UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චූළහත්ථිපදෝපම සූත්‍රයෙන් අර්ථවත් වන ආර්ය ශ්‍රාවකයා

මිහිඳු හිමියන් ලක්දිවට වැඩමකොට තිස්ස රජු ප්‍රධාන හතළිස් දහසක් පමණ වූ මෙරට වැසියාට ප්‍රථමයෙන් දේශනා කළ දම් දෙසුම වන්නේ “චූළහත්ථිපදෝපම” සූත්‍රයයි. චූළ (චුල්ල) යනු කුඩා යන අරුත් ඇත්තකි.

මෙම දම්දෙසුම චූළහත්ථිපදෝපම ලෙස හඳුන්වා ඇත්තේ එහි අර්ථය හෝ ප්‍රමාණය කුඩා නිසා නොව හත්ථිපදෝපම සූත්‍ර දෙකක් මජ්ඣිම නිකායේ “ඕපම” (උපමා) වර්ගයේ ඇතුළත් වන නිසා ඒවා වෙන්කොට හඳුනා ගැනීමට චූළ හා මහා යනුවෙන් සංගීතිකාරක මහරතන් වහන්සේලා අනුගමනය කළ ක්‍රමවේදය නිසා ය.

ඒ අනුව එකම නමින් ඇති සූත්‍ර ධර්මයන් හැඳින්වීම සඳහා චූළ හා මහා යන විශේෂණ පද යෙදූ මහාසාරෝපම – චූළසාරෝපම, මහාදුක්ඛක්ඛන්ධ – චූළදුක්ඛක්ඛන්ධ, මහාසීහනාද – චූළසීහනාද ආදී වශයෙන් සූත්‍ර ගණනාවක්ම ඇත.

මිහිඳු හිමියන් තිස්ස රජු ඇතුළු (තෙරුවන් ගැන හා සම්බුදු දහම ගැන නොදත්) පිරිසට පළමු දම් දෙසුම සඳහා මේ දම්සුතුර තෝරා ගැනීමට විශේෂත්වයක් තිබිය යුතු ය. මේ දම් දෙසුමේ ඇතුළත් වන්නේ බුදුරදුන් හා ජානුස්සෝණි නම් බ්‍රාහ්මණයා අතර ඇති වූ ධර්ම සාකච්ඡාවකි. ජානුස්සෝණි බ්‍රාහ්මණයා බුදුරදුන් හමුවීමට පැමිණෙන්නේ පිළෝතික පරිබ්‍රාජකයා කළ බුදුගුණ වර්ණනාව ඇසීමෙනි. ඔහු බුදුරදුන්ගෙන් ධර්මය අසා පැහැදුණු අයුරු ඇතකුගේ පාසටහන්වල උපමානු සාරයෙන් ජානුස්සෝණි බ්‍රාහ්මණයාට පහදා දෙයි. එයින් සතුටට පත්වන ජානුස්සෝණි බ්‍රාහ්මණයා පිළෝතිකට ස්තුති කොට තමා නොබෝ දිනකින්ම බුදුරදුන් හමුවට යන බව පවසා පිටව යයි. ජානුස්සෝණි බ්‍රාහ්මණයා තෙරුවන් ගැන හෝ බුදුරදුන්ගේ ධර්මය ගැන නොදත් අයෙකි. බුදුරජාණන් වහන්සේ ඔහුට තෙරුවන් ගැන පමණක් නොව නිර්වාණගාමී මාර්ගයම ඉතා පැහැදිලිව මෙන්ම සරලව දේශනා කොට ඇත. මෙය ඇසීමෙන් තෙරුවන් හා බුද්ධ ධර්මය පිළිබඳ නොදත් අයකුට ඒ පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගත හැකි ය. මිහිඳු හිමියන් ද තිස්ස රජු ඇතුළු පිරිසට ප්‍රථම ධර්මදේශනය සඳහා මේ දම් දෙසුම තෝරා ගත්තේ මේ නිසා ය. ඒ අනුව එහි ඇතුළත් සම්බුදු කෙනකුගේ පහළවීමේ සිට එය අනුගමනය කරන පුද්ගලයා නිර්වාණගාමී මාර්ගයේ ගමන් කරන අයුරු විමසා බලමු.

