UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධාගම පිළිබඳ ප්‍රබෝධයේ පුරෝගාමී නගරයක් බවට පත්වූ පානදුර නගරයට ආසන්නයේ පිහිටි වලාන නම් ග්‍රාමයේ එදා 1923 වසරේදී ශ්‍රී විජය සෞගත විද්‍යාලය පිරිවෙන ඇරඹෙන්නේ ආගම ධර්මය පිළිබඳව නිවැරැදි පුළුල් දැනුමක් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේට මෙන්ම ගිහි සමාජයටත් ලබාදීමේ පරම පවිත්‍ර චේතනාව ප්‍රමුඛ කර ගනිමිනි.


විද්‍යාලාධිපති පානදුරේ විජිතනන්ද හිමි

සංස්කෘත භාෂාව පිළිබඳ පඬිවරයකු ලෙස චිර ප්‍රසිද්ධියට පත්ව සිටි වලානේ ශ්‍රී විජයනන්ද අධිකරණ සංඝ නායක වරයාණන් වහන්සේ මෙම පිරිවෙනෙහි මූලාරම්භකයා ය. භාෂා ආගම පිළිබඳ දැන ඉගෙන ගන්නට උන් වහන්සේ වෙත පැමිණෙන ශිෂ්‍ය පිරිස දිනෙන් දින වැඩිවූ බැවින් මෙවැනි අධ්‍යාපනායතනයක් ආරම්භ කිරීමේ අත්‍යවශ්‍යතාවය පැන නගී.

භාෂා ඥාණයෙන් ආඩ්‍ය කුමාරතුංග මුණිදාස පඬිවරයා සමඟ එ දවස වාදයට පැටලෙන බොහෝ පඬිවරුන් පැර ද පසු බසින අවස්ථාවල විජයනන්ද නාහිමි ඉන් ජයග්‍රහණය ලබන්නේ උන්වහන්සේ සතු අප්‍රමාණික දැනුම් සම්භාරයට සහතික සපයමිනි.

ඒ වකවානුවේ ලක් බිමේ තිබුණ පිරිවෙන් අතොලස්ස අතරින් ශ්‍රී විජය සෞගත විද්‍යාල පිරිවෙන වඩාත් ජනප්‍රියත්වයට පත්වන්නේ ද පරිවෙනාධිපති නා හිමියන් පිළිබඳ ඇතිවන විශ්වාසය නිසා ය. ලංකාවේ සතර දිග් භාගයෙන් පිරිවෙන් අධ්‍යාපනය සඳහා පැමිණුනු ශිෂ්‍යයින් නිසා එය තවත් සනාථ වෙයි.

ඌව විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන් මෙන්ම අමරපුර නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අම්බලන්ගොඩ සුමංගල මහා නා හිමියන් ද මෙම අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපනය ලබා ඇත.

1957 වසරේ දී විජයනන්ද නා හිමියන් අපවත් වන අතර ඉන් අනතුරුව උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වූ පණ්ඩිතාචාර්ය මාදුපිටියේ ශ්‍රී මේධානන්ද අනු නා හිමියෝ මෙහි විද්‍යාලාධිපති පදවියට පත් වෙති.

60 – 70 දශකයේ දී චිර ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූ මේධානන්ද හිමියන් ධර්ම දේශනයන් ගුවන් විදුලියෙන් ලංකාව පුරාම විකාශනය වූ අතර උන්වහන්සේට විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාර තුමාගෙන් ද ආරාධනා ලැබෙයි. ඒ නිසා රජ ගෙදර දී පවා ධර්ම දේශනාවන් පැවැත්වීමට උන්වහන්සේට වරප්‍රසාද හිමි විය.

මෙහි විහාර මන්දිරය ඉදිවන්නේ මේධානන්ද අනු නා හිමියන්ගේ යුගයේ දී ය.


