UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සය අවුරුදු දුෂ්කර ක්‍රියාව

අනෝමා ගංතෙර අසබඩ අනුපිය නම් අඹ වනයේ සතියක් කල්ගෙවූ සිද්ධාර්ථ තවුස්තෙම නැවතත් එතැනින් තිස් යොදුනක් මග ගෙවා රජගහනුවරට පිවිස පාණ්ඩව පර්වත පාමුල වනයට පිවිස තවුස්දම් පුරමින් දුෂ්කර ක්‍රියා ආරම්භ කළේය. මෙතැන් සිට සිද්ධාර්ථ තාපසයාණෝ ‘කිං සච්ච ගවේෂී’ ව විසූහ.

සුද්ධෝදන හා මහාමායා රාජ දම්පතීන් දෙපළගේ සුජාත පුත්‍රයා ලෙස කිඹුල්වත්පුර නුවර රෝහිණී නම් ගංතෙර පේනතෙක් මානයේ වූ රම්‍ය වූ මාලිගාවක උපන් පින්වත් කුමරා සිද්ධාර්ථ ගෞතම නම් විය.

රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගා තුනක සිතූ® පැතූ සම්පතින් නොඅඩුව හැදුණ වැඩුණ මේ කුමරාට දුකක් යනු කුමක්දැයි සිතින් කෙසේ වෙතත් සිහිනෙකින්වත් නොදැනුනා විය හැකිය.

නමුත් කුමරාට වයස අවුරුදු විසිනවය වෙද්දී මාලිගා සම්පතින් පැනයෑමේ සිතක් පහළ වී අභිනිෂ්ක්‍රමණය සිදුවිය.

සියලු රාජ්‍ය සම්පත් අත්හැර දමා රජ ගෙදරින් නික්මගිය සිද්ධාර්ථ කුමරු රාජධානි තුනක් පසුකර තිස්යොදුනක් මඟ ගෙවා ‘ අනෝමා’ නම් ගංතෙරට පැමිණ තම මඟුල් කඩුවෙන් හිසකෙස් කපා රාජාභරණ සියල්ල මුදා තවුස් වෙස් ගත්තේය.

මෙලෙසින් අනෝමා ගංතෙර අසබඩ අනුපිය නම් අඹ වනයේ සතියක් කල්ගෙවූ සිද්ධාර්ථ තවුස්තෙම නැවතත් එතැනින් තිස් යොදුනක් මග ගෙවා රජගහනුවරට පිවිස පාණ්ඩව පර්වත පාමුල වනයට පිවිස තවුස්දම් පුරමින් දුෂ්කර ක්‍රියා ආරම්භ කළේය. මෙතැන් සිට සිද්ධාර්ථ තාපසයාණෝ ‘කිං සච්ච ගවේෂී’ ව විසූහ.

පසුව රජගහනුවරින් උරුවෙල් දනව්වට පැමිණ එහි ‘සේනානී’ නම් නියම්ගම ඇසුරුකොට නේරංජනා නදී තීරයේ වූ වන ලැහැබට පැමිණ අති දුෂ්කර වූ සය අවුරුුදු දුෂ්කර ක්‍රියාවක නිරත විය. පසුව දුෂ්කර ක්‍රියාවෙන් මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන් සිද්ධාර්ථ තාපසතුමන් වෙසක් පුර පසළොස්වක් පෝදින අලුයම් භාගයේදී උතුම් වූ සම්‍යග් සම්බෝධියට පත්වූ සේක.

මේ මහා වීරකථාවේ සය අවුරුද්දක් පුරා එම මහා වීරයාණන් අත්දුටු දුෂ්කර ක්‍රි‍්‍රයා අප්‍රමාණය. එයින් බිඳක් පමණක් ගෙනහැර පෑම මේ ලිපියේ අරමුණයි. එය බුදුමුවින්ම පැහැදිලි කළ අයුරින් මෙහිලා සඳහන් කරන්නෙමු.

දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කල්හි ජානුස්සෝනි බ්‍රාහ්මණයාට මෙසේ වදාළහ.

‘...ජානුස්සෝනි, මම පසළොස්වක තුදුස්වක අටවක, අමාවක වැනි දිනවල රාත්‍රිකාලවල ගෙයක් දොරක් නොමැති මහා රූස්ස ගස් ඇති අඳුරු තැන්වල තනිවම ඉඳිද්දී ඇඟ කිලිපොළා යන දේවල් දකිනවා. ශබ්ද ඇහෙනවා. නමුත් මං ඒ තැන්වලින් සෙළවුණේවත් නැහැ.