බොහෝ කලකින් නව අරහාදී බුද්ධ ගුණයෙන් සමන්විත වූ තමන්ගේ ම නුවණින් දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණයින් සහිත වූ මේ ලෝකය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලැබූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙති. උන්වහන්සේ මුල, මැද, අග පිරිසුදු වූ අර්ථ හා අක්‍ෂර වලින් හාත්පසින්ම පිරුණු පිරිසුදු වූ ධර්මය දේශනා කරති. බ්‍රහ්මචරියාවද (ගිහිගෙයින් නික්මීමේ ඇති අනුසස්) ප්‍රකාශ කරති. මේ ධර්මය අසන නුවණැති කුල පුත්‍රයා බුදුරදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගනියි. ශ්‍රද්ධාවත් වූ ඔහු එම ධර්මය අසා ගිහිගෙය බාධක සහිත බවත්, පැවිද්ද නිදහස් බවත්, බඹසර විසීම ඉතා වටිනා බවත් අවබෝධ කොටගෙන සියලු භවභෝග සම්පත් හා ඤාති පිරිවර හැරදමා හිස - රැවුල් බා කසාවත් හැදපොරවා උතුම් පැවිද ලබා හුදකලාව වාසය කරයි. මෙසේ වාසය කරන ඔහු ප්‍රාණඝාතයෙන් වෙන් වෙයි. අදත්තාදානයෙන් වෙන් වෙයි. බ්‍රහ්මචාරී වෙයි. මුසා බස්, පිසුණු බස් (කේලම්) අරුත්සුන් (හිස් වචන) බස් හා පරුෂ බස් නො කියයි. බොහෝ ජනයාගේ හිතසුව පිණිස වන වචන කතා කරයි. අර්ථවත් දෙයක්ම කියයි. ධර්මයම කියයි. ඇත්ත ඇති සැටියෙන්ම කියයි. නිසිදේ නිසි කලට කියයි. පැළවන දේ පැළවුණ දේ නැසීමෙන් වළකී. අවේලාවේ වැළඳීමෙන් වළකී. නැටීමෙන් ගැයීමෙන් ආදී නොසුදුසු දෙයින් වළකී. මල් ගඳ විලවුන් දැරීමෙන් වළකී. උසසුන්, මහසුන් දැරීමෙන් වළකී. රන් – රිදී – මුතු - මැණික් දැරීමෙන්, පිළිගැනීමෙන් වළකී. නොපිසූ ධාන්‍ය හා මස් වර්ග පිළිගැනීමෙන් වළකී. දැසි දස් කුමරියන් පිළිගැනීමෙන් වළකී. සතුන් පිළිගැනීමෙන් වළකී. ගිහියන්ගේ පණිවුඩ ගෙනයෑම්, ගනුදෙනු කිරීම්, අල්ලස් ගැනීම්, මං පැහැරීම් ආදී නොසුදුසු නොහොබිනා දෙයින් වළකි.

මෙසේ වූ එම භික්‍ෂුව කය වසාගැනීම සඳහා සිවුරෙන්ද කුස පුරවා ගැනීම සඳහා පාත්‍රයෙන්ද සතුටු වන්නේ වෙයි. උන්වහන්සේ යම් තැනක වඩීද සිවුර හා පාත්‍රය පමණක්ම රැගෙන වඩිති. එය පක්‍ෂියෙකුට සමානය. පක්‍ෂියා පියඹා යෑමේ දී ඔහුට ඇත්තේ පියාපත් බර පමණි. එමෙන්ම භික්‍ෂුවකට ද තිබිය යුත්තේ පාත්‍රය හා සිවුර පමණි. මෙසේ ආර්ය ශීලයෙන් සමාදන් වූ භික්‍ෂුව අධ්‍යාත්මික වශයෙන් නිරවද්‍ය සැපය විඳී.

එමෙන්ම මෙසේ ආර්ය ශීලයෙන් සමාදන් වූ භික්‍ෂුව ඇසින් රූප දැක එය නිමිති වශයෙන් නොගනී. එය ක්‍රි‍්‍රයා මාත්‍රයක් පමණක් ලෙස දකිති. එහි ඇලීමක් – බැඳීමක් නොදක්වයි. එමෙන්ම කනින් ශබ්ද ඇසීමෙන් ද, දිවෙන් රස දැනීමෙන් ද, නාසයෙන් ආඝ්‍රාණය කිරීමෙන් ද, කයින් ස්පර්ශය ලැබීමෙන් ද, මනසින් ධර්මය දැනීමෙන් ද, (මනසට නැඟෙන විතර්කයන්) එය නිමිති වශයෙන් නොගනී. එය ක්‍රියා මාත්‍රයක් පමණක් ලෙස දකිති. එහි ඇලීමක් – බැඳීමක් නොදක්වයි. මෙසේ වූ එම භික්‍ෂුව, ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවෙ යි.

