Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැබෑ පිළිවෙත

පිළිවෙත යන්න සිංහලයට බිඳී ඇත්තේ ‘පටිපදා’ යන පාලි වචනයෙනි. පටිපදා යන්න දීර්ඝ විස්තරයක් සැපයිය හැකි වචනයකි. සාමාන්‍යයෙන් පැහැදිලි කරන්නේ නම් බුදුරදුන් වදාළ ශ්‍රී සද්ධර්මයම පටිපදාවකි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයම පටිපදාවකි. හෙවත් පුහුණු කළ යුතු, ගමන් කළ යුතු මාර්ගයකි.

සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට සව් මරුන් පරදවා, සකල ක්ලේශයන් ප්‍රහීණ කොට ලෝකයේ යථා ස්වභාවය තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කරගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයා සම්මා සම්බුදුරජාණන් වහන්සේය. බුදු කෙනෙකුන් ලොව පහළ වන්නේ සව් සතුන්ගේ සිත් සතන් සනසා යහපත උදාකරනු සඳහාය. උතුම් නිවන් මඟ පෙන්වා දෙනු සඳහාය. ඒ නිසා බුදු කෙනෙකුන් ලොව පහළවීම සැපතක් බව “ සුඛෝ බුද්ධානං උප්පාදෝ “ යනුවෙන් සම්බුදු වදනින්ම දේශිතය.

බුදු කෙනෙකුන් උපන් කාලයක උපත ලබා සිටින අපි සැවොම සැබැවින්ම වාසනාවන්තයෝ වෙමු. මන්දයත් එය සසරෙහි ලැබිය හැකි අතිදුර්ලභ අවස්ථාවක් බැවිනි. මෙම වෙසක් පොහෝ දින එළැඹියේ අප බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් සම්බුද්ධත්වයට පත්වීමෙන් 2600 වෙනි වර්ෂයයි. එම අසිරිමත් අවස්ථාව සැමරුමට ලැබීමද සැබැවින්ම වාසනාවකි. මෙම අසිරිමත් සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා ලක්දිව පමණක් නොව ලොව පුරා වෙසෙන සකල බෞද්ධ ජනතාව ඇතුළු බොහෝ පිරිසක් විවිධ උත්සව සංවිධානය කර ඇත.

ඒ අතර ලක්දිව බොහෝ විහාරස්ථාන පාසල් ඉදිරිපිට සහ තවත් බොහෝ ආයතන ඉදිරිපිට “සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු” යනුවෙන් විවිධ මාදිලියේ පෝස්ටර් , බැනර්, කටවුට් තරගයට මෙන් ප්‍රදර්ශනය කොට ඇත. සැබැවින්ම එම වැකිය අර්ථවත්ය. එමෙන්ම වැදගත්ය. එහෙත් අප සලකා බැලිය යුත්තේ සත්‍ය වශයෙන්ම මේ පිළිවෙත යන්න පිළිබඳ, එය ප්‍රදර්ශනය කරන ඇතැම් අයට නිවැරැදි අවබෝධයක් ඇද්ද යන්නයි. බොහෝ අවස්ථාවන්හි අපට වැටහී යන්නේ එය වචනයට පමණක් සීමාවි ඇති බවයි.

ඇතැම් අවස්ථාවන්හි එම වාක්‍යය ඇතුළත් බැනර් වෙළෙද ප්‍රදර්ශන සඳහාද යොදාගෙන ඇත.ඇතැම් අනුග්‍රාහකයන් දෙස බලන විට සැබැවින්ම ඔවුන්ට පිළිවෙතක් තිබේද යන්නද ප්‍රශ්නයකි. සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම මුවාවෙන් සිදු කෙරෙන විවිධ වෙළෙදාම් මෙන්ම ජාවාරම් ද නැතිවා නොවේ. මේ දිනවල කෙරෙන හැම දෙයකටම මුල් කරගන්නේ සම්බුද්ධත්ව ජයන්තියයි.ඇතැම් පිරිසක් මෙය මේ දිනවල අලෙවිවන හොඳම වෙළෙඳ භාණ්ඩය ලෙසට පත්කොටගෙන හමාරය. එය බොහෝ දෙනෙකුට නොතේරන තරමටම අලෙවි වී අවසන්ය. මේ පිළිබඳ අප නැවත සිතිය යුතුය. පිළිවෙතින් පෙළගැසෙමු යන්නට මෙය කොතරම් ගැළැපේද යන්න ගැන යළි යළිත් කල්පනා කළ යුතුය. හුදෙක් මෙහි දී අප බලාපොරොත්තු වන්නේ එම වෙළෙදාම් හා ජාවාරම් ගැන පැවසීමට නොව, පිළිවෙත යන්න කුමක් දැයි පැහැදිලි කර දීමට පමණි.

