UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කළගුණ සලකමු කෙලෙස

ලොව නොයෙක් උපාධි ඇත. සත්පුරුෂ උපාධිය ඒ හැමට උසස් ය. බුද්ධාදී මහෝත්තමයන් විසින් පසස්නාලද ඒ ආර්ය උපාධිය ලබා ගැනීමට ඔබ හැදෑරිය යුතු පාඩම කුමක්ද?

සත්පුරුෂ උපාධිය ලබා ගැනීමට හැදෑරිය යුතු මුල්ම පාඩම කෘතවේදීත්වයයි. කළගුණ සැලකීම සත්පුරුෂ ධර්මයේ මූලාංකයට ඇතුළත් වූයේ එයින් තොර කිසිම සත්පුරුෂකමක් ඇතිනොවන හෙයිනි. පොළොවෙන් තොරව ගස්වැල් කිසි දෙයක් ඇති නොවන්නාක් මෙන් කෘතවේදීත්වයෙන් තොරව කිසිම සත්පුරුෂ ගුණයක්ද නොවන්නේය.

බුදුවීමට පිහිට වූ බෝ සමිඳුන්ට නෙත් කැල්මෙන් පිදූ බුදුරජාණන් වහන්සේ හැමටම පළමු කෘතවේදිත්වයේ පාඩම පහදා වදාළ පරිදි ඔබ දන්නෙහිය. අනෙක් හැම ගුණයක්ම කෘතවේදි ගුණය පිහිට කොට පහළ වන බව මෙයින් වටහා දෙයි. තමන් වහන්සේට බත් හැන්දකින් සංග්‍රහ කළ රාධ නම් බමුණාට සැරියුත් හිමියන් කෘතවේදිත්වයෙන් සංග්‍රහ කළ සැටි සිහි කරන්න. ඒ බමුණා පැවිදි කොට රහත් වීම දක්වා උදව් දුන් සේක. උන්වහන්සේගේ සත්පුරුෂකමේ මහිම බලන්න. එක් ගාථාවකින් බුදු සසුන හඳුන්වා දුන් අස්සජි හිමියන් ආචාර්යත්වයෙන් පුදනු ලැබිණ. ඒ ඇදුරුතුමා වැඩ සිටින දෙසට පයලා උන්වහන්සේ කිසිකලෙකත් සැතපුණේ නැත. කෘතවේදී ගුණයෙන් ප්‍රභාවිත වූ බුද්ධ ශ්‍රාවක පිරිස සත්පුරුෂ මිණිරුවන් වැලකි. ඒ මිණිරුවන් වැලේ කාන්තියෙන් ලොව පහන් විය. ඒ උතුම් මිණිරුවන් වැල නිසාම ලොව මාහැඟි විය.

කළගුණ සැලකීම අනුන්ට සංග්‍රහකිරීම් මාත්‍රයෙකැයි නොසිතන්න. එය ජීවිතය නිරවුල්ව පැවැත්වීමේ වතෙකි. එහි ඇතුළ් අර්ථය බොහෝ දෙනා තේරුම් ගෙන නැත. බෝධියට වඳින අතින් මව්පියන්ට තලනවා නම්,බුදු ගුණ කියන කටින් ගුරුවර දෙමව්පියනට බණිනවා නම්, එබන්දා කළගුණ සැලකීමේ පාඩම හදාරා නැත. බෝධියට වැඳිය යුත්තේ බෝධිය ලවා ඔබේ අපල දුරු කර ගැනීමේ අදහසින් නොවේ. කෘතවේදිත්වය පෙළ ගැසෙන ස්වරූපයෙනි. බෝධියට වඳීන වාරයක් පාසා ඔබේ හදවත කෘතවේදී ගුණ කැවී පොහොර විය යුතුය. එය සත්පුරුෂ ධර්ම වැඩීමට පරිකර්ම වශයෙන් පවත්නේය. ඔබට පිහිට වන පොළොවට ද, ඔබ අඳින ඇඳුමටද, ඔබ කියවන පොත පතටද, ඔබට සෙවණ දෙන ගසටද, එක් එක් ක්‍රමයෙන් ආදරය පෑ යුත්තේ මේ කළ ගුණ සැලකීමේ පෙලගැසීමට අනුවය.

