UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

“ඇය මූන පා සිටි තත්ත්වය අනුව එය මිනිසත් කම පෙන්විය යුතු හොඳම අවස්ථාවක් බව මට වැටහුණා. අකුසල මූල සිතුවිල්ලකින් මගේ සිත කම්පනයට වත් තිගැස්මටවත් ගොදුරු වුණේ නැහැ. ලොකු හාමුදුරුවනේ සිතෙහි රඳවා ගෙනවත් ආරාමයට ගෙනා කිසිම දෙයක් නැත. ඒ හැම දෙයක්ම මම ගං තෙරදී අත් හළෙමි”.

එක්තරා නගරයකින් ඈත්ව මඳක් කඳු බෑවුම් සහිත වූ සුන්දර පෙදෙසක ගම්මානයක් විය. එහි පිහිටා තිබුණු ආරාමයක ගුරු ගෝල දෙනමක් වැඩ වාසය කරති. එක් පුන් පොහෝ දිනක උන් වහන්සේ දෙනම ආසන්න ගමේ විහාරයක ආගමික කටයුත්තක් සඳහා වඩිති. ගමන් කරන මාර්‍ගය කුඩා අතු ගංගාවක් හරහා වැටී ඇත. ඉකුත් දා සිට වරින් වර වැටෙන වැහි හේතු කොට ගෙන ගං දිය මඳක් වැඩි වී ඇත. එගොඩ වීමට වෙනත් විකල්ප මාර්ගයක් ද නැත. තරමක අසීරුවෙන් ගඟ තරණය කොට දෙනම එගොඩ වූහ.

යන අතරවාරයේ ලොකු හාමුදුරුවෝ සිය ගෝල නම අමතා මෙසේ වදාළහ. “පොඩි හාමුදුරුවනේ මේ ගමේ පිහිටීම අනුව යාම් ඊම් හා අනෙකුත් පහසුකම් අඩුවුනත් ශාසනික ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සුදුසු පරිසරයක් මෙහි තියෙනවා. එය අපට ප්‍රමාණවත්. බුද්ධ පුත්‍රයන් වන අප බලාපොරොත්තු වන්නේ සුව පහසුවෙන් සුඛෝපභෝගීව මහේශාක්‍යව ජීවත් වීම නොවෙයි නේ ? අනලස්ව බණ භාවනාදිය කර ගෙන ශාසනික මෙහෙවර ඉටු කරමින් බුදු හාමුදුරුවෝ වැඩිය මාර්ගයේ ගමන් කොට නිර්වාණාවබෝධය පිණිස කටයුතු කිරීම පමණයි. අප යමක් ලබා ගන්නාවිට අපත් පෙරළා යමක් දිය යුතුයි. හිටි පියෙන් හිටියත් හැම දෙනාට ම එක්තරා මිලක් ගෙවන්න වෙනවා. හිතා බලන විට ඒක තමයි හාමුදුරුවනේ ලෝක ස්වභාවය. ඔබ වහන්සේ ඒ ගැන මැනවින් සිතා කටයුතු කරන්න අවශ්‍යයි. නිරන්තරව සිය ගෝල නම අමතා අනුශාසනා කරන සංඝ ශෝභන ගුණයෙන් යුත් ලොකු හාමුදුරුවෝ වදාළහ.

මෙසේ ගමන් කරමින් ගුරු ගෝල දෙනම යායුතු ස්ථානයට ළඟා වූහ. එහිදී කළයුතු ආගමික කටයුතු සියල්ල යථා පරිදි ඉෂ්ට සිද්ධ කොට සවස පෙරළා වඩින ගමනේ දී යළිත් ගං තෙර අසලට වැඩියහ. දහවලත් වැසි වැටී තිබුණු ආකාරයක් දක්නට ලැබිණි. උදේ වරුවටත් වඩා වතුර වැඩි වී ඇත. අහස පුරා දක්නට ලැබුණු වැහි බර වලාකුළු නිසා හාත්පස අඳුර ද වැඩි වෙමින් පවතී.

කුඩා පැසක් අතින් ගත් සුරූපී කාන්තාවක් තනිවම ගං තෙර අසල රැඳී වුන්නාය. ගඟ තරණය කොට එතෙර වීමට නොහැකි අසීරුතාව පාන්නාක් වැනි හැඟීමක් ඇගේ මුහුණේ රැඳී තිබිණි. ඒ පිළිබඳව තැකීමක් නො කළ ලොකු හාමුදුරුවෝ ගඟට බැස අපහසුවෙන් එතෙර වූහ.

