණක්ම නොවේ. ඒ අතර පසුබිමෙහි මානසික උන්මත්තකයෝ සිටිති. ඔවුහු සිය අධ්‍යාත්මික ජීවිතය තුළ අර්බුදයට ලක් වූවෝය. ඔවුහු සිය අධ්‍යාත්මය විනාශ කරගන්නවා පමණක් නොව සෙස්සන්ද මහා වෛරයක, ක්‍රෝධයක ගිල්වා දමති.

අර්බුදයන්ගේ ප්‍රභවය අඩපණ කරන්නට නම්, අපට බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව අපේ මනැස සන්සුන්, සාමකාමී බවට පත් කර ගන්නට සිදුවෙයි. උන්වහන්සේ අපට මෙසේ උගන්වති. “ඔබ ඔබේ ම මනැසේ යථා ස්වභාව අධ්‍යයනය කරන්න. එවිට ඔබට ඔබේ අධ්‍යාත්මය නිර්ව්‍යාජ ලෙස හඳුනා ගන්නට හැකි ය.”

අප හැම දෙනාට ම සාමකාමී මනැසක් තිබේ නම් පමණක් අපට යථාර්ථවත් සාමය සාක්ෂාත් කළ හැකි වනු ඇත. හුදු තාක්ෂණික ප්‍රගතිය කෙසේවත් සාමය සහ සතුට ගෙන එන්නේ නැත. ලෝභය, කෝපය සහ අනවබෝධය හැම පුද්ගලයා විසින් ම මැඩලනු ලැබිය යුතු සතුරෝ ය. බෞද්ධ ඉගැන්වීම තුළ ඒවා වනාහි හැම කෙනකු විසින් ම මැඩලනු ලැබීය යුතු තුන් ආකාර, අනතුරුදායක මානසික ස්වභාවයන්ය. ඒවා මැඩලන තුරු මානසික සහනය ලැබිය නොහැක්කේ ම ය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම මෙසේ ය. “අත්‍යන්තයෙන් මහිමවත් ජයග්‍රහණය වන්නේ ඔබ විසින් ම ඔබ දිනා ගැනීම යි. “ වසර ගණනාවක් මංමුළා වූවකු සේ සැරි සරමින් සහ එකකට එකක් පටහැනි නොයෙක් දෘෂ්ඨි, මතවාද, ආගම් සහ දර්ශන උගනිමින් සත්‍ය ගවේෂණයෙහි යෙදුණු බෝසතාණන් වහන්සේ අන්තිමට සත්වයන්ගේ සකලාකාර දුක්ඛ නිවාරණය පිණිස වූ මාර්ගය තමා විසින්ම සොයා ගත්හ.

අපේ දුකට හේතුව කුමක්දැ යි දකින්නට අපට මඟ පෙන්වීමට ප්‍රඥාවට පුළුවන. අපේ සිතට එකඟව අප අප ම සමඟත්, අනෙකුත් ජීවීන් සමඟත්, මිහිතලය පුරා ව්‍යාප්ත පරිසරය සමඟත් එකමුතුව ජීවත් වීම වෙනුවෙන් උදවු කරන්නට කරුණාවට හැකි ය. ගහ කොළ සතුන් සහ මිනිස් ජීවීන් ආදී සියල්ල කෙරෙහි ආදරය සහ ගෞරවය දක්වමින් කටයුතු කිරීමට බුදුන් වහන්සේ අනුබල දුන්හ. සැබවින් ම විමුක්ති මාර්ගයෙහි ගමන් කිරීමේදී මෙත් සිත වැඩේ. එහි ආසන්නතම ප්‍රතිඵලය වන්නේ ආදරය, ගෞරවය සහ සාමයෙන් පිරි ලෝකයක් බිහිවීමයි.