සත්පුරුෂ උපාධිය වනාහි කඩදාසියක ලියා රාමුවට දමා පෙනුමට බිත්තියේ එල්ලා තැබිය යුතු මායා දර්ශනයක් නොවේ. එය ක්‍රියාවෙන් පැහැදිලි වන මිහිරි බවකි. ඔබ සත්පුරුෂයකු වශයෙන් හෝ අසත්පුරුෂයකු වශයෙන් හැඳින ගන්නේ කෙසේද? ඔබ පැවැත්මෙනි. සත්පුරුෂයා වාසය කර තැන, සත්පුරුෂයා පරිහරණය කරන දෙය, සත්පුරුෂයාගේ වචනය, සත්පුරුෂයාගේ කියා පවිත්‍රය. මිහිරිය. ඒවා අපවිත්‍ර වන්නේ, නොමිහිරි වන්නේ අසත්පුරුෂයාගේ අතිනි.

ඔබ කල්පනාකාරී විය යුතුය. ඔබේ සත්පුරුෂකම හෝ අසත්පුරුෂකම ඔබට අයත් හැම දෙයකම සටහන් වන බව, ඔබේ තතු එයින් හෙළි පෙහෙළි වන බව සිහියට ගත යුතුය. ඔබේ අසත්පුරුෂකම සඟවා ගැනීමට නොව සත්පුරුෂකමට බැස ගැනීම් වශයෙන් ඔබ අයත් සියල්ල පවිත්‍රව තබා ගැනීමට මිහිරිව පැවතීමට සිහිය යෙදිය යුතුය. බාහිර වශයෙන් යෙදෙන සත්පුරුෂ කමේ මිහිර අධ්‍යාත්මික සංසදීමට උපකාරී වන්නේය. තමන් පරිහරණය කරන පතපොත, ඇඳුම් පැළඳුම් නොකිළිටිව පැවැත්වීමේ සත්පුරුෂ කමට පෙළ ගැසුණු තැනැත්තා අධ්‍යාත්මික තත්ත්වය නොකිළිටිව පැවැත්වීමට වැඩියෙන් පෙළඹෙයි. සෙවණ දෙන ගසටද ආදරය දැක්විය යුතු නම්, තමන් හැදු වැදු මවට පියාට කොතෙක් ගරු කළ යුතුද යන උන්නතියේ මනෝ භාවිතයන් ඔහුට ඇති වන්නේය. එයින් චිත්ත ගතිය අවබෝධ සහගත වෙයි. ඒ ආලෝකය ඔස්සේ නොනැවතී ඔහු සැනසුම කරා ගමන් කරන්නේය.

