UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය යෙදෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි. මේ උතුම් වෙසක් පොහොය දිනය මුළු ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතාමත් වටිනා උත්තරීතරම දිනයකි. විශේෂයෙන්ම ඔබටත් මටත් මේ උතුම් වෙසක් පොහොය දිනය තරම් වටිනා දවසක් අපගේ ජීවිතවලට තවත් නැහැ.

තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුව හේතු ප්‍රත්‍ය සහිතව හටගත්තාවූ ගහ කොළ, ඇළ දොළ, සතා සිවුපාවුන්, මිනිසුන් ආදී සියල්ල අනිත්‍ය සිද්ධාන්තයට හෙවත් වෙනස්වීමේ නියාමයට යටත්. ඔබගේ ජීවිතයත් මගේ ජීවිතයත් පවත්වාගෙන යාහැකි කාලය කෙතරම්ද කියන එක පිළිබඳව අප කාටවත් පූර්ණ නිගමනයකට පැමිණීමට හැකියාවක් නැහැ. නමුත් මිත්‍යාවෙන් වැසීගිය ලෝකයට සත්‍යය කියා දී මුළාවෙන් යුක්තව ජීවත් වූ ලෝකය එයින් මුදවා ගත් ආත්මාර්ථකාමී කමෙන් පිරුණු ලෝකයට පරාර්ථකාමී කමට මඟ පෙන්වපු, හිංසනය, අකාරුණික බව, ඊර්ෂ්‍යාව වැනි නරක සිතුවිලි වලින් පිරුණු ලෝකයට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව වැනි අති ශ්‍රේෂ්ඨ ගුණධර්ම කියා දුන් තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ සම්බුද්ධත්වයෙන් වසර 2600 ක් සම්පූර්ණ වීම තරම් වටිනා දිනයක් බෞද්ධ ලෝකයාට තිබේද යන්න සැක සහිත කරුණක්.

මේ වටිනා පොහොය දිනයේ මෙත් සිතින් අප යෝජනා කරන්නේ බුදුදහම මත පදනම් වෙච්ච පංච දුස්චරිතයෙන් තොර ශ්‍රේෂ්ඨ බෞද්ධ පවුලක් ඔබගේ නිවස තුළ ගොඩ නගන්නට පටන් ගනිමු කියන එකයි.

ඔබ අද දවසේ ඔබගේ නිවසේ සියලු සාමාජිකයන් එකමුතු වී ඉතා ගැඹුරු අධ්‍යාත්මික සාකච්ඡාවක් කළ යුතුයි. ඉතා ගැඹුරින් කරන ඒ අවංක සාකච්ඡාවේදී එකිනෙකා අතින් බිඳෙන හෝ බිඳී ඇති සික්ෂා පද කවරේ ද යන්න පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබාගත යුතුයි. පවින් වැළකී සිටීමට නම් ඔබේ නිවස තුළ ජීවත් වන්නා වූ එකිනෙකා එකිනෙකාට අධ්‍යාත්මිකව උපකාර කළ යුතුයි. ඒ නිසා පළමුවෙන්ම ඔබගේ පවුලේ සිටින සාමාජිකයන් එකට එකතු වී අවංක, ගැඹුරු සාකච්ඡාවක් සිදු කළ යුතුම වෙනවා. ඇතැම් විට දෙමාපියන් වන ඔබට දරුවන් සමඟ මෙවැනි සාකච්ඡාවක් කිරීම යම් දුරකට දුෂ්කර වන්නට පුළුවන්. නමුත් දරුවන් සමඟ සාකච්ඡාව දෙමාපියන් අනිවාර්යෙන්ම කළ යුතුයි. දෙමාපිය දෙපළ හුදකලාව තම ජීවිත දෙක පිළිබඳව අවංකව කතා කරනවා නම් එය වඩාත් සුදුසුයි. ඇතැම්විට ඔබගෙන් සිද්ධ වූ ඇතැම් වැරදි පිළිබඳව ප්‍රකාශ කරන මොහොතක ඔබගේ දරුවන් එය අසා සිටින විට ඔබගේ පෞරුෂයට හානිකර තත්ත්වයක් උදාවන්නට පුළුවන්. ඒ නිසා ඉතාමත් අවබෝධයෙන් යුක්තව ඔබ දෙපළ තමා පිළිබඳව අධ්‍යාත්මික විවේචනය සිදුකළ යුත්තේ හුදකලාවයි. මොකද යම් ආකාරයකින් ඔබගේ දුසිල්වත් කමක් දරුවන් ඉදිරියේ එළිදරව් වීම ඔබගේ අනාගත පැවැත්මට යම් දුරකට හෝ හානියක් වීමට ඉඩ තිබෙනවා. නමුත් දරුවන් ඉදිරියේ ඔබට ප්‍රකාශ කළ හැකි ඔබෙන් සිද්ධ වූ ඇතැම් වැරදි තිබෙන්නට පුළුවන්. දරුවන්ට යම් ආදර්ශයක් ඔබගෙන් ලබාදීම පිණිස ඔබ දරුවන් ඉදිරියේ නිහතමානීව ඔබගෙන් සිද්ධ වී ඇති බරපතළ නැති වැරැදි කවරේ ද යන්න සඳහන් කර ඒ පිළිබඳව එවැනි වැරැදිවලින් වැළකී සිටින්නට මේ මොහොතේ සිට හැකිනම් ඔබට ඉතාමත් වාසනාවන්ත දෙමාපියන් බවට පත්වීමට පුළුවන්කම ලැබේවි. දරුවන් වන ඔබත් ජීවිතයේ නොයෙකුත් වැරදි අඩුපාඩු සහිතව ජීවත් වෙනවා වෙන්නට පුළුවන්. මේ උතුම් දවස අප හැමදෙනාටම ශ්‍රේෂ්ඨ අධිෂ්ඨානයක් ඇතිව කටයුතු කරන්නට ඉතාම වටිනා දවසක්. මේ උත්තරීතර දිනයේ වාසනාවන්ත දූ දරුවන් අදිටන් කර ගත යුතුයි ඔබ පස් පවින් වැළකී බෞද්ධ දූ දරුවන් බවට පත්වීමට. එය අපට කළ හැකියි.

