Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉන්දියාවේ බෞද්ධ උරුමය රැකගැනීමට සුදුසුකම් ඇති භික්‍ෂු පරපුරක් අවශ්‍යයි - අස්ගිරි මහ නාහිමි

ඉන්දියාවේ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමට සහ ධර්ම ප්‍රචාරය සඳහා සුදුසුකම් ඇති භික්‍ෂු පරපුරක් සැදිය යුතු යැයි ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහනාහිමියෝ පැවැසූහ.

එම කටයුත්තේ දී ඉන්දීය රජයේ සහයෝගය ලබා ගැනීම ද ඉතා වැදගත් බව ද මහ නාහිමියෝ පැවැසූහ.

මහනාහිමියන් එසේ පැවසුවේ කොළඹ මහානායක චාරිකාරාමයේදී පැවැති සාකච්ඡාවකදීය.

දඹදිව බුද්ධගයාවේ සාමණේර භික්‍ෂු පුහුණු ආයතනයක් පිහිටුවීම පිළිබඳ එම සාකච්ඡාව පැවැත්විණි.

ඉන්දීය මහා බෝධි සමාගම සහ එහි ප්‍රධාන ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් එරට බෞද්ධ උරුමය රැක ගැනීම සඳහා දරන උත්සාහය අගය කල යුතු බවද මහ නාහිමියෝ පැවැසූහ.

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේදි පැවැති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී ඊට ලක්ෂ ගණන් පිරිස සහභාගි වූ බවත් බොදු වත්පිළිවෙත්හි නිරතවීම සඳහා එම ප්‍රදේශයට භික්‍ෂූන් වහන්සේ ලබා දෙන ලෙස තමන් වහන්සේගෙන්ද ඉල්ලීමක් කළ බවද උන්වහන්සේ පැවැසූහ.

එම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි, ඉන්දියානු මහා බෝධි සමාගමේ මහා ලේකම්, භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි, අකුරැටියේ නන්ද නාහිමි, ආචාර්ය කොටපිටියේ රාහුල හිමි,ගෝනදූවේ ගුණානන්ද හිමි, වටිනාපහ සෝමානන්ද හිමියන් ඇතුළු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.