Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රාගම – වල්පොල ඓතිහාසික පොසොන් මහ පෙරහර 14 වන දා

1922 දී වල්පොල සංගමය නමින් සංවිධානයක් බිහිකර අධිරාජ්‍යය පාලනය නිසා පන්සලෙන් හා පිරිවෙනෙන් ගිලිහීගිය බෞද්ධ අධ්‍යාපනය නැවත නඟා සිටුවන ලදී. පළාත්වාසී ළමාපරපුර බෞද්ධ අධ්‍යාපනය තුළින් දැහැමි සමාජයක් බිහිකිරීමේ අභිලාශයෙන්, එවකට වල්පොල ශ්‍රී විමලරත්නාරාම මහා විහාරස්ථානයේ වැඩ විසූ අපවත් වී වදාළ හතරලියද්දේ සීලරතන ස්වාමීන් වහන්සේගේ අනුශසකත්වයෙන් වල්පොල සංගම් සමිති ශාලාවේ දී දහම් පාසලක් ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාද්වීපයේ බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, දකුණු අළුත්කූරු කෝරළයේ, ගලහිටියාව පේරුවේ, රාගම්පත්තුව බද ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් අංක, 212 ට අයත් රමණීය පෙදෙසක ‘වල්පොල’ නමැති පින්බර ගම පිහිටා ඇත.

ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන සංකල්පය මත වැවට යාබදව පන්සලත්, වැව ඉදිරිපිට දේවාලයත්, රමණීය වෙල්යායත් වටකරගෙන වල්පොල ගම නිර්මාණය වී ඇත.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ, ලක්දිව බුදු සසුන පිහිටුවීමෙන් පසු ගම් නියම් ගම් නිර්මාණය වූ අයුරෙන්ම, ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන බෞද්ධ සංකල්පය මත වල්පොල ගමද පිහිටා ඇත.

මෙම ගමේ සියයට සියයක්ම (100%) බෞද්ධ ජනතාව ජීවත් වෙති. එහෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලන තන්ත්‍රය තුළ, ගමේ පන්සලේ අධ්‍යාපනය ඔවුන් අතට පත්වීම නිසා, ගමේ දරුවන්ට, බෞද්ධ අධ්‍යාපනයෙන් බැහැරව යාමට සිදුවිය.

ශ්‍රී ලංකාද්වීපයේ ස්වාධිපත්‍ය රැක ගැනීම වෙනුවෙන්, සටන් කිරීම සඳහා, එකල විසූ ජාතික වීරයින්ට ඉදිරිපත්වීම සිදුවිය. ඒ වීරවරයන්ගේ ආභාෂය ලබාගත් අපේ ගමේ නායකයින්, ගමේ බෞද්ධ අධ්‍යාපනය රැක ගැනීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන ලදී. ඒ අනුව ඔවුන් වර්ෂ 1922 දී වල්පොල සංගමය නමින් සංවිධානයක් බිහිකර අධිරාජ්‍යය පාලනය නිසා පන්සලෙන් හා පිරිවෙනෙන් ගිලිහීගිය බෞද්ධ අධ්‍යාපනය නැවත නඟා සිටුවන ලදී. පළාත්වාසී ළමාපරපුර බෞද්ධ අධ්‍යාපනය තුළින් දැහැමි සමාජයක් බිහිකිරීමේ අභිලාශයෙන්, එවකට වල්පොල ශ්‍රී විමලරත්නාරාම මහා විහාරස්ථානයේ වැඩ විසූ අපවත් වී වදාළ හතරලියද්දේ සීලරතන ස්වාමීන් වහන්සේගේ අනුශසකත්වයෙන් වල්පොල සංගම් සමිති ශාලාවේ දී දහම් පාසලක් ආරම්භ කරන ලදී.

එම දහම් පාසලේ අධ්‍යාපනය ලැබූ සිසු දරුවන් වර්ෂ 1928 මාර්තු 11 වෙනිදින සීලරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී බාලාභිවෘද්ධිවර්ධන සමිතිය, 1928 ජූනි 15 වෙනි දිනට යෙදුනු පොසොන් පොහෝ දින ඉතා කුඩා මල්පෙරහරකින් මිහිඳු පෙරහර නමින් සංවිධානය කර එම පෙරහර වල්පොල සංගම් ශාලාභූමියේ සිට වල්පොල දුම්රිය හරස්පාර දක්වා ගමන් කර නැවත වල්පොල ශ්‍රී විමලරත්නාරාම මහා විහාරස්ථානයට ගෙවදින ලදී. මෙම මල්පෙරහර වසරින් වසර දියුණුවට පත්වෙමින් මේ වන විට රාගම වල්පොල ඓතිහාසික පොසොන් මහ පෙරහර නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. පොසොන් පොහෝ දින මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා ධරණීතලය තුළ ප්‍රතිස්ථාපනය කළ ත්‍රිවිධ රත්නය පිළිබිඹු වන අයුරින් ශ්‍රී සධාතුක කරඬුවත්, ශ්‍රී සද්ධර්ම පුස්තකයත්, මිහිඳු මහ රහතන් වහන්සේගේ පිළිරුවත්, වැඩම කරවමින් තුන්සිංහලයම නියෝජනය කරවන ඉපැරණි සංස්කෘතිකාංග මූර්තිමත් කරවන නැටුම් ශිල්පීන් විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන්ද, අලි ඇතුන් විශාල සංඛ්‍යාවක්ද සහභාගි කරවමින්, ඉපැරණි රජ දවස මහ පෙරහර පැවැත්වීමේ දී අනුගමනය කරන ලද සිරිත් විරිත් සියල්ල ඉටුකරවමින් මෙම ඓතිහාසික පොසොන් මහ පෙරහර සහ පොසොන් පූජෝත්සවය ප්‍රදේශයේ සියලු ජනකොටස්වල ආධාරයෙන් හා ශ්‍රී බාලාභිවෘධිවර්ධන සමිතියේ සියලුම සාමාජිකයින්ගේ කැපවීම තුළින් 83 වන වරටත් මෙම මස 14 වෙනි දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.