ඔබෙන් බිඳී ගිය සිල් පද මොනවද කියන එක පිළිබඳව විවෘතව කතා කරන්නට කියලා අප යෝජනා කරන්නෙ ඇයි? එවිටයි අසා සිටින ඔබේ පවුලේ අනෙක් පිරිසට ඔබට ඒ සිල්පදය රැකගන්නට උපකාරවන්නට පුළුවන්කම ලැබෙන්නෙ. සමහරවිට ඔබ, ඔබගෙන් බිඳෙන සිල් පද රැකගන්නේ කෙලෙසක ද යන්න පිළිබඳව කල්පනා කරල ඇති. ඒත් ඊට කිසිම ක්‍රමයක් පිළිබඳව සිතාගන්නට බැරිවෙච්ච ඔබ නැවත නැවතත් ඒ සිල් පදය කඩමින්ම කටයුතු කරන්නට ඇති. ඔබ මොහොතක් කල්පනා කරන්න. ඔබට නොපෙනෙන ඔබේ ජීවිතයේ ඇතැම් ප්‍රශ්න වලට සාර්ථක දැහැමි පිළිතුරක් ඔබ දෙස බලා සිටින, ඔබගේ කතාවට ඇහුම් කන් දෙන තව කෙනෙකුට පෙනෙන්නට පුළුවන්. ඔබේ ප්‍රශ්නයෙන් ගැලවෙන්නට ප්‍රශ්නය ඇතුළෙ සිටින ඔබට වඩා ප්‍රශ්නය දිහා එළියෙ ඉඳල බලන කෙනකුට ක්‍රමයක් පෙනෙන්නට පුළුවන්. ඔබගෙන් බිඳෙන සීලය කුමක් ද කියල එළිදරව් කළහොත් ඒ සීලය බිඳවැටීමට හේතු කවරේ ද යන්න ඉතා පැහැදිලිව අවබෝධ කරගන්නට පවුලේ අයට පුළුවන්. ඒවා හඳුනාගත්තු විට ඒ ඒ හේතු ප්‍රත්‍යවලට පිළිතුරු සොයන එක දුෂ්කර වෙන්නේ නැහැ. ඔබට වටිනා මනුෂ්‍ය ආත්මයක් ලැබිල තියෙනවා. ඒ වගේම තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ඔබට අවස්ථාව තියෙනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මහසගරුවන වෙතිනුත් ඔබගේ පවුලේ සාමාජිකයන් වෙතිනුත් ලබා ගන්නට ඔබට ඕනෑතරම් ඉඩ ප්‍රස්තාව තිබෙනවා. මේ වාසනාව තිබෙන ඔබට අවබෝධය කරා යෑම දුෂ්කර යැයි සිතෙන්නෙ නැහැ. ඔබට අවබෝධය කරා යන්න පුළුවන්. ඔබ අවබෝධය කරා යා යුතුමයි. මේ ආත්ම භවයේදී ඔබ යම් දුරකට හෝ අවබෝධය කරා ගමන් කරල තිබුණත් අවම වශයෙන් ඔබ දුගතිගාමී වෙන එක වළක්වා ගන්නට පුළුවන් ‍ෙව්වි. දුගතිගාමිභාවයට කෙනෙක් පත්වුනෝතින් ඉන් ගැලවීම කොච්චර දුෂ්කර ද කියලා ඔබ දන්නවා. අට මහා නිරයෙන් එකක සතර අපායෙන් එකක ඔබ උත්පත්තිය ලැබුවහොත් නැවත මිනිස් ආත්මයක් ලබාගන්නට කල්ප කාලාන්තරයක් දුක් විඳීන්නට වේවි. මිනිස් ආත්මයක් ලැබීම කැස්බෑවකු වියසිදුරෙන් අහස දකිනවාටත් වඩා ඉතාම දුෂ්කර එකක්. එතරම් දුෂ්කර මිනිස් ආත්මයක් ලබපු ඔබ හැකි උපරිම මට්ටමෙන් උත්සාහවත් වෙලා ජීවිතය අවබෝධය කරා ගෙන යා යුතුයි. පවුලක ජීවත් වන ඔබ හැම කෙනෙක්ම කල්‍යාණ මිත්‍රයන් රෑනක් බවට පත්විය යුතුයි. කෙනකුට තවම නොහැකි වෙලා තියෙන්නේ බොරු කීමෙන් වැළකීම වෙන්නට පුළුවන්. ඔබ හැම දෙනාටම පුළුවන් බොරු කීමෙන් වැළකී සිටින්නට බැරිව ළතවෙන ඔබේම පවුලේ සාමාජිකයාට ඒ වෙනුවෙන් උදව් කරන්නට. ඒ වෙනුවෙන් මග පෙන්වීම් කරන්නට. ඒ පාප කර්මයෙන් ගැලවීමට ඔබ හැම කෙනෙක්ම ඔහුට උපකාර කළ යුතුයි. එවිට තිලෝගුරු බුදුරජාණන් වහන්සේට සැබෑම ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන උත්තරීතර මනුෂ්‍යයෙක් බවට ඔබ පත්වෙයි.

