Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොසොන් පුන් පොහෝ දින ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී විශේෂ පින්කම්

2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමිත්තෙන් වෙසක් පුන් පොහෝ දින ඇරැඹුණු විශේෂ පින්කම් වර්ෂය පුරා පැවැත්වෙන මහාවිහාර පුන් පොහොය වැඩසටහන් හා සමගාමී ව අනුරාධපුර ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පැවැත්වීමට අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ගේ අනුශසනා පරිදි කටයුතු සංවිධාන කෙරේ.

මහාවිහාර පොසොන් පුන් පොහොය වැඩසටහන පොසොන් පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසුදින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.

පොසොන් පුන් පොහෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාව අසල දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අතින් ගවයකුට අභය දානය ලබාදේ.

පොසොන් පුන් පොහෝ දින පස්වරු 5.15 ට අනුරාධපුර ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී දෙවැනි වරටත් සම්බුද්ධත්ව ජයන්ති පදවිතිහාර පූජාව පැවැත්වේ. මීට අමතරව පොසොන් පුන් පොහොය වැඩ සටහනට ධර්ම දේශනා, භාවනා, ධර්ම සාකච්ඡා බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ.

පුන් පොහොය වැඩ සටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන් ගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.

සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමිත්තෙන් පොසොන් පුන් පොහොය දිනට පසුදින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී විශේෂ භාවනා වැඩ සටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් මෙම භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.