UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 බුද්ධාගම ඇදහීම

බුද්ධාගම විමුක්ති මාර්ගයෙකි. විශුද්ධි මාර්ගයෙකි. එය ඇදහීම් මාත්‍රයක් නො වේ. පූජා විධියකුත් නො වේ. එ හෙයින් මෙහි අන්ධ විශ්වාසයක් නැත. බලයෙන් දෙන කිසිවකුත් නැත. නො තේරී පිළිගන්නා දෙයකුත් නැත. තමාගේ මිදීමට දෙවැන්නකුත් වුවමනා නො වේ. තමන් වෙනුවෙන් අයැදීමට පූජකයකුත් වුවමනා නො වේ. තමාගේ පිරිසුදුකම තමා කෙරෙහිය. අපිරිසුදුකමත් තමා කෙරෙහි ය. තමාගේ මොක්‍ෂය තමාගේ උත්සාහයෙන්ම ලබා ගත යුතු ය. පරහට මඟ පමණක් පෙන්වා දිය හැකි ය.

බුදුහු මාර්ග දේශකයෝ වෙති. ධර්මය මාර්ගය වේ. සංඝයා මාර්ගයට පිළිපන් අය ය. බුදුහු කෙලෙස් නසා සසරින් මිදී පිරිසුදු බව ලබා නිවන් පසක් කොට එම නිවනට පැමිණෙන අයුරු දක්වමින් අනුශාසනා කෙරෙති. එහෙයින් උන්වහන්සේට අප ගේ ගෞරවය හිමි වේ. කෙළෙහිගුණ සැලකීමක් වශයෙන් අප හට පින් උදෙසා අපි භක්ත්‍යාදරයෙන් උන්වහන්සේට මලින් පුදමු. අප සතු උතුම්ම දැයින් පුදමු. උන්වහන්සේ අප හමුවෙහි නැති බැවින් එකඟ සිතින් වඳිනු පිණිස සමහරු ධාතු නිදන් කොට චෛත්‍යයන් සෑදුහ.


අතීතයෙන් පිටුවක්

චෛත්‍යයන් සාදා ගරු කිරීමත් හොඳ යි. බොහෝ බෞද්ධ රටවල බුද්ධාගමේ බාහිර ලක්‍ෂණයක් වශයෙන් පෙන්වීමට තිබෙන්නේත් මෙබඳු චෛත්‍යාදිය වේ. දඹදිව සාන්චි ස්තූපය, ලක්දිව රුවන්මැලි සෑය, බුරුමයෙහි ශ්වේදගොන් චෛත්‍යය, ජාවාහි බෝරෝබුදුර් චෛත්‍යය මීට නිදසුන් ය.

එහෙත් ඇතැමෙක් චෛත්‍යයන් සෑදීම ම බුදුදහම කොට තකා ඉඩ ඇති හැම තැන්හි ම සෑයන් තනවා සෑහීමකට පැමිණිය හ. එපමණකින් ම විමුක්තිය බලාපොරොත්තු වූහ. ධාතු පිදීමත් කටයුතු ය. සාධු සම්මත ය. එහෙත් එය ම බුද්ධාගම යයි නොසිතිය යුතු ය. ධාතු පිදීමෙන් පින් ලැබෙන්නාක් මෙන් එබඳු පූජනීය ධාතුන්ගෙන් යුක්ත තත්ත්වයට පැමිණීමට අනුබල ද ලබාගත යුතු බව ඔවුහු නො සිතත්.

සමහරෙක් තමාගේ චපල වූ සිත ඔබනොබ දුවනට නො දී බුදු ගුණ සිහි කරනු පිණිස බුදු රුවට සම කොට ප්‍රතිමා කර ගත්හ. කල් යත් යත් චෛත්‍යයන් මෙන් ම ප්‍රතිමා ද ජාතික කෞතුකකවස්තූ®න් මෙන් සලකන්නට පටන් ගත්හ. වැඳීමෙහි දී එහි අදහස මතක නැතිවී මන්ත්‍ර කියන්නාක් මෙන් තේරුම් නො දැන ගාථා පාලි පාඨ කියන්නට පිළියෙල වූහ.