චෛත්‍යය හා බුද්ධ මන්දිරය

1989 වසරේ දී අනු නා හිමියන් අපවත් වීමෙන් පසුව නැවත පිරිවෙන ඇරඹෙන්නේ 1993 වසරේදී ය. එතැන් සිට වත්මන දක්වා මෙම අධ්‍යාපනායතනයේ විද්‍යාලාධිපති වශයෙන් කටයුතු කරන්නේ පානදුරේ විජිතනන්ද හිමියන් ය. අක්කර 3 1/2ක පමණ වපසරියක් තුළ වන පිරිවෙන් භූමියේ මේ වනවිට 75 නමක් පමණ ඉගෙනුම ලබන අතර ගරු මණ්ඩලයේ ගිහි පැවිදි එකොළොස් දෙනෙක් පමණ සේවය කරති.

මීට වසර 4 කට පමණ පෙර පහසුකම් සහිත දෙමහල් පිරිවෙන් ශාලාවක් විවෘත විය. එය අධ්‍යාපනයට අවැසි කදිම පසුබිමක් සකසා දී තිබේ.

පරිවෙනාධිපති විජිතනන්ද හිමියන්ගේ වත්මන් යුගයේදී ම ශ්‍රී විජය සෞගත විද්‍යාල පිරිවෙන හා සමගාමීව විහාරස්ථානයේ විශාල අඩුවක් මකමින් චෛත්‍ය රාජයාණන් වහන්සේ ද ගොඩ නැගුණි. 1973 වසරේදී ප්‍රකට ධානපතියකු වූ සිරිල් ද සොයිසා මැතිතුමා විසින් දඹදිව සිට වඩමවාගෙන විත් මෙම පුද බිමට පූජා කළ ආනන්ද බෝධී අංකුරය අද අතු ඉති දළුලමින් වර්ධනය වී විහාරස්ථානයක ඇති සකලාංගයන් ගෙන් පරිපූර්ණවීම මෙන්ම සදැහැති බව වර්ධනය කිරීම සඳහාත් දායක වී තිබේ.

එදා බෝධීන් වහන්සේ වටා පිහිටියේ කුඩා බෝධි ප්‍රාකාරයකි.


පිරිවෙන් අධ්‍යාපනායතනයේ දර්ශනයක්

ශ්‍රී විජය සෞගත විද්‍යාල පිරිවෙන හා සමාන්තර ලෙස අද වර්ධනය වී ඇති විහාරස්ථානයේ අගය අලංකාරය තව තවත් ප්‍රවර්ධනය කිරීම උදෙසා මේ වනවිට ඒ කුඩා බෝධි ප්‍රාකාරය ඉවත් කර අටවිසි බෝධි ඝරයක් ලහි ලහියේ නිර්මාණය වෙමින් පවති යි. ප්‍රදේශයේ දායක පරිත්‍යාග ශීලීන්ගේ ආධාර උපකාර මේ සඳහා ලැබී තිබේ.

ඊට අමතරව බෝධීන් වහන්සේ වටා ඉදිවන අලංකාර රන් වැට සඳහා දායකත්වය සපයා ඇත්තේ ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය, චාන්දනී බණ්ඩාර මහත්මිය සහ ප්‍රියන්ත අබේරත්න මහතාගේ මූල්‍ය ආධාරයෙනි.

මෙය එළඹෙන වෙසක් පුන් පෝ දින විවෘත වෙයි. බෞද්ධාගමික ඥාණාලෝකය, ලක්බිම සතර දිගන්තය පුරා විහිදුවීමට ප්‍රදීපයක් බඳු ශ්‍රී විජය සෞගත විද්‍යාල පිරිවෙන වන් අධ්‍යාපන ආයතන තව තවත් මේ බිමේ ස්ථාපිත විය යුතුව ඇත. එය එසේ විය යුත්තේ ආගමික අධ්‍යාපන ආයතන නිසා ලැබෙන ධර්මය පිළිබඳ ඥාණානය, අවබෝධයෙන් යුතු දැහැමි සමාජයක් ගොඩ නැගීමට අවැසි ප්‍රබල සාධකයක් වන බැවිනි.

 

 

 

වෙසක් පුර  පසළොස්වක පොහොය

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]