සමහර වෙලාවක මුවෙක් දුවනව. ඒ වෙලාවේ මොනරෙක් ගසක සිට කෝටු කෑල්ලක් බිමට දමනව. සුළං පාරත් කරකැවිල අවුත් බිම තියෙන සේරම කුණු රොඩු කොළ උඩට උස්ස උස්ස ගන්නව.

මේ වෙලාවට මට මහත් බියක් දැනෙනව. නමුත් මං හිත හදාගන්නව. සිටි ඉරියව්වෙන්ම ඉඳල බිය දුරු කරගන්නව. මගෙ ප්‍රතිපත්තියට මුල්තැන දෙනව.

මා සමහර වෙලාවල සක්මන් කරන විට හිතට මහා බියක් එනව. මං ඒ වෙලාවට නිදාගන්න යන්නෙවත් ඉඳගන්න යන්නෙවත් නැතිව සිත ධෛර්ය කරගෙන සක්මනේම යෙදෙනව. ඔය විදියට මං බිය දුරුකරගෙන ප්‍රතිපත්තියට මුල්තැන දෙනව.

මගේ තවත් දුෂ්කර ක්‍රියාවක් තමයි ආහාරවේල ගැන නොතකා ක්‍රියා කිරීම. දින ගණන් ආහාර නොගෙන භාවනා කරනව. එය මට මහත් අමාරුවක් වුණා. පස්සේ මං පවත්ත ඵලභෝජී ජීවිතයක් එනම් බිමට වැටුණ පලතුරක් වැනි දෙයක් ඇහිඳගෙන අනුභව කරමින් සති ගණන් කුසගින්නේ ඉඳීමෙන් භාවනා කළා.

පසුව ඒ ක්‍රමයත් අත්හැර දමල මා වාඩිවී සිටින තැනින් අතදිග හරිනා හරියේ ඵලයක් තිබුණොත් පමණක් අහර වශයෙන් ගනිමින් ආහාර සීමාකොට භාවනාවේ යෙදුණා. මෙමගින් මා කෙලෙස් තැවීමට හුරුවුණා. ඉතින් මේ වගේ ක්‍රියා නිසා මගේ සිරුර ඉතා වෙහෙසටත් පීඩාවටත් පත්වුණා. නමුත් මගේ සිත නොසෙල්වී තියා ගත්තා.

තවත් වරක් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූඨාගාර ශාලාවේදි ‘සච්චක’ හට මෙසේ වදාළ සේක.

......මම මුඛයෙන්ද නැහැයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වාතය යටපත් කොට භාවනාවේ යෙදෙමි. එවිට මගේ දෙකන් සිදුරෙන් වාතය පිටවෙයි. කම්මල් මයිනහමේ හුළං වගේ එතකොට ශබ්ද නගා හුළං කන්දෙකෙන් පිටවෙනව.

මේ වෙලාවට මගේ හිස තියුණු බුරුමයකින් විදින්නාක් වගේ මට දැනෙනවා. ඒත් මේ සියල්ල මම විඳ දරාගත්තා මිසක් උත්සාහය අත්හළේ නැහැ. වරක් මම සක්මන් මළුවක සිහිනැතිව ඇදවැටී තියෙනවා.

‘’ආහාර නොගෙන මං කොච්චර නං කෙට්ටු වුනාද කීවොත් මගේ බඩ පිටට ඇලුණා. බඩ අතගාන කොට පිට අත ගෑවෙන්නෙ.

මගේ කොඳු ඇට පෙළ පබළු වැලක් වගේ මතුවී තිබුණා. අතපය කලුවැල් පුරුක් වගේ පෙනුණා. ඇස්දෙක ළිඳක් පතුලෙ තියෙන තරු දෙකක් වගේ යටට ගිලිල ගිහින් තිබුණා’’.

‘’ශරීරය අතින් පිරිමදිනා විට කුණු වූ මුල් ඇති ලෝම ගස් ගැලවී යනවා. කෙසකිළි වැසිකිළි කිරීමේදී මුළු ශරීරයම වියළී හැකිළී ගොස් තිබුණු නිසා එම අවස්ථාවල මා දුක් උපදවා සිහි මුර්ඡාවි වැටී තිබෙනවා...’’

මේ සිද්ධාර්ථ බෝධිසත්ත්වයින් දුෂ්කර ක්‍රියා පුරන සමයේ තමන්ගේ් අත්දැකීම් සම්බෝධියට පත්වීමෙන් පසුව කියා දුන් ආකාරයයි.

වෙසක් පුර  පසළොස්වක පොහොය

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]