ඉතිපි සො පාඨ ආදිය කීමෙහි දී සිංහල තේරුමත් සමග කීම වඩා සුදුසු දැයි කල්පනා කර බලනු මැනැවි.

බුදුන් උදෙසා ප්‍රණීත ලෙස ප්‍රශස්ත භාජනවලම තබා බුද්ධ පූජාව පැවැත්වීම මැනැවි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියොත් ඊට දොස් නඟන අටියෙන් පැවැත්වීම නො මැනැවි. පිදේනියක් මෙන් තැබීම බුදු රජාණන් වහන්සේට කරන අගෞරවයෙකි. අති ශ්‍රද්ධාවෙන් කිසි පිළිවෙළක් නොමැතිව ආහාර ගොඩගැසීම සුදුසු දැයි කල්පනා කර බැලීම වටී. ආහාර පූජා කළත් එය වළලන්නටය කියා නියමයක් නැත. කනු කැමැති අසරණයකුට හෝ සතකුට දුන්නාට වරදක් නැත. බුදු ගුණ සිහි කෙරෙමින් ශාන්ත ලෙස බුද්ධ පූජාදිය පැවැත්වීම මැනැවි. ඝණ්ටා රාවයෙන් හා හේවිසි නාදයෙන් යුක්තව නිතොරම “සාධු! සාධු!!” යි හඬ නඟමින් ඝෝෂ සහිත ව පැවැත් වීම නිර්මල බුද්ධාගමට අනුකූල දැයි සිතා බලනු මැනැවි. පූජා පවත්නා අවස්ථාවන්හි සංගීත පැවැත් වීමත්, කළ හැකිතාක් ශබ්ද පැවැත් වීමත් අන්‍ය සමයන්හි චාරිත්‍රයෝ වෙත්. පෙර කල සිට පැවැත එන එබඳු චාරිත්‍ර ඇත්නම් එය විශේෂයෙන් හින්දු ධර්මයෙන් ලැබුණු උරුමයෙකි. හේවිසි නොමැති නම් ධාතූන් වහන්සේ නමක් වැඩම කරවීමට ඇතැම් සංඝයා වහන්සේ ඉඩ නොදෙත්. බුදුන් වහන්සේ සිය නිවෙසට වැඩම කිරීමට ශබ්ද පූජා පැවැත්විය යුතු යයි උන්වහන්සේ වදාරන සේක්දැයි සිතා බැලීම වටී. මුදල් ලබා ගන්නා අටියෙන් හෝ විහාරය දියුණු කර ගන්නා අදහසින් හෝ බුදුරුව ඉදිරියෙහි පින් කැට තැබීම බුදුන් වහන්සේටත් බුද්ධාගමටත් කරන බලවත් අපහාසයකි. සුළු ලාභයක් වෙනුවෙන් ආගමත් ශාස්තෘවරයාත් කැප කිරීම නියම වහන්දෑට හා නියම දායකයනට නො හොබී.

දිනක් ජපන් භික්‍ෂුවක් හා පඬිවරු දෙදෙනෙක් ප්‍රසිද්ධ විහාරයක් බලනට ගොස් එය ශුද්ධ ස්ථානයක් නො ව වෙළෙඳාම් පොළක් ය යි කීහ. අපේ තෘෂ්ණාව නිසා බුද්ධාගම පිළිබඳ මෙ බඳු වැරැදි අදහස් පිට රට වැසියන් තුළ පහළ වීමට ඉඩ තැබීම ශාසනයා ගේ දියුණුවට මහත් බාධාවකි. ශාසනයට කරන මහත් අගෞරවයෙකි. විහාරයට ගොස් පොහෝදිනක නො වූවත් බුදුනට මලින් හා සුවඳින් පිදීම මැනැ වි. එයින් ම ආගම අදහන ලදැයි නො සිතිය යුතු යි. තමාගේ සිත විහාරය කොට දින පතා ගුණ දහම් නමැති මලින් බුදුන් පිදීමට වඩාත් උත්සාහ කළ යුතුයි. ආගම ඇදහීම පොහොය දිනට වත් විහාරයට වත් සීමා නොකළ යුතු ය. ඒ ඒ කටයුතු වලට ගර්භ වෙන් කරන්නාක් මෙන් තමා සතන් තුළ ආගමට විශේෂ ගර්භයක් ;නාදී ආගම නමැති ආලෝකයෙන් ලෞකික කෘත්‍යයන් සම්බන්ධ සියලු ගර්භයන් මනා කොට හෙළි කළ යුතු ය.