බුදුරජාණන් වහන්සේ ආමිස පූජාව ප්‍රතික්ෂේප කළේ නැහැ. ආමිස පූජාවත් අගය කළා. නමුත් ආමිස පූජාවට වඩා ඉතාම ශ්‍රේෂ්ඨ පූජාව ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වල දුන්නේ උන්වහන්සේගේ ප්‍රතිපත්ති පුරණ එකයි. ප්‍රතිපත්ති පිරුවොත් පමණයි උන්වහන්සේ විඳි උතුම් නිදහස අපට බුක්ති විඳින්නට පුළුවන් වෙන්නේ.

මේ උතුම් වූ වෙසක් පොහොය දිනයේ දුෂ්චරිතයෙන් වැළකීම නමැති පාරමිතාව ඔබේ බෞද්ධ නිවස තුළින් පටන් ගන්න. බෞද්ධ නිවසක පංච දුස්චරිතයෙන් තොර පරිසරයක් තිබේ නම් ඒ ස්ථානයේ ජීවත්වන ඔබට උතුම් වූ දේශයක, උතුම් වූ ප්‍රදේශයක, උතුම් වූ ස්ථානයක ජීවත්වීමට ලැබෙන්නාවූ උතුම් පරිසරය ඔබේ නිවස තුළම උදාකර ගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා.

ඉතා මෙත් සිතින් මා ඔබෙන් ඉල්ලා සිටිනවා මේ උතුම් පොහොය දවසේ ඔබේ නිවස යහපත් තැනක් බවට පත් කර ගන්නට නම් බුදුරජාණන් වහන්සේගේ උතුම් පිළිවෙත් පුරන්නට පටන් ගන්න කියල. අපි එකිනෙකාගේ දුසිල්වත් කමෙන් ගැලවීම උදෙසා කල්‍යාණ මිත්‍රයින් ලෙස මග පෙන්වීමක් සිදුකරමු. එවැනි සීලයකින් ඔබ ඔබේ ප්‍රතිපත්ති පිරීම පටන් ගතහොත් සමාධිය සහ ප්‍රඥාව අත් විඳින එක ඔබට කිසිසේත්ම දුෂ්කර වන්නේ නැහැ. මූලිකව කළයුතු වන්නේ කෙලෙස් වලින් නිදහස් වීමයි. කෙලෙස් යටපත් කර ගැනීමයි. කෙලෙස් යටපත් කරගන්නට අපට උදව් කරන්නේ සීලයයි. සීලයෙන් තොරව කෙලෙස් යටපත් කිරීම දුෂ්කරයි. තාවකාලික වශයෙන් ඔබගේ කෙලෙස් යටපත් කරගතහොත් කාලයාගේ ඇවෑමෙන් දිගු කාලයකට කෙලෙස් යටපත් කරගන්නට ඔබට හැකියාව ලැබේවි.

අද මේ උතුම් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරණ වෙසක් පොහොය දවසෙ ඔබගේ ජීවිතයෙ ඒ ඉදිරි පියවර තබන්නට කියලා ඉතා මෙත් සිතින් ඉල්ලා සිටිනවා. ඔබට ඒ උතුම් වූ මඟ ගමන් කරන්නට ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

සටහන : හේමමාලා රන්දුනු

වෙසක් පුර  පසළොස්වක පොහොය

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]