UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහමෙන් ලද ආලෝකයට කෘතගුණ සැලකීම මිහින්තලා ආලෝක පූජාවේ අරමුණයි - නාමල්වැවේ රතනසාර නා හිමි

බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ නිර්මල දහම මෙසිරිලකට දායාද කළ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ගුණ සිහිකරන පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය පවත්වනු ලබන ආලෝක පූජා පින්කම පිළිබඳව මිහින්තලේ රජමහ විහාරාධිපති නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නාමල්වැවේ ධර්මකීර්ති ශ්‍රී රතනජෝති රතනසාර නාහිමියන්, සමග කළ සාකච්ඡාවකි මේ.

ලේක්හවුස් ආයතනය විසින් පවත්වනු ලබන ආලෝක පූජාවේ ඉතිහාසය පිළිබඳ සිහිපත් කළොත්?

මේ උතුම් පින්කමට 1963 වසරේ සිට ලේක්හවුස් ආයතනය දායකත්වය ලබාදෙනවා. 2011 දී මේ පවත්වන්නට යෙදී තිබෙන්නේ 49 වන ආලෝක පූජා උත්සවයයි. අපවත් වී වදාළ අපගේ ගුරුදේව වලවා හැංගුනවැවේ ශ්‍රී රතනපාල රතනජෝති නාහිමියන්ගේ ආශිර්වාදය ඇතිව ලේක්හවුස් ආයතනය තමයි මෙය ආරම්භ කළේ.

1963 වසරේ සිට මේ දක්වා සෑම වසරකම පොසොන් පොහෝදා හා ඊට පෙරදා මෙන්ම පසුදා යන දින තුනේම ලේක්හවුස් ආලෝක පූජාව පවත්වනවා.

ආරම්භක යුගයේ විශාල ජෙනරේටර් තුනක් යොදාගෙන මුළු මිහින්තලා පව්වම ආලෝකවත් කළා. අද වගේ පහසුකම් එදා තිබුණේ නැහැ. ජෙනරේටර් ගේන්න හරියට පාරක් තිබුණේ නැහැ. වන්දනා කරන්න වගේම විදුලි ආලෝකය බලන්නත් එදා ඈත ගම්මානවල ජනතාව මිහින්තලේට ආවා.

මෙම ආලෝක පූජාවේ තිබෙන ආගමික වටිනාකම පැහැදිලි කරන්න පුළුවන් ද?

මහින්දාගමනයෙන් පසු පුරාණ රජකාලේ සිට පොසොන් උත්සවය සැමරුවා. රටේ බෞද්ධ ජනතාව ඉතාම භක්තියෙන් යුතුව ඒ සඳහා පෙළගැසී සිටිනවා. ආමිස හා ප්‍රතිපත්ති වශයෙන් ආගමික කටයුතු වල නියැලෙනවා. මේ ආලෝක පූජාව කියන්නෙත් ආමිස වශයෙන් පිදීමක්. ඉතින් මෙහි පැහැදිලි ආගමික වටිනාකමක් තිබෙනවා.

ආලෝක පූජාව හා ඊට සමගාමීව සිදුකරන කාර්යයන් පොසොන් සැමරුම හා ඒකාබද්ධ වන ආකාරය කොහොමද?

මිහිඳු හිමියන් ලක්වැසි සැමට මේ උතුම් වූ බුදුදහම දායාද කර පොසොන් පොහොය අර්ථවත් කළා. එයට නව වටිනාකමක් ලබාදුන්නා. කෘතගුණ සැලකීමේ මහ ගුණයත් එහි වටිනාකමත් අපට බුදුදහමින් කියා දුන්නා. එනිසයි බුදුදහම නමැති මහ ආලෝකයෙන් උන්වහන්සේ අපේ ජීවිත ආලෝකවත් කිරීම වෙනුවෙන් සිදු කරන කෘතගුණ සැලකීමක් ලෙස මහින්දාගමනය සිහිපත් කර පොසොන් උත්සවය සමරන්නේ.

ප්‍රථම සංඝයනාවේදී පවා එකදු බුදු වදනක් පවා වෙනස් කළේ නැහැ. අපේ රටට ලැබුණෙත් නිර්මල බුදුදහමයි. ඒ වගේම එදා අනුබුදු මිහිඳු හිමියන් අවබෝධ කරගෙන සිටියා එකල ජනතාවගේ බුද්ධි මට්ටම. ජනතාවගේ සිතුම් පැතුම් අවශ්‍යතා. ඒ අනුවයි කාලීන ප්‍රායෝගික දහම් කරුණු ඇතුළත් චුල්ලහත්තිපදෝපම පේතවත්තු, විමානවස්තු ආදී සූත්‍ර දේශනා කළේ.

ඉතින් මේ සියලු දේ සිහිපත් කර කරනු ලබන පොසොන් සැමරුම වෙනුවෙන් ලේක්හවුස් ආයතනය සිදුකරන ආලෝක පූජාව හා සම්බන්ධ වැඩසටහන් රාශියක් තිබෙනවා. පොසොන් උත්සවයේ වටිනාකම වටහාගෙන මේ උතුම් පින්කමට දායකත්වය ලබාදීමට පියවර ගැනීම ඔවුන්ගේ ජයග්‍රහණයක්. එය සැබෑ ක්‍රියාත්මක වීමක් ලෙස දකිනවා. මන්ද ඔවුන්ට මෙවැනි දායකත්වයක් දරමින් කටයුතු කිරීමට වෙනත් තැනකට යන්නට අවකාශ තිබියදී මෙසේ කිරීම අගය කළ යුතුයි. මේ සඳහා සම අනුග්‍රහය ලබාදෙන ලංකා විදුලිබල මණ්ඩලයත් සිහිපත් කළ යුතුය.