පිළිවෙත යන්න සිංහලයට බිඳී ඇත්තේ ‘පටිපදා’ යන පාලි වචනයෙනි. පටිපදා යන්න දීර්ඝ විස්තරයක් සැපයිය හැකි වචනයකි. සාමාන්‍යයෙන් පැහැදිලි කරන්නේ නම් බුදුරදුන් වදාළ ශ්‍රී සද්ධර්මයම පටිපදාවකි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයම පටිපදාවකි. හෙවත් පුහුණු කළ යුතු, ගමන් කළ යුතු මාර්ගයකි. මෙය තවත් සරලව පහදන්නේ නම් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නිර්වාණගාමී මාර්ගයේ ගමන් කිරීම හෙවත් ඒ අනුව පිළිපැදීම ආර්ය පිළිවෙතයි (අරියපටිපදා) වචනයෙන් කී පමණින් පිළිවෙත සම්පූර්ණ නොවේ. එය අධ්‍යාත්මය තුළ ඇතිවන්නා වූ පහන් ස්වභාව අනුව තම හදවතින්ම ශීල, සමාධි, ප්‍රඥා යන ශික්‍ෂා මාර්ගය ඔස්සේ ගමන් කිරීමයි.

ශීලය යන්න විවිධ විභේදනයන්ගෙන් යුක්තය. ආර්ය පිළිවෙත අනුව ශීලය විස්තර වන්නේ කයෙහි හා වචනයෙහි ඇති සංවරකම යනුවෙනි. කයෙහි සංවරකම නම්, ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකමින් වෙන්වීම හා කාමයේ වරදවා හැසිරීමෙන් වෙන්වීමයි. එය ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි සම්මා කම්මන්ත ලෙස විස්තර වෙයි. එමෙන්ම වැරැදි දිවි පෙවෙතින් තොරව ධාර්මිකව ජීවත්වීම ද කයෙහි සංවරකම ඇති කරන පිළිවෙතකි. එය ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි සම්මා ආජීව ලෙස විස්තර වෙයි.

වචනයේ සංවරකම නම්, බොරුකීමෙන් වෙන්වීම, කේලාම් කීමෙන් වෙන්වීම, සැඩ ඵරුෂ වචන කීමෙන් වෙන්වීම හා හිස් වචන කීමෙන් වෙන්වීමයි. මෙසේ වූ කල ඇති වන්නේ වචනයෙහි සංවරකමයි. එය ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි සම්මා වාචා ලෙස හඳුන්වයි. මෙසේ වූ කල නිර්වාණගාමී පිළිවෙතෙහි පළමු පියවර වන ශීලය සම්පූර්ණ වෙයි. එයින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි සම්මා කම්මන්ත සම්මාආජීව, හා සම්මා වාචා යන අංග තුන හෙවත් පිළිවෙත් තුන සම්පූර්ණ වේ.

නිර්වාණගාමී මාර්ගයෙහි දෙවන පියවර වන්නේ සමාධියයි. මෙහි දී සමාධිය කොටස් තුනක් ඔස්සේ සාකච්ඡා කළ හැකිය. එනම් යහපත් උත්සාහය, යහපත් සිහිය සහ යහපත් එකඟතාව යන්නයි. අපගේ යහපත් උත්සාහය පැවැතිය යුත්තේ නූපන් අකුසල් නූපදවීමට, උපන් පාප සහගත සිතුවිලි නැතිකිරීමට, නූපන් කුසල් ඉපදවීමට හා උපන් කුසල් වැඩිදියුණු කිරීමටය. එසේ වූ කල මෙලොව ජීවිතයද වඩාත් යහපත් වේ. අකුසල් සිදුවීමට ඇති ඉඩකඩ ඇහිරේ. එය සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අනුගමනය කළ හැකි වැදගත්ම පිළිවෙතයි. යහපත් ලෙස සිහිය පවත්වාගෙන යෑමද වැදගත්ම පිළිවෙතකි. අප කාටත් සිහිය ඇත. සිහිය නැති නම් අප ජීවත් වන්නේද නැත. එහෙත් බොහෝ අයට නැත්තේ එළඹගත් සිහියයි. එනම්, ඒ අවස්ථාවේ ඒ කරන කටයුත්ත පිළිබඳ සිහිය පවත්වාගෙන යෑමේ හැකියාව මඳකමයි. අප දෛනිකව සිදුකරනු කටයුතුවල මනාව සතිමත්ව යෙදිය හැකි නම් යහපත්ව කටයුතු පවත්වාගෙන යා හැකිය.

