UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධාකල්ප

උන්වහන්සේ වැළඳූ සේක් මොහොතක් නිශ්ශබ්දව වැඩ සිටිති. අනුමෝදනාවට කල් නොඉක්මවති. වැළඳූසේක් අනුමෝදනා කරති. ඒ බත නොගරහති. අන්බතක් නොපතති. ඒකාන්තයෙන් දැහැමි කතාවෙකින්ම ඒ පිරිසට කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති. උන්වහන්සේ ඒ පිරිස දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා හුනස්නෙන් නැඟී නික්ම යති.

මිථීලා නුවර විසූ බ්‍රහ්මායු නමැති බ්‍රාහ්මණයා ත්‍රිවේද පාරප්‍රාප්තයෙකි. ඔහුට බුදුරදුන් ගැන අසන්නට ලැබිණි. ඔහු බුදුරදුන් නිසැකව හඳුනාගැනීම සඳහා උත්තර නම් මානවකයා බුදුරදුන් වෙත පිටත්කොට හැරියේ උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා ආකල්ප පිරික්සා බැලීමටය. පළමුව බුදුරදුන් දැක දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් හෙබි මහා පුරුෂයකු බව නොවළහා දැනගත් උත්තර මානවකයා සය මසක් තිස්සේ බුදුරදුන් පසුපස යමින් උන්වහන්සේගේ ආකල්ප පරීක්‍ෂා කිරීමෙහි නිරතවිය.

එම ආකල්ප පිරිසිඳ දැනගත් උත්තර මානවක තම ගුරුවරයා මුණගැසී ඒ බව දැනුම් දුන්නේ ය. බ්‍රහ්මායු බමුණා ඉන් පැහැදීමට පත්ව බුදුරදුන් මුණගැසී දහම් අසා බුද්ධශ්‍රාවකත්වය ලැබීය. උත්තර මානවක දුටු බුද්ධාකල්ප මෙසේ ය.

“ඒ ගෞතමයන් වහන්සේ දකුණුපය පෙරට තබාම ගමන් අරඹති. ඉතා නුදුරෙහි පය ඔසවති. ඉතා ළඟ පය නොතබති. ඉතා ඉක්මනින් ද ඉතා සෙමින් ද ගොප් ඇටයෙන් ගොප් ඇටය ස්පර්ශ කරමින් ද නොයති. ගමන් කරන විට කලවය උඩට නොනමති, යටට නොනමති. පය තද කොට නොතබති. රූකඩ මෙන් ඒ මේ අත නොසොල්වති. යන්නා වූ බුදුරදුන්ගේ යටි කයම සැලෙයි. කාය බලයෙන් නොයෙති. ගෙලහරවා නොව මුළු කයම හරවා බලති. උඩ නොබලති. යට නොබලති. අවට බලමින් නොයති. වියදඬු පමණ දුර බලති.

ඇතුළු ගමට පිවිසෙන්නාහු ශරීරය උඩට නොනමති. යටට නොනමති. කය ඒ මේ අතට නොනමති. ඉතා දුරසිට හෝ ඉතා ළඟ සිට අසුනට නොපෙරළෙති. අතින් එල්ලීගෙන අසුනෙහි නොහිඳිති. අසුනෙහි කය බහා නොලති. අත්පා අසංවර ලෙස ක්‍රියා නොකරවති. පය පිට පයලා නොහිඳිති. පතුල් පිට පතුල් තබා (අසුනෙහි) නොහිඳිති. මුහුණ අත්ල මත තබා නොහිඳිති. ඇතුල් ගම උන්නාහු බියට කැලඹීමට වෙව්ලීමට හෝ තැතිගැන්මට පත් නොවෙති.

පාත්‍ර දෝනා දිය පිළිගන්නාහු පාත්‍රය උට නොනමති. යටට නොනමති. ඔබ මොබ නොසොල්වති. උන්වහන්සේ ඉතා ටිකක් නොව බොහෝත් නොව දෝනා දිය පිළිගනිති. ‘බුලු බුලු’ හඬින් පාත්‍රය නොසෝදති. පාත්‍රය පෙරළා නොදොවිති. පාත්‍රය බිම තබා අත් නොසෝදති. දෙඅත් සේදූ කල පාත්‍රය ද සෝදන ලද්දේ වෙයි. පාත්‍රය සෝදන කල දෙඅත් සෝදන ලද්දේ වෙයි.

බුදුහු බත් පිළිගන්නාහු පාත්‍රය උඩට නොනමති. යටට නොනමති. තදකොට නොගනිති. ඒමේ අත නොසොල්වති. ඉතා වැඩිත් නොව මඳත් නොව බත් පිළිගනිති. ව්‍යංජන බතින් සිව් කොටසක් සේ ගනිති. බත් ආලෝපය ව්‍යංජනයෙන් ඉක්මවා නොයයි. දෙතුන් වරක් ආලෝපය මුවෙහි පෙරළා ගිලිති. කිසි භත්ත මජ්ජාවක් (බත් කැබලි) මුවෙහි ඉතිරි නොවෙයි. කිසි භත්ත මජ්ජාවක් නොමුසුවකයට නොවදී. ඉන් පසු අනිත් ආලෝකපයක් එළවති.