මෙසේ ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූ එම භික්‍ෂුව, යෑම් – ඒම් – ඉදුම් – හිටුම් - සැතපීම් ආදී සියල්ල සිහි කල්පනාවෙන් සිදු කරයි. අවම වශයෙන් මළ - මුත්‍ර පිටකිරීමද සිහි කල්පනාවෙන් සිදු කරයි. එමෙන්ම ජනයාගෙන් තොර වන සෙනසුන්, රුක්මුල්, පර්වත, ගුහා, සොහොන්, පිදුරුකුටි ආදියෙහි වාසය කරති. මෙසේ වූ එම භික්‍ෂුව අරඹන ලද වීර්යයෙන් යුක්ත වූයේ පලක් බැද කය සෘජුකොට සිහිය කර්මස්ථාන කොට සිත සමාධියට යොමු කරයි. මෙසේ වූ එම භික්‍ෂුව අභිධ්‍යාවෙන් සිත නිදහස් කරයි. ව්‍යාපාදයෙන් සිත නිදහස් කරයි. සියලු සතුන් කෙරෙහි කුළුණුසිත වඩයි. ථීන මිද්ධය ප්‍රහීණ කරයි. එමෙන්ම ගතේ හා සිතේ ඇති නොසන්සුන් බව කම්මැලිකම දුරු කරයි. එමෙන්ම කුශල ධර්මයන් පිළිබඳ වූ සැකය දුරු කරයි. මෙසේ පඤ්ච නීවරණයන් ගෙන් සිත නිදහස් කරන එම භික්‍ෂුව ප්‍රථමධ්‍යානය ලබයි. මෙසේ ප්‍රථමධ්‍යානයේ සිට චතුර්ථධ්‍යානය දක්වා සිත වඩන භික්‍ෂුව බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධය, ධර්මය මනාව දේශිතය, බුදුරදුන්ගේ ශ්‍රාවක සංඝයා පිළිවෙතින් පරිපූර්ණය යන නිෂ්ටාවට එළඹෙයි. එහෙත් එන නිවරදි නිෂ්ටාව හෙවත් අවසානය නොවේ. එයින් නොනැවතුන ආර්ය ශ්‍රාවකයා ඉන් ඉදිරියට යා යුතු ය.

මෙසේ ඉදිරියට යන ආර්ය ශ්‍රාවකයා පෙර උපන් ජාති දැනීමේ ඤාණය, සත්වයන්ගේ නැතිවීම් හා ඉපදීම් දැකගත හැකි ඤාණය හා සියලු කෙලෙසුන් නැති කිරීමේ ඤාණය ලබයි. එයින් ද නොනැවතුන ආර්ය ශ්‍රාවකයා තවත් ඉදිරියට යා යුතු ය. එනම් දුක පිළිබඳ නිවැරදි දැනීම, දුක හට ගැනීම පිළිබඳ නිවරදි දැනීම, දුක නැති කිරීම පිළිබඳ නිවැරදි දැනීම හා දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ නිවැරදි දැනීම ලබයි. එයින් ද ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධය, ධර්මය මනාව දේශිතය, බුදුරදුන්ගේ ශ්‍රාවක සංඝයා පිළිවෙතින් පරිපූර්ණය යන නිෂ්ටාවට නොඑළඹිය යුතු ය. එය නිෂ්ටාව හෙවත් අවසානය නොවේ. එයින් නොනැවතුන ආර්ය ශ්‍රාවකයා ඉන් ඉදිරියට යා යුතු ය. ඉන් ඉදිරියට යන ආර්ය ශ්‍රාවකයා කාම ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් කර ගනී. භවය පිළිබඳ වූ ආශාවන්ගෙන් සිත නිදහස් කරගනී. අවිද්‍යාවෙන් ද සිත නිදහස් කරගනී. මෙයින් සියල්ලන්ගෙන් මිදීම හෙවත් විමුක්ති ඤාණය ඇතිවේ. විමුක්ති ඤාණය ලැබූ කල්හි ඉපදීම නැතිවේ. බඹසැර වස නිමවන ලදී. කළයුතු සියල්ල කර අවසන්ය. නැවත ඉපදීමක් නැත. මෙය තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමයි. බුදුරජාණන් වහන්සේ සේවනයයි. තථාගතයන් වහන්සේ දීප්තිමත් කිරීමයි. මෙයින් ආර්ය ශ්‍රාවකයා, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධය, ධර්මය මනාව දේශිතය, බුදුරදුන්ගේ ශ්‍රාවක සංඝයා පිළිවෙතින් පරිපූර්ණය යන නිෂ්ටාවට එළෙඹියේ වෙයි. එය නිවරදි නිෂ්ටාව හෙවත් සම්බුදු දහමේ පූර්ණ අවබෝධයට පත්වීමයි.

