Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වේගිරිකන්ද ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය

ගම්පොළ යුගයේ රජ පැමිණි හතරවැනි බුවනකබාහු රාජ්‍ය සමයට ඥාති සම්බන්ධතා ඇති දර්ශනීය ගල්ගුහා රාශියකින් සමලංකෘත මහනුවර උඩුනුවර වේගිරිය වේගිරිකන්ද ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය දෙස් විදෙස් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසට ධම්මචාරි ජීවිතයකට පහසුකම් සලසන දර්ශනීය පුණ්‍ය භූ®මියකි.

එය මධ්‍යම පළාතට අයත් උඩුනුවර මැතිවරණ බල ප්‍රදේශය නියෝජනය කරණ වේගිරිය වේගිරිකන්ද වත සෙනසුන ලෙස විද්‍යාමාන වේ. දිගු කාලයක සිට වනගත වූ මේ ශුද්ධ භූමිය සොයා 1968 දී පොල්පිටියේ කාශ්‍යප හිමියෝ වැඩම කළහ. එදවස මෙහි පිහිටි දැවැන්ත එක ගල්ලෙනක් කටුමැටි ගැසූ බිත්ති කීපයකින් ආවරණය කැර භාවනා කුටියක ඒ හිමියෝ වැඩ විසූහ. කඳුහෙල් ගල්තලාවන් සහිත වන සිව්පාවන් හා පක්ෂීන් නිරන්තරයෙන්ම සැරිසරණ වනාන්තරයකි. මේ වනාන්තර ආශ්‍රය කැර මිනිස් වාසය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමත් සමඟ භාවනා මධ්‍යස්ථානය ජනපි‍්‍රයත්වයට පත්විය.

පිණ්ඩපාත චාරිකාවේ නිරත වී සිව්පසය සපයා ගත් කාශ්‍යප හිමියෝ කෙරෙහි පැහැදුනු ප්‍රදේශවාසීහු ක්‍රමයෙන් භාවනා මධ්‍යස්ථානය වෙත ළගා වූහ. සිය දායක කාරකාදින්ගේ ආගමික කටයුතු පිළිබඳව අවධානය යොමු කළ ඒ හිමියෝ දානය, පාංශුකූලය, මතක බණ, පිරිත් දේශනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධිපූජා, බුද්ධ පූජා හා භාවනා වැඩසටහන් සැළසුම් සහගතව ඉදිරියට ක්‍රියාත්මක කෙළේය.

අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමිපාණන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස පැවිදි උපසම්පදාව ලත් පොල්පිටියේ කාශ්‍යප හිමියෝ දෙස් විදෙස් බෞද්ධ පිනැතියෝ හමුවේ ගෞරවාදරයට පාත්‍රවූහ.

අනතුරුව මැලේසියාව ඉන්දියාව ඕස්ටේ‍්‍රලියාව, බංගලදේශය තායිලන්තය, මැලේසියාව ආදි විදේශ රටවල ධර්ම චාරිකාවේ නියැලීමෙන් පසුව කීර්තිමත් යතිවරයෙකු බවට පත්වූහ.

විදේශ ගතවීමෙන් අනතුරුව එහි ඇති විශ්ව විද්‍යාලවල ධර්මායතනවල පාසල්වල හා රෝහල්වල පිළිකා රෝගය වැළදී මානසික අසහනයෙන් පසුවුන ලොකු කුඩා රෝගීන්ගේ මානසිකත්වය මැනවින් අධ්‍යයනය කැර රෝග නිවාරණය කිරීම සඳහා අවශ්‍ය කරණ භාවනා වැඩසටහන් ඉතා කෙටි කාලයක් තුළ ජනපි‍්‍රයත්වයට පත් කැර ලීමට ඒහිමියෝ සමත් වූහ. එයින් පසුව පිළිකා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රසාදය ද ලැබූහ.

දෙස් විදෙස් ආගමික සමාජික සේවා ඇගයුමට ලක් කළ සබරගමු පළාතේ අමරපුර සිරි සද්ධම්ම වංශික විහාර පාර්ශ්වයේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති මහා නා හිමියෝ ප්‍රමුඛ කාරක සංඝ සභාව ආනන්ද මෛත්‍රෙය වංසාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී‍්‍ර කම්මට්ඨානාචාර්ය ගෞරවෝපාධිය සහිතව මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පොල්පිටියේ කාශ්‍යප හිමියන් වෙත පිරිනැමූහ.

මෙම පුණ්‍ය භූ®මිය කේන්ද්‍රිය කැරගෙන දෙස් විදෙස් භික්ෂුණීන් (සිල්මාතාවන්) ප්‍රමුඛ කාන්තාවන්ට නේවාසික භාවනානුයෝගි වැඩසටහන් වලට සම්බන්ධවී අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කැරලීම් වස් ජාත්‍යන්තර භික්ෂුණී (මෙහෙණි) ආරාමයක් බිහි කැරලීම විශිෂ්ඨ මෙහෙවරක් වෙති.

වේගිරිකන්ද ශ්‍රී කාශ්‍යප ධර්ම දූත භික්ෂු අධ්‍යාපන ආයතනය විශේෂ ලක්ෂණයන් රැසකින් යුක්තය. දෙස් විදෙස් ධර්ම ප්‍රචාර කටයුතු සඳහා නියැලීමට සුදුසු දැන උගත් භික්ෂු පරපුරක් දායාද කිරීමේ ප්‍රධාන අපේක්ෂාව වේ. ඒ අනුව දැනට ශ්‍රී ලංකාව, බංගලිදේශය, බුරුමය , තායිලන්තය හා ඉන්දියාව නියෝජනය කරන භික්ෂූහු විවිධ භාෂාවන් සහ බුදුදහම අධ්‍යයනය කැරමින් නේවාසිකව වැඩ වෙසෙති.

භික්ෂුවකගේ භික්ෂූත්ව ආරක්ෂා කැර ගැනීම වස් වත්පිළිවෙත් විනය ශික්ෂණය පිළිබඳව පුරුදු ප්‍රගුණ කිරීම ප්‍රධාන අපේක්‍ෂාව වේ.

පළමුව පිණ්ඩපාත චාරිකාවේ නියැලීම උදේ සවස බුදුන් වැදීම භාවනා කිරීම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා පිරිත් දේශනා සඳහා සහභාගිවීම අනිවාර්යවේ.

මෙවැනි උත්තරීතර ශාසනික ආගමික සමාජික මෙහෙවරක නියැලී සිටින උඩුනුවර වේගිරිය වේගිරිකන්ද ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති ඕස්ට්‍රේලියාවේ මැල්බන් නුවර මහ රෝහලේ මනෝ විද්‍යා භාවනා උපදේශක මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක කම්මට්ඨානාචාර්ය ජාත්‍යන්තර ධර්මදූත භික්ෂු පුහුණු ධර්මායතනයේ අධ්‍යක්ෂක පොල්පිටියේ කාශ්‍යප නාහිමියන්ගේ ඊළඟ අපේක්ෂාව මුළු ලෝකයට සාමය උදාවේවා යන අදහසින් යුතුව විශාලතම චෛත්‍යයක් ඉදිකැරලීමයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.