එමඟින් කාරුණික වූත්, සාධාරණවූත් සමාජයක් බිහිකර ගන්නට හැකි වනු ඇත. අපි හැම කෙනෙක් ම මනා සිහි කල්පනාවෙන් ජීවත් වෙමු නම් ද, අන්‍යෝන්‍ය ගෞරවයෙන් සහ අවබෝධයෙන් අන් සියලු ජීවීනට සලකමු නම් ද අපට මිහිපිට ස්වර්ගයක් මවා ගන්නට හැකි වනු ඇත. එකල්හි සාහසිකත්වයෙන් සහ වෛරයෙන් අවුල්ව තිබෙන අපේ සමාජයට, එහි දැවෙන ප්‍රශ්නවලට විසැඳුමක් සොයන්නට එතරම් දුර ඈතකට යන්නට වුවමනා නැත. හනික ආපසු හැරී ඔබේ මනැස දෙස බලන්න. පළමුවෙන් එය සන්සුන්ව තැන්පත් කර ගන්න. බුදුන් වහන්සේ, එම සන්සුන් මනැස නිවැරැදි ප්‍රඥාව වෙත යොමු කරවන ආකාරය අපට පෙන්වා දී ඇත.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම පිළිබඳ යුරෝපීය ලේඛකයකුගේ මතය පහත දැක්වෙන පරිදි උපුටා දක්වන්නට මම කැමැත්තෙමි. “මේ තිබෙන්නේ ආත්ම විශ්වාසයෙන් යුක්තව අනුගමනය කළ හැකි ඉගැන්වීමකි. විවිධ ආගම්, විශ්වාස සහ ඇදහිලිවලින් පිරී ඉතිරී ගිය ලෝකයක එවන් කීර්තිමත් ගුරුවරයකු අපට සොයා ගත හැකි වන්නේ වෙනත් කොතැනකින් ද ?”

ලෝක ප්‍රකට මහා පුරුෂ සන්දර්ශනයකදී උන්වහන්සේ වනාහි විශිෂ්ටත්වයේ ශ්‍රේෂ්ඨතම මහා පුරුෂයා ය. විද්‍යාඥයන්, දාර්ශනිකයන් සහ සම්මානනීය සාහිත්‍යධරයන් විසින් මිහිමත සදහට ම ශ්‍රේෂ්ඨතම මානවයා උන්වහන්සේ වන බව ප්‍රකාශ කරනු ලැබ තිබීමේ පුදුමයක් නැත.

නොයෙක් විෂයන්හි පුළුල් දැනුමක් ඇති බුද්ධිමතුන් විසින් තාක්ෂණික ප්‍රගතිය විෂයෙහි දායකත්වය සපයනු ලැබ ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස උත්සන්න වූ ලෝකායත ( ද්‍රව්‍යවාදී ) ශිෂ්ටාචාරය දැන් එහි කූ®ටප්‍රාප්තියට පත්ව තිබේ. මානව සංහතිය උන්මත්තකයන් මෙන් අභිමානයෙන් උද්දාමයට පත්ව සිටී. එසේ තිබියදී මානව සංහතියට වැඩි වැඩියෙන් සම්පත් අයිති කර ගන්නට කෑදරකම ( තෘෂ්ණාව ) බල කරමින් සිටී. නිසැකයෙන් ම විසි වැනි සියවසේ ලෝක යුද්ධ දෙකට ම මුල්වූයේ මිනිසා තුළ නළියන අසීමිත කෑදරකම හෙවත් තණ්හාව යි. රටවල් අතර සැකය, වෛරය, ඉහවහ ගොස් තිබෙන මෙවන් වකවානුවක ස්ථාවර සාමයක ආස්වාදය කවර දා ලබන්නට හැකි වේ දැයි කිසිවකුට සහතික විය නොහැකි ය. නව පන්නයේ තාක්ෂණික ප්‍රගතියක් අඛණ්ඩව ලබමින් ඇතත්, අනාගතයට මානව සංහතිය සඳහා ඉතිරි වන්නේ කුමක් ද ? අප දිවි ගෙවමින් සිටින්නේ තණ්හාවම ආගමක් හෙවත් ඇදහිල්ලක් බවට පත් කරගත් යුගයක නොවේ ද ?

අපි නොයෙක් සුපිරි මානව ජීවීන් නිර්මාණය කර ගෙන සිටිමු. ඔවුන් යෝධ ප්‍රතිමා තුළ නංවාගෙන ගරු බුහුමන් දක්වමු. සිනමා තරු ය. ක්‍රීඩා තරු ය. නව යොවුන් වියටවත් නොපත් දරුවන්ගෙන් පවා නොයෙක් වර්ගයේ තරු බිහි වෙමින් සිටිත්. දැන් දැන් වීරයෝ සිටිත් නම් ඔවුහු ම ය. අපි කෙමෙන් සන්නිවේදන යුගයේ හිනිපෙත්තට එළැඹෙමින් සිටිමු. නූතන තරුණ පරපුර නිරන්තරයෙන් නොයෙක් ආකර්ෂණීය අරමුණු වෙත ඇදී යමින් සිටිත්. එහෙත් ගරු කොට සැලකිය හැකි සදාචාරාත්මක පරමාදර්ශයක් අත්දකින්නට නැත. අධ්‍යාපනය විෂයෙහි, ගුණ ධර්ම වර්ධනයෙහි ලා කෙරෙන බලපෑම එතරම් බැරෑරුම් ලෙස ගණනකට ගෙන නැත.