චූළහත්ථිපදොපම සූත්‍රයෙහි එන ඇත් උපමාව ආර්ය ශ්‍රාවකයා ධර්මය අවබෝධ කරගන්නා පියවර සමග මෙසේ සංසන්දනය කළ හැකි ය. එනම් දක්‍ෂ නාගවනිකයා (ඇත් වනයෙහි වසන පුද්ගලයා) මහා ඇත් රජු සෙවීම සඳහා වනයට පිවිස පිය සටහන් අනුව ගමන් කරන්නේ ‘වාමනිකා’ නම් වූ ඇත් කුලයෙහි පාසටහන් දැක එය මනාව වටහාගෙන එය මහ ඇතාගේ පාසටහන් නොවන බව දැන ඉන් නොනැවතී ඉදිරියට ගමන් කරයි. එය පඤ්චනීවරණ ප්‍රහීණ කර චතුර්ථධ්‍යානයට පත් ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධය, ධර්මය මනාව දේශිතය, බුදුරදුන්ගේ ශ්‍රාවක සංඝයා පිළිවෙතින් පරිපූර්ණය යන නිෂ්ටාවට නො පැමිණ, ඉන් නොනැවතී ඉදිරියට ගමන් කිරීමට සමාන ය. තවත් ඉදිරියට ගමන් කරන දක්‍ෂ නාගවනිකයා නැවතත් හමු වූ ඇත් පාසටහන් දැක එය ‘උච්චා කාළාරිකා’ නම් ඇත් කුලයෙහි බව දැන මහ ඇතා සොයමින් තවත් ඉදිරියට ගමන් කරයි. එය පඤ්චනීවරණ ප්‍රහීණ කරන ආර්ය ශ්‍රාවකයා ඉන් නොනැවතී ත්‍රිවිද්‍යාවන් ලබා ගැනීම දක්වා ගමන් කිරීමට සමානය. මෙසේ වනයේ ඉදිරියට ගමන් කරන නාගවනිකයාට තවත් ඇත් පිය සටහනක් හමුවෙයි. එම පිය සටහනද මහ ඇතාගේ නොව ‘උච්චාකණෙරුකා’ නම් ඇත්කුලයේ බව වටහාගෙන මහා ඇතා සොයමින් තවත් ඉදිරියට ගමන් කරයි. එය ත්‍රිවිද්‍යාවන් ලබාගත් ආර්ය ශ්‍රාවකයා ඉන් නොනැවතී චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ගමන් කිරීමට සමාන ය. මෙසේ මහ ඇතා සොයමින් ඉදිරියට ගමන් කරන නාගවනිකයාට මහ ඇතාගේ පිය සටහන් හමුවෙයි. එම මහ ඇතා පිට ඉලූ තැන්ද, දළින් පහරදුන් තැන් ද, උස් තැනින් සිඳුණු අතුද දැක, එය නියම මහ ඇතාගේ ක්‍රියාවන් ලෙස හඳුනාගෙන මහ ඇත්රජු නිෂ්ටාවට පැමිණෙයි. මෙය ආර්ය ශ්‍රාවකයා කාමාසව, අවිද්‍යාසව, භාවාසාවන්ගෙන් සිත මුදා විමුක්ති ඤාණය ලැබ උතුම් අර්හත් තත්ත්වයට පත්වීමට සමානය. මෙයින් ඇත් උපමාව නිමාවට පත් විය.

මෙම දම්දෙසුම ශ්‍රවණය කිරීමෙන් තිස්ස රජු ඇතුළු පිරිස බුදුන්, දහම්, සඟුන් යන ත්‍රිවිධ රත්නයේ පූර්ණ අවබෝධයකට පැමිණියා පමණක් නොව නිර්වාණගාමී ප්‍රතිපදාවත්, මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ආර්ය ශ්‍රාවකයන්ගේ පිළිවෙතත් මනාව අවබෝධ කොටගෙන උන්වහන්සේලාට සුදුසු අයුරින් පිළිපැද ඇත.

 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]