සත්පුරුෂ ගුණය ඥානදර්ශනයට උපකාර වනු මෙන්ම සම්‍යක් ඥානය සත් පුරුෂ ගුණවැඩීමට ද ඉවහල් වන්නේය. අඥාන දරුවන් අතින් සිදුවන අසත්පුරුෂකම් කෙතරම් සැහැසිද? තමන් කුඩා කාලයේ තමන්ගේ මුරදේවතාවා වෙමින්, තමන්ගේ ඉටුදෙවියා වෙමින් රැක බලා හදා වඩාගත් මවුපියන් තමන් වෙනුවෙන් වින්ද දුක්, ගත් මහන්සිය දකින අසන දරුවන් වෙතොත් කිසි කලෙක ඒ දරුවන් අතින් මව්පිය පීඩනයක් නොවන්නේය. පීතෘඝාතක අජාසත් ඛේදවාචකය ඔබ අසා ඇත. අසත්පුරුෂ ආශ්‍රයෙන් නුවණැස අන්ධව තණ්හාවන් වැඩී ස්වකීය කාරුණික පියා සිරකොට මාරාන්තික වධ දෙන අවස්ථාවෙහි අජාසත් හටද දරුවෙක් ලැබුණේය. උතුරා ගිය දරු පේ‍්‍රමයෙන් ඒ පුතු වඩාගෙන දරු සුරතල් බලන අජාසත් වෙතට පැමිණි මව් දේවිය (බිම්සර බිසව) හඬ හඬා මෙසේ කියන්නීය. “පුතේ, ඔබ ඔය විඳින දරු සුරතලයට වැඩි සුරතලයක් අද සිරගෙයි දුක් විඳින ඔබේ අවාසනාවන්ත පියාටත් ලැබුණා. නුඹ කුඩා කාලේ නුඹේ අතෙහි මාපට ඇඟිල්ලෙහි ගෙඩියක් සෑදි වේදනාවෙන් කෑගසනවිට ඔබේ පියා නුඹ තුරුල් කර ගෙඩිය සහිත ඇඟිල්ල කටේ දමා උරන්නට පටන් ගත්තා. එසේ උරන විට ගෙඩිය පැළී ලේ සැරව පියාගේ කටට වැගුරුණා. ඒ ලේ සැරව බිම දැම්මේ නෑ. දරු පේ‍්‍රමය නිසා ගිල ගත්තා. එසේ අපිරිසිදු දේ ගිල ගත් පියාව තමයි ඔය මරන්නට දාලා තිබෙන්නේ.” මෑණියන්ගේ් මේ කතාව ඇසූ අජාසත් රජුගේ ගල් සිත උණුවිය. ඔහුට ඉබේම හැඬුණේය. මගේ පියා නිදහස් කරන්නැයි පණිවිඩ හැරියේ හඬමිනි. ඉන් වැඩක් නොවීය. ඒ හස්න යන විට බිම්සර රජ අවසන් හුස්ම හෙළමින් සිටිහෙයිනි. දරුවන් රැකීමට දෙමව්පියෝ කොතෙක් වෙහෙසෙත්ද? ඒ ණයෙන් නිදහස් වන්නේ කෙසේදැයි සිතා මව්පිය ගෞරවය නොමකා රකින දරුවෝ සත්පුරුෂ මිණිවැලෙහි අනඟි මිණිරුවන් වෙති.

ලොව නොයෙක් කාලයන් හි මහා ධන කුවේරයෝ මහා උපාධිධරයෝ මහා තාර්කිකයෝ ඇතිවී නැතිවී ගියහ. අදත් ජීවලෝකයෙහි එබඳු පුද්ගලයන් ගැන විරලව හෝ අසන්නට ලැබේ. මේ කිිසිම තත්ත්වයක ඇතුළතින් සැබෑ ආස්වාදයක් නඟා ගත නොහැකිය. මේ මායා රූප සියල්ලෙහි ඇතුළත හිස්ය.

ජීවිතයේ පිටතින් බැඳෙන කවර දෙයක නමුත් ස්වරූපය ගසක ඵලය මෙන් දිරාපත්ව යන ගතිය බැව් ඔබේ සිතට කාවද්දා ගත යුතුය. එළය සැස දැමු කල්හි එහි යම් තරම් අරටුව පෙනේ නම් ගසේ අගය මනින්නේ ඒ තරමටය. ජීවිතයේ ඵළය වන වස්තු සම්පත් ආදි බාහිර බැඳුම් ලිහා බලන විට නොදිරන ස්වභාවය ඇති අභ්‍යන්තර ජීවිත සාරයක් වේ නම් ජීවිතය අගය කළ යුත්තේ ඒ ප්‍රමාණයටය. සුළඟේ යන නිස්සාර දේවලට වැඩියෙන් ඔබ සටන් කළ යුත්තේ අවසාන සැනසීම දක්වා නොදිරා පවතින අභ්‍යන්තර තත්ත්වය වඩා ගැනීමටය. ඔබ සත්පුරුෂ මිණිරුවනක් වූ කල්හි ඔබේ ජීවිතයේ අගය ප්‍රමාණය කළ නොහැක්කේය.