බුදුන් වහන්සේ ගේ ධර්මය ද දැන් ශාස්ත්‍රයක් වශයෙන් හැදෑරීමටත් වෙළෙඳ බඩුවක් වශයෙන් පාවිච්චි කිරීමටත් කෞතුක වස්තුවක් වශයෙන් සැලැකීමටත් පුරුදු කටයුතු දෙයක් මෙන් නොව දොහොත් නඟා වැඳිය යුතු දෙයක් මෙන් පමණක් යයි සිතීමටත් පරිවර්තනය වී තිබීම සංවේගයට කරුණෙකි.

ධර්මය හැදෑරීමේ දී අදහසට වඩා වචනයට ගරු කිරීම බුද්ධාගම වැනි විමුක්ති මාර්ගයක් ශාස්ත්‍ර මාර්ගයකට බැසීමේ පූර්ව ලක්‍ෂණයෙකි. ධර්මාර්ථය දැන ගැනීමට භාෂාව මනා කොට දැන ගත යුතු යනු සත්‍යයෙකි. එහෙත් ව්‍යංජනයට නො ව අර්ථයට ප්‍රමුඛ ස්ථානය දිය යුතු ය. මුදල් සපයන්නට ද ධර්මය ආයුධයක් කර ගැනීම ධර්ම බලය අඩු වීමට ප්‍රධාන හේතුවකි. “විහාර කර්මාන්තය සඳහා බණ පින් කමක්” යනු නිතොර අසන්නට ලැබෙන රාවයෙකි. චරිත ශෝධනය පිණිස බණ කියවීම ප්‍රධාන කාරණය නො වේ. බණ ටිකක් කීවත් ඇත. මල් වට්ටිය වෙන්දේසියට හා සම්මාදම් කර ගැනීමට අවසර දිය යුතු ය. අසරණ ජනයා ගෙන් උදුරා ගන්නා ශතයෙන් හෝ මානය හා තරගය දියුණු කොට ලබාගන්නා ගත පහෙන් කරන කවර විහාර ද? කවර ධර්මශාලා ද?

ධර්මය ද දැන් තම තමන්ගේ අදහස්වලට ගැළපෙන ලෙස තේරීමට ඇතැමෙක් වෙහෙස දරත්. ධර්මය තේරුම් ගැනීමට ස්වකීය ඥානය අවශ්‍ය මැයි. එහෙත් තථාගත ධර්මය හෙළි කිරීමේ දී තමාගේ අදහස තමහට තබා බුදුරජාණන් වහන්සේගේ අදහස පෙන්වා දිය යුතු ය. යුරෝපීය ශාස්ත්‍ර මඳක් හදාළ ඇතැම් අය බුද්ධ ධර්මය මැනීමට එබඳු ශාස්ත්‍ර ආයුධ කර ගනිත්. ඊට නොගැළපේ නම් බැහැර කළ යුතුය යි සිතත්. බටහිර ශාස්ත්‍රීය තව ම නැඟිටීමට තැත් කරන ළදරුවකු වශයෙන් යුරෝපීය ශාස්තඥයන් සිතුවත් අප සමහරෙක් සර්වඥ භාෂිතයටත් වඩා ගරු කෙරෙත්. සත්‍යය සත්‍ය මැයි. එහි දෙමුහුණක් නැත. තථාගත ධර්මය සත්‍යයෙකි. ශාස්ත්‍රයෙන් ද සත්‍යය ප්‍රකාශ වෙතොත් සද්ධර්මයෙහිත් ශාස්ත්‍රයෙහිත් සම බවක් ඇති වේ. වර්තමාන ශාස්ත්‍රානුකූල නිගමන දවසක් පාසා වෙනස් වන බව අප මෙනෙහි කළ යුතු ය. තථාගත ධර්මය වූ කලි එසේ කාලයෙන් කාලයට වෙනස් නො වන බව සිතිය යුතු ය. මක්නිසාද? යත් සත්‍යය සර්වකාලික බැවිනි.