මේ ආලෝක පූජාවත් සමග ලේක්හවුස් ආයතනය මිහින්තලයේදී සිදුකළ හා සිදු කරන ප්‍රජා සේවාවන් මෙනවාද?

සෑම පොසොන් උදාවකදීම පන්සියයක පමණ පිරිසකට සිල්සමාදන් වීමට සිල්රෙදි ලබා දෙනවා. ඔවුන්ට දානය ලබාදීමට උපකාර කරනවා. ඒ වගේම කථිකත්වය හැකියාවන් හා අධ්‍යාපන දක්ෂතා අගය කරමින් කථික තරග පවත්වා දරුවන් ආගම දහමට සමීපකර ඔවුන්ට ත්‍යාග ලබාදෙනවා. මිහින්තලේ ආලෝක පූජාව කියද්දී මුළු රටේම ජනතාව ඊළඟට කියන්නේ ලේක්හවුස් කියන නම. ඒ තරමට ජනතාවට මේ ආයතනය සමීපයි.

මීට අමතරව සමාජ සත්කාර රාශියක් කර තිබෙනවා. මිහින්තලේ මහ විද්‍යාලයට පරිගණක පහසුකම්, පුස්තකාල පහසුකම් ලබා දුන්නා. ඒ වගේම කම්මලක්කුලම විද්‍යාලයටත් පුස්තකාල පහසුකම් දී තිබෙනවා. මිහින්තලේ රෝහලට වාට්ටුවක් ඉදිකර දී ජනතාව වෙනුවෙන් විශාල පින්කමක් සිදුකර ගෙන තිබෙනවා.

දරුවන්ගේ නැණස පාදන්නට කටුපොත ගම්මානයට පෙර පාසලක් ලබා දී තිබෙනවා. ඒ වගේම මිහින්තලේ කනිෂ්ඨ විද්‍යාලයට දන්ත වෛද්‍ය ඒකකයක් පිහිටුවා දරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් උපකාර කර තිබෙනවා.

මිහින්තලේ ලේක්හවුස් විශ්‍රාම ශාලාවෙන් වන්දනාකරුවන්ට යම් සේවයක් වෙනවා. නමුත් යන වියදම් වල හැටියට ජනතාවට මීට වඩා සේවාවක් ඒ තුළින් සිදුකළ යුතුයි.

මේ ප්‍රජා සේවාවන් මිහින්තලේ ආගමික පුනර්ජීවය සඳහා බලපාන්නේ කොහොමද?

ලේක්හවුස් ආයතනය මේ පින්කම ආරම්භ කළ නිසාම තමයි මේ පිබිදීම ඇතිවුණේ. කුමන බාධක මැද වුවත් මේ උත්සවය පැවැත්වීම නිසා ජනතාව තුළත් මේ ආයතනය පිළිබඳ ගෞරවය වැඩි වී තිබෙනවා. ලංකාවට ධර්ම දානය ලබාදුන් මිහින්තලා පුදබිම ආලෝකවත් කිරීම එම ගෞරවයට තවත් හේතුවක්.

ගහට පොත්ත මෙන් පොත්තට ගහමෙන් ලේක්හවුස් හා මිහින්තලේ එකට බද්ධ වී තිබෙනවා. ජනතාව මෙය වටහාගෙන තිබෙනවා. මිහින්තලේ සියලුම භික්ෂූන් වහන්සේ ලේක්හවුස් ආයතනය සමඟ සමීපවයි සිටින්නේ. බැඳීමෙනුයි සිටින්නේ. නීතියකටත් වඩා ශන්තිමත් සාමිප්‍රදායික බැඳීමක් ලෙස මේ කටයුත්ත ලේක්හවුස් ආයතනය වෙත පැවරී තිබෙනවා.

එළැඹෙන පොසොන් උත්සවය සඳහා සූදානම කොහොමද?

ඔව් පසුගිය වසරවල වගේම මෙවරත් ඉතාම ගෞරවනීය විදිහට උසස් අයුරින් මේ උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ පිළිබඳ ප්‍රථම සාකච්ඡාව අනුරාධපුර මහ දිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා තිබුණා. ලේක්හවුස් ආයතනය සිදුකරන ආලෝක පූජාව ඇතුළු සියලු වැඩසටහන් මෙවරත් සිදු කිරීමට ලේක්හවුස් සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය කැමැත්ත ඵලකර තිබෙනවා. ඒ වගේම පරණ පොහොය ගෙය වෙනුවට නව පොහොය ගෙයක් ඉදිකිරීමටත් ලේක්හවුස් ආයතනය මෙවර කැමැත්ත පළකර තිබෙනවා.

පොසොන් උළෙල හා බැඳී ඇති මේ සියල්ලට 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය නිසා ඇතිකළ ආගමික ප්‍රබෝධය පැහැදිලි කළොත්?

පසුගිය වෙසක් පුන්පොහෝ දිනයත් සමග අපේ ජනතාව සම්බුද්ධත්ව ජයන්තිය මහත් උනන්දුවෙන් ගෞරවයෙන් සමරමින් සිටිනවා. එම කටයුතු සම්බුද්ධත්ව ජයන්ති වසර පුරාම සිදු කෙරෙනවා.

ඒ වගේම වෙනදා වගේම පොසොන් උත්සවයට අනන්‍ය වූ සියලු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි සූදානමින් සිටිනවා. 2600 වන සම්බුද්ධත්ව ජයන්තියත් සමග සිදු කරන මෙවර පොසොන් උළෙල මේ සියලු කාරණ නිසා තවත් අර්ථවත් වෙනවා.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]