බුදුහු රස විඳිමින් අහර වළඳති. රසයෙහි ඇල්මක් සංවේදනය කරමින් නොවළඳිති. අටකරුණෙකින් යුතුව ආහාර වළඳති. ‘ක්‍රීඩා පිණිස නොව මඳයට නොව සැරසීමට නොව අලංකාරවීමට නොව මේ සිරුරෙහි පැවැත්මට, යැපීමට, වෙහෙස සන්සිඳීමට බඹසරට අනුග්‍රහයට හා ‘මෙසේ කුසගිනි වේදනාවත් නසමි, අලුත් බත්මත වේදනාවත් නො උපන්දවමි. මාගේ ජීවිත පැවැත්මත් නිවැරැදි බවත් පහසු විහරණයත් වන්නේය’ යන සිතුවිල්ලෙනි.

වැළඳූ සේක් පාත්‍ර දෝනා දිය පිළිගන්නාහු පාත්‍රය උඩට නොම ඔසවති. යට නොබහති. ඉක්මනින් නොනමති. ඔබ මොබ නොනමති. ඉතා මඳ නොකොට ඉතා බොහෝ නොකොට පාත්‍රය දෝනා දිය පිළිගනිති. පාත්‍රය සේදූ දිය ඉතා ළඟ හා ඉතා දුර නොදමති. විසුරුවමින් නොදමති. වැළඳූ පාත්‍රය ඉතා ළඟ හෝ ඉතා දුර බිම නොතබති. පාත්‍රයෙන් වැඩක් නැත්තක් සේ බැහැර නොතබති.

උන්වහන්සේ වැළඳූ සේක් මොහොතක් නිශ්ශබ්දව වැඩ සිටිති. අනුමෝදනාවට කල් නොඉක්මවති. වැළඳූසේක් අනුමෝදනා කරති. ඒ බත නොගරහති. අන්බතක් නොපතති. ඒකාන්තයෙන් දැහැමි කතාවෙකින්ම ඒ පිරිසට කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති. උන්වහන්සේ ඒ පිරිස දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා හුනස්නෙන් නැඟී නික්ම යති.

බුදුහු ඉතා ඉක්මනින් නොවඩිති. ඉතා සෙමින් නොවඩිති. (පිරිසෙන්) ඉවත්ව යනු කැමැතිව නොවඩිති. බුදුරදුන්ගේ සිවුර (හනු ඇටය දක්වා පොරවනාවුන්ගේ මෙන් උඩට එසවී නොතිබෙයි. (ගොප් ඇටය දක්වා පහත්කොට පොරවනාවුන්ගේ මෙන්) පහතට වැටුණේ නොවේ. ශරීරයෙහි ඇලී නොතිබෙයි. කයින් වෙන් වූයේ ද නොවේ. බුදුරදුන්ගේ කයින් සුළඟ සිවුර නොනඟයි. උන්වහන්සේගේ සිරුරෙහි දූලි නොතැවරෙයි.

එතුමෝ අරමට වැඩ පැන වූ හුනස්නෙහි වැඩ හිඳිති. වැඩ හිඳ පා සෝදති. පා සැරසීමෙහි නො යෙදුනෝ වෙති. පා සෝදා පලක් බැඳ කය සෘජුව තබාගෙන සිහිය පිහිටුවා වැඩ හිඳිති. එතුමෝ තමන්ට දුක් පිණිස නොසිතති. අනුන්ට දුක් පිණිස නොසිතති. තමන්ට හා අනුන්ට දුක්පිණිස නොසිතති. ඒ ගෞතමයන් වහන්සේ ආත්මහිතය ද පරහිතයද සර්වලෝක හිතයද සිතමින් හුන්නාහු වෙති.

උන්වහන්සේ අරමට වැඩම කොට පිරිස්හි දහම් දෙසති. එම පිරිස හුවා ‍ෙනාදක්වති. පිරිහෙළා කතා දෙසති.එම පිරිස හුවා නොදක්වති. පිරිහෙළා කථා නොකරති. ඒකාන්තයෙන් දැහැමි කතාවෙන්ම ඒ පිරිසට කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති. කරුණු අටකින් සමන්විත වූ හඬක් බුදු මුවින් නික්මෙයි. බාධිත නොවූ විඥාය වූ මධුර වූ ඇසිය යුතු වූ සම්පිණ්ඩිත වූ නොවිසිරෙන සුළු වූ ගැඹුරු වූ නින්නාද ඇති අෂ්ටාංගික සමන්තාගත ඝෝෂය නික්මෙයි. බුදුරදුන්ගේ හඬ පැතිරෙන්නේ පිරිස ඇති තරමටය. පිටත (බණ නො අසන) පිරිස හඬ නොපැතිරෙයි. භවත් ගෞතමයන් වහන්සේගේ දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු සතුටට පත් කරවන ලද්දාහු හුනස්නෙන් නැඟී (ඇඳිලි බැඳගෙනම බුදුරදුන් නොපෙනෙන තෙක් බුදුරුව බලමින් නොපෙනෙන තන්හිඳ වැඳ අවිජහත් ස්වභාවයෙන් අපලොකනය කරන්නාහු බැස යති.

වෙසක් පුර  පසළොස්වක පොහොය

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]