ගඟ අසල තනිව සිටි කාන්තාව දෙස නෙත් යොමු කළ පොඩි හාමුදුරුවෝ මෙසේ විමසූහ. නැඟණිය, අඳුරත් වැටීගෙන එන වැහි බර මේ වෙලාවේ ගං තෙර අසලට වී තනිව සිටීමට හේතුව කුමක් ද?

හාමුදුරුවනේ මගේ මව ඉන්නෙ ගඟෙන් එගොඩ වියපත් ඇය බොහොම බරපතළ ලෙස රෝගාතුර වෙලා. දැන් පසුවෙන්නෙ දැඩි අසාධ්‍ය තත්ත්වයෙන්. ඇය ළඟට මා ඉක්මනින් යා යුතුයි. වහාම ඇයට දිය යුතු බෙහෙත් වගයකුත් අරගෙනයි මා යන්නෙ. ඉතා කනස්සල්ලෙන් හා නො ඉවසිල්ලෙන් මා බලාගෙන ඉන්නෙ ගං වතුර මඳක් බැස ගිය පසු එගොඩ වනතුරු”

නැඟණිය, ඔබේ හදිසි අවශ්‍යතාව මට හොඳටම වැටහෙනවා. මට ඇවතක් සිදු නො වේවා, ගෙන යා යුතු බෙහෙත් වර්ග සුරැකිව තබා ගන්න. මා ඔබේ අතින් අල්ලා ගෙන එගොඩ කරන්නම්” කුමක් කියන්නදැයි ඇයට කිසිම නිනව්වක් නොමැත. ඇය පොඩි හාමුදුරුවන් දෙස ගෞරව සම්ප්‍රයුක්ත බැල්මෙන් නෙත් හෙළුවාය. ගෝල නම කොහිදැයි ලොකු හාමුදුරුවෝ එගොඩ සිට හැරී බැලූහ.

මට මේ පෙනෙන්නේ මායාවක් ද? නැත. එය එසේ වුවත් දකින දසුනකින් කම්පා වී කලබල වීමට තරම් මගේ සිත දුබල නැත. සම්බුද්ධ ධර්මය දකින මම බුදුන් දකිමියි, ලොකු හාමුදුරුවෝ සිත සන්සුන් කරගෙන ඉදිරියට වැඩියහ. පොඩි හාමුදුරුවෝ මෙගොඩට විත් කාන්තාවගේ අත හැර දමා කිසිවක් සිදු නොවූ සේ සිය ආරාමය කරා ගොස් එහි අංගණයට පිවිසෙත්ම ලොකු හාමුදුරුවෝ උකටලී ස්වභාවයෙන් කතා කරන්නට වූහ.

පොඩි නම ඔහොම නවතින්න හොඳයි නො කටයුත්තක් කොට ඔබ ඇවතක් කරගත්තා විතරක් ද?

ළං නො විය යුතු තැනකට ඔබ ළං වූයේ කිනම් දෝෂයකින් ද? තව දුරටත් මේ ආරාමයේ රැඳෙන්න ඔබට කියයුතු යමක් තියෙනවද ?

“ඇය මූන පා සිටි තත්ත්වය අනුව එය මිනිසත් කම පෙන්විය යුතු හොඳම අවස්ථාවක් බව මට වැටහුණා. අකුසල මූල සිතුවිල්ලකින් මගේ සිත කම්පනයට වත් තිගැස්මටවත් ගොදුරු වුණේ නැහැ. ලොකු හාමුදුරුවනේ සිතෙහි රඳවා ගෙනවත් ආරාමයට ගෙනා කිසිම දෙයක් නැත. ඒ හැම දෙයක්ම මම ගං තෙරදී අත් හළෙමි”.

සියල්ල බදා ගත් තැන සසරය
සියල්ල අත් හළ තැන නිවනය
“ඔබ වහන්සේ මට කියා දුන් ඒ බණ පදය මා අකුරට ම පිළිපදිනවා ලොකු හාමුදුරුවනේ”.

නිහැඬියාවෙන් සන්සුන් බවට පසු වූ ලොකු හාමුදුරුවන් වැඳ නමස්කාර කළ පොඩි හාමුදුරුවෝ සිය කුටිය බලා වැඩම කළහ.

(මහායාන බෞද්ධ කතාවක් ඇසුරිනි)

වෙසක් පුර  පසළොස්වක පොහොය

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]