UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මේ වර්ෂයේ ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල විසින් නව ව්‍යාපෘති දෙකක් දියත් කර ඇත. ඒවානම් මහා ගල් ප්‍රාකාරය සංරක්ෂණය කිරීම සහ අනුරාධපුර යුගයේ පැවති මහා විහාරයේ පැරණි ශ්‍රී විභූතිය නැවත ඔප් නැංවෙන අයුරු නව මහා විහාර සංඝාවාසයක් ඉදිකිරීමය. මේ උතුම් ක්‍රියාව තුන් වසරක් තුළදී නිම කිරීම අපගේ ඉලක්කය බව සතුටින් සඳහන් කරමි. ඊට ඔබ සැමගේ පරිත්‍යාගශීලි දායකත්වය අවශ්‍ය වේ.

ශ්‍රීලංකා බෞද්ධ ජනතාව වන අපි අනුරාධපුර ජය ශ්‍රී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ සාඩම්බර උරුමක්කාරයන් සහ භාග්‍යවන්ත භාරකරුවන් වන්නෙමු. ක්‍රිස්තු පූර්ව 307 දී දේවානම්පියතිස්ස රජු සමයේ ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයාණන්ගේ දියණිය වන සංඝමිත්තා තෙරණිය විසින් දඹදිව ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවන ලදී.

අනුරාධපුරයේ මහමෙව්නා උයනේ රෝපණය කළ එය ලෝකයේ පැරණිම ඓතිහාසික වෘක්ෂය ලෙසද හඳුනා ගෙන ඇත.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවුරුදු 2300 කටත් වඩා පැරණි නොබිඳුනු ඉතිහාසයකට උරුමකම් කියන අති පූජනීය වස්තුවක් බව ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ ඓතිහාසික ලේඛන, සෙල්ලිපි හා පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් ඔප්පු වී ඇත.

‘බෝධි යනු ප්‍රඥාවයි. එබැවින් සිද්ධාර්ථ කුමරුන්ට බුද්ධත්වය හෙවත් ප්‍රඥාව ලබා ගැනීමට සෙවණ දුන් වෘක්ෂය බෝධිය යැයි ආමන්ත්‍රණය කරනු ලැබේ. බෞද්ධ පූජනීය වස්තුවක් ලෙස එහි විශිෂ්ටත්වය තහවුරු වී ඇත්තේ එය ජීවමානව පවතින නිසා මෙන්ම බෝධීන් වහන්සේගේ අදෘශ්‍යමාන බලය නිසාය. දෙවන බුදුන් ලෙස විරුදාවලි ලත් අප ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය ද විය. පැරණි ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් පරිදි සිංහල රජදරුවන් විසින් ජයසිරි මහ බෝමැඩ සෞන්දර්යාත්මක අගය සහ ආකර්ෂණය වැඩිදියුණු කිරීමට නොයෙක් පියවර ගෙන ඇත. එසේම ඔවුන් විසින් අවශ්‍ය සෑම විටම ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ නඩත්තුව, දියුණුව හා ප්‍රතිනිර්මාණය තම රාජකාරිය සේ සලකා කටයුතු කර ඇත.

කි‍්‍රස්තු වර්ෂ 12 වන ශත වර්ෂයේ මැද භාගයේදී දකුණු ඉන්දියානු ආක්‍රමණ හා අභ්‍යන්තර ආරාවුල් නිසා අවුරුදු 1500 ක් පමණ කාලයක් පැවති රජරට ශිෂ්ටාචාරය බිඳ වැටුණු අතර අනුරාධපුරයේ පූජණීය ස්ථාන ගන වනාන්තරයට හා වන සතුන්ට ගොදුරු විය. එසේ තිබියදීත් රජරට තනි වූ කුඩා ගම්මානවල ධෛර්ය සම්පන්න සිංහල වැසියන් මැලේරියාව, වනසතුන් හා ඉඩෝරයට එරෙහිව සටන් කරමින් බොහෝ පූජණීය ස්ථාන විශේෂයෙන්ම ජය ශ්‍රී‍්‍ර මහා බෝධීන් වහන්සේ රැකබලා ගත්හ. එමනිසා ජය ශ්‍රී‍්‍ර මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානයේ සුවිශාල නිර්මාණ අවුරුදු 800 ක පමණ කාලයක් බාහිර ලෝකයෙන් ඈත්ව තිබිණ. කෙසේ වුවද දහනවවන ශත වර්ෂයේ බෞද්ධ පුනර්ජීවනයත් සමග බෞද්ධ සැදැහැවතුන් මේ මාහැඟි ස්මාරකවල විශිෂ්ටත්වය වටහා ගත්හ. බ්‍රිතාන්‍ය පාලන සමයේදී අනුරාධපුර නගරයේ ගොදුරක් බවට පත්ව තිබූ ජයසිරි මහා බෝධි පුද බිම සහ අවට පරිසරය විසි වන සියවසේ මැද භාගයේ සිට පූජා භූ®මි සංවර්ධන සැලැස්ම අනුව කලඑළි වන්නට විය.