බෞද්ධ ධර්මය සත්පුරුෂ උපාධිය පිණිස හැදෑරිය යුතු පාඩම් මාලාවක් වැනිය. සත්පුරුෂ ධර්මයන් හදාරා ජීවිතය මිහිරිකොට ගත් බුද්ධ ශ්‍රාවක නමැති සත්පුරුෂ මිණිරුවන් වැල නිසා ශාසනය රුවන් නිධානයක් බඳු විය. මහා සමුද්‍රය සියලු රත්නයන්ට ආකර වූයේ යම් සේද, එසේම සම්බුද්ධ ශාසනය සත්පුරුෂ රත්නයන්ට ආකරයකැයි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ සේක. මිණිරුවන් ගොඩකට එක්වෙන්න නම පැහැපත් මැණිකක් ම විය යුතුය. නිසරු ගල් බොරළු කැට මැණික් හා සැසඳුණු නොයෙදෙයි.

බුදුරජාණන් වහන්සේගේත්, බුද්ධ ශ්‍රාවකයන්ගේත් සේවය වූයේ සත්පුරුෂ ධර්මය ලොවට පහදා දී සත්පුරුෂ මිණිරුවනින් ලෝකය සරසාලීමටය. සම්බුද්ධ ශාසනය නමැති මැණික් ආකරයෙහි පහළ වූ ශ්‍රේෂ්ඨ මිණිරුවනක් අපට අත් වූ අපේ සංස්කෘතියෙහි පදනම වැටුණු පොසොන් පොහෝ දිනයෙහි ඔබේ සත්පුරුෂකම මැන ගැනීමට ඔබේ පේවිය යුත්තේ කෙසේද? මිහිඳු මාහිමියන් වහන්සේ ලංකාවට වැඩියේ අපෙන් යම් කිසිවක් ලබා ගැනීමට නොවේ. උපන් බිමත් බන්ධුවර්ගයාත් අතහැර අප කෙරෙහි දයාවෙන් මෙහි වැඩමවා පුරා අටසාළිස් වසක් මුළුල්ලෙහි සිදුකොට වදාළ ශාන්ත සේවයට සිංහල ජාතිය සදා ණය ගැතිය. කෘතවේදි සත්පුරුෂයන් ලෙස අපි උන්වහන්සේට කුමකින් පුදමුද? අවුරුද්දකට වරක් එළියට වැඩමවා මිහිඳු පිළිරුව පෙරමුණු කොට පොසොන් පෙරහැර පැවැත්වීමෙන් පමණක් ඔබේ කෘතවේදිත්වය සම්පූර්ණ නොවේ. මිහිඳු මාහිමි නමැති ඒ මිණිරුවන ඔබේ හදවතට වැඩමවන්න. උන් වහන්සේ විසින් පිහිටුවා වදාළ බුද්ධ ශාසනය රැක ගැනීම ඔබේ සත්පුරුෂකම බව වටහා ගන්න. ශාසනය මාර මුඛයෙන් බේරා ගැනීමට යෝධ පෙරමුණක් වහා ඉදිකරන්න.

නිර්මල බුද්ධ ප්‍රතිපදා නමැති රන් හුයෙහි සත්පුරුෂ මිණිරුවන් ඇමිණි ගිය කල්හි එයට වඩා අගය ඇති මැණික් වැලක් තවත් කොයින්ද? බෞද්ධ සත්පුරුෂ මැණික් වැලේ එළියෙන් ලොව පහන් විය. ඒ මැණික් වල කාන්තිය දෙව්ලොව දක්වා විහිදී ගියේය. ඔබ, බොදු පිළිවෙතින් සැනසුම පතන ශාසනය රැකීමේ උරුමය ඇති මිණිරුවනකැයි සිතන්න. ඔබ වැනි බොහෝ මිණිරුවන් තවත් විසිරී ඇත. ඒ හැම එකට ගෙතී ගිය කල්හි කොතරම් අගයක් වේද? ඒ සත්පුරුෂ මාලාවේ බලයෙන් කළ නොහැක්කේ කුමක්ද?

ශාසනාරක්‍ෂක මිණිරුවන් වැලේ ඔබටද එක් තැනක් හිමි ය. සත්පුරුෂ මිණිරුවනක් වී ඔබේ තැන සපුරන්න.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]