අප ජීවත් වන ලෝකය බරපතළ අර්බුදයක පැටලී ඇතිවා සේ ය. ඒ පිළිබඳ පෙරමඟ සලකුණු ඉතා ම පහසුවෙන් දැක බලා ගත හැකි වන්නේ තරුණ පරපුරේ ජීවන රටාවෙනි. අපේ අධ්‍යාත්මික දර්ශනය පිළිබඳ පූර්ණ පරිවර්තනයක් අවශ්‍යව තිබේ. ආන්ද්‍රේ මාල්රොක්ස් හඳුනාගෙන ඇති පරිදි රෝම අධිරාජ්‍ය යුගයෙන් පසු මේ දක්වා, දැන් අපේ යුගයේ අත්දකින්නාක් බඳු බරපතළ සහ සංකීර්ණ අර්බුදයක් කවරදාකවත් ඇතිවී නැත.

19 වැනි සියවසේ වැඩිතමයක් දාර්ශනිකයෝ ‘වාදය’(ism ) කෙරෙහි පමණක් විශ්වාසය තුබූහ. බොහෝ ප්‍රතිමා හෝ සිහිවටන පෙරළා දමන ලදී. එසේ නැතහොත් ඒවායේ යුගය අවසන් කෙරිණ. වැඩවසම් ලෝකය, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු සහ ඒකාධිපතිවාදයේ වෙනත් ආකෘති කුඩුපට්ටම් කරන ලදී. ඒ වනවිට ජනතාව තමන් කළ යුත්තේ කුමක් දැ යි දෙගිඩියා වූහ. විසි වැනි සියවසේ විද්‍යාව නව යුගයක් බිහි කරනු ඇතැ යි ඔවුන්ගේ විශ්වාසය විය. එතෙක් පිළිගන්නා ලද අගයන් හෙවත් හරදහම් හනික සුනුවිසුනු කර තිබියදී, බුදුදහම විසින් හඳුන්වා දෙන ලද අගයන් හෙවත් හරදහම් එතෙකුත් බෙහෙවින් ආකර්ෂණීයව පැවැතිණ. (සයිගොන්හි, වැන් හන් බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී, 2517 වෙසක් දින පැවැත්වුණු පියරි ගැරූගේ ප්‍රධාන දේශනයෙනි.)

අප දන්නා පරිදි අපේ ශිෂ්ටාචාරය සුනුවිසුනු වීමට බලපෑ හැකි අනතුරට මුහුණ දෙමින් අපට කෙසේවත් ඇස් පියාගෙන සිටිය නොහැකි ය. සම්භාව්‍ය ආප්තෝපදේශයක දැක්වෙන පරිදි, “හැම දෙයක් ම අහිමි වෙනවාට වඩා කවර දෙයක් හෝ ලැබීම වඩා හොඳ ය.” අපට යළිත් අපේ අධ්‍යාත්මික ජීවිතය වෙත ආපසු එන්නට සිදුවී තිබේ. අපි අපේ මනැසේ යථා ස්වරූපය දෙස බලමු. අපට හැකි කවර ආකාරයෙන් හෝ එය හික්මවා ගනිමු. දමනය කර ගනිමු.

අප එකිනෙකාට අප ලබා උපන් සර්වකාලීන නියම සතුරන් සමඟ යුද වදින්නට සිදුවී තිබේ. එනම්, ද්‍රව්‍ය ලෝකයේ සියලු දේ කෙරෙහි ඇති අපේ ලෝභය ද්වේෂය සහ මෝහය යි. අර්ථවත් පරිදි වෙසක් දින උත්සව පවත්වන්නට නම්, පින්කම්හි නියැළෙන්නට නම් අප බුදුන් වහන්සේගේ කරුණාව, අවබෝධය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ පණිවුඩය කෙරෙහි සාවධාන විය යුතු යි. ඒ අධ්‍යාත්මික ගුණය තුළ සුපිරි බලවතුනට සන්සුන් වන්නටත්, අපට සහ විශේෂයෙන් ම අනාගත පරම්පරාවලට ජීවත් වන්නට අපේ ලෝකය වඩා හොඳ සහ සතුටුදායක තැනක් කරන්නටත් සුදුසු මඟක් හෙළි පෙහෙළි වෙතැ’ යි යන්න අපගේ ප්‍රාර්ථනය යි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.