කෙසේ වෙතත් 21 වන ශත වර්ෂය උදාවනතෙක් ජය ශ්‍රී මහා බෝධි සිද්ධස්ථානය කිසිදු සැලකිය යුතු සංරක්ෂණ හෝ ප්‍රතිසංවර්ධන ක්‍රියාවලියකට පාත්‍ර නොවී නටබුන් වෙමින් තිබුණි. විසිවන ශත වර්ෂයේ අග භාගයේ සිදුකළ වැඩිදියුණු කිරීම් වූයේ උඩමළුවේ ඉහළ මාලයේ රන්වැට ඉදිකිරීම, අනුරාධපුර නව නගරයේ සිට ශ්‍රී‍්‍ර මහා බෝධි පරිශ්‍රය දක්වා විධිමත් පිවිසුම් මගක් ඉදිකිරීම සහ භික්ෂූන් සඳහා සංඝාවාසයක් ඉදි කිරීමය.

රන්වැට අරමුදලේ උත්සාහය හා සැලසුම්වල ප්‍රතිඵලයක් වශයෙන් රජයේ අනුග්‍රහයෙන් පෙරහැර මාවතද, වහාවිහාර ධර්ම ශාලාවද ඉදිවිය. එම කටයුතුවලට රාජ්‍ය අනුග්‍රහයෙන් අරමුදල් සපයන ලද්දේ පිළිවෙලින් එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපතිව සිටි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විසිනි. මේ අතරතුර 2004 දෙසැම්බර් 12 වෙනි ඉරු දින ජය ශ්‍රී‍්‍ර මහා බෝධීන්වහන්සේට ආරක්ෂාව සැලසූ බෝධි ප්‍රකාරය නිරන්තර අධික වර්ෂාව හා නිර්මාණය තාක්ෂණික දුර්වලතා නිසා සම්පූර්ණයෙන් බිඳ වැටුණේය. විනාශය යහපතට හරවා ගැනීමේ අරමුණින් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ අප සංවර්ධන අරමුදල (එවකට රන්වැට අරමුදල) අනුරාධපුර යුගයේ කලාශිල්ප සහ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයන්ට අනුගතව රුපියල් කෝටි තුනක් වැය කර ලියවන ලද කළුගලින් නෙළූ නව බෝධි ප්‍රාකාරයක් ගොඩනැගීම ආරම්භ කරන ලදී. නව බෝධි ප්‍රාකාරයේ සැලැස්ම අනුව වන්දනාකරුවන්ගේ යහපත පිණිස දේවාල මළුවේ ඉඩකඩ දෙගුණයක් වූ අතර 2007 අපේ‍්‍රල් මාසයේදී එය විවෘත කරන ලදී.

ඉන් ටික කලකට පසු සංවර්ධන අරමුදල විසින් විහාර මන්දිරයට සහ බණ මඩුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. ඒ සමගම සංවර්ධන අරමුදල විසින් රුපියල් කෝටි හතරක් වැය කර විහාර ප්‍රාකාරය අලුතින් ගොඩනැගීමටද අවිධිමත් ලෙස ඉදිකර තිබූ පැරණි සත්සති මන්දිර වෙනුවට නව සත්සති මන්දිර ඉදිකිරීම ද ආරම්භ කරන ලදී. ශත වර්ෂ ගණනාවක් පවතින සේ මෙම සියලු ව්‍යාපෘති සම්පූර්ණ කර ඇති අතර මෙම ඉදිකිරීම් සතර දිග් භාගයෙන් ජය ශ්‍රී මහා බෝධිය වෙත පැමිණෙන සැදැහැවතුන්ගේ පහන් සංවේගය සහ අමන්දානන්දය පිණිස සසුනට පූජා කර ඇත.

මේ වර්ෂයේ ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල විසින් නව ව්‍යාපෘති දෙකක් දියත් කර ඇත. ඒවානම් මහා ගල් ප්‍රාකාරය සංරක්ෂණය කිරීම සහ අනුරාධපුර යුගයේ පැවති මහා විහාරයේ පැරණි ශ්‍රී විභූතිය නැවත ඔප් නැංවෙන අයුරු නව මහා විහාර සංඝාවාසයක් ඉදිකිරීමය. මේ උතුම් ක්‍රියාව තුන් වසරක් තුළදී නිම කිරීම අපගේ ඉලක්කය බව සතුටින් සඳහන් කරමි. ඊට ඔබ සැමගේ පරිත්‍යාගශීලි දායකත්වය අවශ්‍ය වේ.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රන්වැට අරමුදලේ අනුප්‍රාප්තිකයා වන අනුරාධපුර ජය ශ්‍රී‍්‍ර මහා බෝධි සංවර්ධන අරමුදල 2006 අංක 41 දරන පාර්ලිමේන්තු පනතින් සම්මත වූ ව්‍යවස්ථාපිත ආයතනයකි. අනාගත පරම්පරාවන්ට කැපකරන දායාදයක් සේ සලකා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අභිවෘද්ධිය සහ ආරක්ෂාව වෙනුවෙන් අපි හැම එක්සත්ව කටයුතු කරමු. ඔබ සැමට ජය සිරි මහා බෝ සමිඳු පිහිටයි.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]