සිතෙහි එකඟතාව පවත්වාගෙන යෑමද වැදගත්ම පිළිවෙතකි. පුහුදුන් සිත දියෙන් ගොඩට දැමූ මත්ස්‍යයකු මෙන් නිතර චංචලව හැසිරෙයි. මෙබඳු සිතෙහි එකඟතාව පවත්වාගෙන යෑම අසීරු කටයුත්තකි. සෑම දෙයක් පිළිබඳම මධ්‍යස්ථව සිතා උපේක්‍ෂාවෙන් කටයුතු කරන්නේ නම් සිතෙහි එකඟතාව පවත්වාගෙන යා හැකිය. එය භාවනාවෙන් වර්ධනය කළ යුත්තකි.

නිර්වාණගාමි මාර්ගයෙහි තෙවන පියවර හෙවත් පිළිවෙත වන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව අර්ථවත් වන්නේ යහපත් දැක්මෙන් හා යහපත් චින්තනයෙන් යුක්ත වූ විටය. අප පඤ්චේන්ද්‍රියන් තුළින් ගෝචර කර ගන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තුළින් ඇතිවන්නේ ප්‍රපඤ්ච සමුදායකි. ප්‍රපඤ්චයන් වරදවා ගැනීම තුළින් පුද්ගලයා නොමඟට යොමුවේ. මෙහිදී අප යහපත් දැක්මෙන් හා යහපත් චින්තනයෙන් යුක්ත වන්නේ නම් ප්‍රපඤ්චයන් නිවැරැදි ලෙස වටහාගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබේ. යහපත් දැක්ම මධ්‍යම ප්‍රතිපදාවෙහි විස්තර වන්නේ සම්මා දිට්ඨිය යනුවෙනි. එය අවසාන ලෝක යථාර්ථය පිළිබඳ (චතුරාර්ය සත්‍යය) දැකීම දක්වා යොමු වේ.

යහපත් සිතුවිලි හෙවත් සම්මා සංකප්ප යන්න සම්පූර්ණ වන්නේ කාමභෝගී ජීවිතයෙන් වෙන්වීම හෙවත් ලෞකිකත්වයෙන් ඉවත්වීම, ද්වේශයෙන් හෙවත් තරහවෙන් වෙන්වීම හා හිංසාවෙන් තොරවූ විටය. මමත්වය මුල් කොටගෙන අප රැස් කරන බොහෝ දේ කෙළවර වන්නේ දුක් සහගත ස්වභාවයකිනි. එබැවින් අප පුරුදු විය යුත්තේ භෞතික දේ රැස්කිරීමට වඩා ඒවායින් අත්මිදීමටය. එයින් අප සිතට සැහැල්ලුවක්, සැනසීමක් ලැබේ. එය නෙක්ඛම්ම සංකප්ප ලෙස හැඳින්වේ.

බොහෝ ගැටුම් ඇතිවීමට බලපාන්නේ ද්වේශ සහගත බවයි. ආත්මාර්ථය උදෙසා කටයුතු කිරීම ද්වේශ සහගත බවෙහි ලක්ෂණයකි. අන් අයගේ සැපත, දියුණුව නොඉවසීම ද මේ නිසා සිදුවන්නකි. එබැවින් අප, අපේ සිත් ආත්මාර්ථය මෙන්ම පරාර්ථය සඳහාද යොදවන්නේ නම් මෙම ද්වේශ සහගත තත්ත්වයෙන් මිදීමේ ක්‍රමවේදය සකස් කරගත හැකිය.

මෙසේ වූ කල අව්‍යාපාද සංකප්පය සිත තුළ ගොඩනැඟේ. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය උපදවීම හෙවත් හිංසනයෙන් තොරවීම අවිහිංසා සංකප්පය ලෙස හැඳින්වේ. තමා මෙන්ම සෙසු සියලු සතුන් ද තම තමන්ගේ ජීවිතවලට පි‍්‍රයය. හිංසනයට අකැමැතිය. මෙසේ සිතා සව් සතුන් කෙරෙහි මෙත් සිත පැතිරවීම මෙයින් අර්ථවත් කෙරේ.

මේ අනුව බලන විට පිළිවෙත යන්න, වචනයට පමණක් සීමාකළ යුතු නොවන දෙයක් බවත්, එය අපේ ජීවිතවලට සම්බන්ධ කරගෙන වැඩිය යුත්තක් බවත් වටහාගත හැකිය. නිර්වාණගාමී මාර්ගයෙහි ගමන් කිරීමට පිළිවෙත පිළිපැදීම ඉතාම වැදගත්ය. එබැවින් පිළිවෙත යන්න නිවැරැදිව හඳුනාගෙන, නිවැරැදි පිළිවෙතින් පෙළගැසී අර්ථවත් ලෙස, මෙම සම්බුද්ධත්ව ජයන්තිය සමරමු.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.