Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උතුරට වෙසක් සිරිය ගෙන ආ ‘’සාමය සහජීවනය හා විවිධත්වය 2011’’

ප්‍රාර්ථනා මධුවන්ති
නැණ ගුණ වැඩුම: සිසු දිරිය සමාජ (කොළඹ)

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොට ගනිමින් යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම හා අනුරාධපුරය යන දිස්ත්‍රික්කයන්හි පාසල් සිසු සිසුවියන් දස දහසකගේ සහභාගීත්වයෙන් 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විශේෂ වැඩසටහන් මාලාවක් මැයි 18, 19 හා 20 යන දිනයන්හි දී වව්නියාව දෙමළ මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කොට ගනිමින් වව්නියාව නගරයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත් විය. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයක් යටතේ ආරම්භ වූ නැණ ගුණ වැඩුම, සිසු දිරිය ජාතික වැඩසටහනේ සහ ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් හා මාර්ගෝපදේශකත්වයෙන් ‘’සාමය, සහජීවනය හා විවිධත්වය 2011’’ යන තේමාව යටතේ එම විශේෂ වෙසක් වැඩසටහන මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක විය. උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ජී.ඒ. චන්ද්‍රසිරි මැතිතුමන්ගේ අනුග්‍රාහකත්වයෙන්, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා සරසවි මිතුරෝ සංවිධාන දායකත්වයෙන් කටයුතු සංවිධානය කෙරිණි.

‘’සාමය සහජීවනය හා විවිධත්වය 2011’ තේමා කොට ගත් මෙම 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විශේෂ වැඩසටහනට සමගාමීව උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම අධ්‍යාපන කොට්ඨාස, අධ්‍යාපන කලාප හා දිස්ත්‍රික් මට්ටමින් චිත්‍ර, රචනා හා කථික තරග පැවැත් වූ අතර එම සියලු චිත්‍ර එකතු කර 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති චිත්‍ර ප්‍රදර්ශනයක් වව්නියාව දෙමළ මධ්‍ය මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී දින තුන පුරා ප්‍රදර්ශනය කෙරිණි. මැයි 20 වන දින පූජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික හමුවක් ද පැවැත් විය. එදිනම රාත්‍රි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනී මහතාගේ අබා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණි.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.