Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාබිම තායි ශ්‍රී ලංකා බෞද්ධ විහාරය 4 වන දා විවෘත කැරේ

වසර 1800 ක ඉපැරණි තායි -ශ්‍රී ලංකා බෞද්ධ සබඳතාවයට නව අරුතක් එක් කරමින් හෙයියන්තුඩුව මාබිමදී තායිලන්ත විහාරස්ථානය ජුනි මස 04 දා ජනතා අයිතියට පත් කෙරේ.

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ප්‍රධාන මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එම උත්සවයට තායිලන්ත විශේෂ දූත පිරිසක්ද සහභාගි වීමට නියමිතය.

මෙහි විහාරස්ථානය, ධර්ම ශාලාව හා ඝණ්ඨා කුළුණ තායිලන්ත ගෘහ නිර්මාණ ශිල්පයට , කැටයම් කලාවට හා මූර්ති කලාවට නිර්මාණය කර තිබේ.

මෙම මධ්‍යස්ථානය තායි ආධාර යටතේ ඉදි කොට ඇත. ශ්‍රාස්ත්‍රපති රාස්සගල සීවලී හිමියන්ගේ විසිවරක් පුරා තායිලන්තය සමඟ පැවැති සමීපතම සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස මෙම තායි - ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ලබා දීමට තායි රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව පුරා මාස 32 ක් තායි ශිල්පීන් අතින් මෙම සුවිශේෂී විහාරස්ථානය ඉදිකොට ඇත. අක්කර 6 1/2ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම විහාරස්ථානයේ එක විට දහසක් අසුන්ගත හැකි මැද ආවරණ නොමැති විශාල ධර්ම ශාලාවක් පිහිටා තිබේ.

තායි - ශ්‍රී ලංකා සාම්ප්‍රදායික කලා එක් කළ මධ්‍යස්ථානයක් ලෙස මෙය රාස්සගල සීවලී හිමියන් විසින් සකස් කොට ඇත.

ඉතා දුෂ්කර ගමනකින් පසු තායි සබඳතා ගොඩනඟා ගත් සීවලී හිමියෝ තායි රජයේ ආධාර යටතේ මෙම විහාරස්ථානයට අමතරව ශ්‍රී ලංකාවට වරින් වර විවිධ ආධාර ලබා ගත්හ.

ස්වර්ණ ආලේපිත බුදු පිළිම 1000 ක් පාත්තර හත් දහසක්, ඒ අතර වේ. එසේම ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට වඩින හිමිවරුන්ගේ අනුග්‍රාහකත්වයද සීවලි හිමියෝ බොහෝ අවස්ථාවන්හිදී දරා තිබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.