අප විසින් රකිනු ලබන ධර්මයේ සත්‍යතාව අපේ ක්‍රියා මාර්ගයෙන් ම පෙන් විය යුතු ය. ධර්මය පිහිටිය යුත්තේ පොතක නො ව තම සන්තානයෙහි ය. ගසේ ස්වභාව එහි වූ එලවලින් ම දැන ගත යුතු ය. එමෙන් ම ආගමක සත්‍යතාව එය පුරුදු කරන්නවුන්ගේ ක්‍රියා කලාපයෙන් අවබෝධ වේ. බණ ඇසීම හෝ දෙසීම පමණක් ප්‍රමාණ නො වේ.

බණ දෙසන අප අතර පවා ජාතියක් හෝ නිකායයක් හෝ පළාතක් හෝ නිමිති කොට ගෙන අසමගිය පවතී නම් බණ දෙසීමෙන් කවර ප්‍රයෝජනයෙක් ද? කලබලයක් නැතිව අසමගියක් නැතිව ආගමික හෝ ජාතික කටයුත්තක් කිරීමට නො හැකි වීම අපට මහත් නින්දාවකි. ගෝත්‍ර වශයෙන් හෝ නිකාය වශයෙන් හෝ නොව සියලු දෙනා ම බෞද්ධයන් වශයෙන් කටයුතු කිරීමට උත්සාහ දරතොත් අපගේ දියුණුව ශීඝ්‍රව අප කරා එනු සැක නැත.

ශ්‍රී ලංකා වාසී බෞද්ධයිනි! මුළු ලොව ඔබ දෙස ඕනෑකමින් බලයි. ලිප්ටන්ගේ තේ වත්තක් යි සිතාත් නො වේ. ඔබ ගේ භූ ගර්භයෙහි පිහිටි අනර්ඝ රත්නයන් නිසාත් නොවේ. ඔබගේ ශූර වීර ධීරයන් නිසාත් නොවේ.

ඔබගේ පණ්ඩිතයන් හෝ විශේෂඥයන් හෝ දේශපාලනඥයන් හෝ ධ්‍යාන ලාභී තවුසන් නිසාත් නො වේ. එසේම කිසි අසාර දෙයක් නිසා ඔබ දෙස නොබලයි. ලෞකික ලාභයක් නිසාත් මහත්මෝ ඔබ දෙස නොබලත්.ඔබතුමන් විසින් හවුරුදු දෙදහස් ගණනක් මුළුල්ලෙහි මනා කොට රැක බලා ගත් පිරිසුදු බුද්ධ ධර්මය නිසා ම උගත් ලෝ වැසි මහත්මෝ ඔබ දෙස සතුටින් බලත්.

එම නිධානය අප විසින් අන්ධයන් මෙන් ආරක්‍ෂා කරනු ලැබේ ද නැතහොත් ඇස් ඇතියවුන් මෙන් ආරක්‍ෂා කරනු ලැබේ දැයි අප ම සිතා බැලිය යුතු ය. පොතින් හා කටින් පමණක් නො ව ක්‍රියාවෙන් එම නිධානය ඹච්මට මේ වෙසඟ පොහො දින පටන්වත් උත්සාහ දැරීම අප හැම දෙනාගේ යුතුකමෙකි.

හැමදෙන හට සුබ වෙසක් මඟුලක් වේවා !!

( බුද්ධාගම ඇදහීම නමැති මේ ලිපිය 1935 වසරේ ‘දිනමිණ’ වෙසක් කලාපයෙන් උපුටා ගන්නා ලද්දකි. )

 

 

වෙසක් පුර  පසළොස්වක පොහොය

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]