Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දැඩි ලෝභය දුරලමු

බුදු, පසේ බුදු, මහ රහත් යන උතුමන් වහන්සේ හැර ලෝකය තුළ ජීවත්වන ඕනෑම සත්වයෙක් තුළ දැකිය හැකි ප්‍රධාන අකුසල මූලයක් ලෙස ලෝභ මූලික සිත හැඳින්විය හැකිය. එය මනසේ පවතින එක සාමාන්‍ය ස්වභාවයයි. සත්වයා සසරට ඇඳගෙන යන්නේද මෙම දැඩි ලෝභකම සිතේ පවතින බැවිනි. එසේ වුවද, බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ තෘෂ්ණාව මනසේ තිබුණද, එය සීමාව ඉක්මවා තිබීමෙන් හා ඒ අනුව කටයුතු කිරීමෙන් සත්වයාට එතුලින් විනාශය ගෙන දෙන බවයි. එය සත්‍ය බව,අපට නොයෙක් හේතුන් මත නිර්ණය කළ හැකිය.

තණ්හාය ජායතී සොකො - තණ්හාය ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස - නත්ථි සොකො කුතො භයං

තණ්හාව නිසා ශෝකයත් , භයත් හට ගනී. තණ්හාව නැති කළ විට ශෝකයකුත්, බියකුත් නැත, යන අර්ථය ඉහත ගාථා ධර්මයෙන් පැහැදිලි වේ. ලෝභය, රාගය, පේ‍්‍රමය, ආශාව ආදි විවිධ නාමයන්ගෙන් විවිධ සන්දර්භයන්හිදී දැක්වෙනුයේ තණ්හාවමය. ප්‍රධාන වශයෙන් තෘෂ්ණාවේ කොටස් තුනක් පිළිබඳ චතුරාර්ය සත්‍යයයේ දෙවනි සත්‍ය වන සමුදය සත්‍ය තුළින් පෙන්වා දී ඇත. එනම්,

01. කාම තණ්හා
(පස්කම් සැප පිළිබඳ තෘෂ්ණාව)

02. භව තණ්හා
(නැවත නැවත ඉපදීම පිළිබඳ තෘෂ්ණාව)

03. විභව තණ්හා
( නැවත නො ඉපදීම පිළිබඳ තෘෂ්ණාව)

තෘෂ්ණාව වනාහි වේදනාව නිසා ඇති වන්නකි. ඒ තණ්හා වේදනා දෙකෙහිම හේතුව නොදැනීම නොහොත් අවිද්‍යාවයි. ඒ අනුව තෘෂ්ණාව දුක ඇති වීම සඳහා ආසන්න වශයෙන් ක්‍රියා කරන බලවත් හේතුවක් ලෙස ගැනීම වඩාත් යෝග්‍ය වේ.

ලෝකය දුක මත පිහිටියේය යන්න වෙනත් අයුරකින් කිවහොත්, ලොව පිහිටා ඇත්තේ තෘෂ්ණාව මතය. ආත්මාර්ථකාමිත්වය, මමත්වය ,අස්මීමානය, යනාදී නම් වලින් කෙරෙනුයේද, තෘෂ්ණාවෙහිම විවිධ අංශයන් හඳුන්වා දීමකි. මිනිසා අකුසලයට මෙන්ම කුසලයටද , නැඹුරු වන්නේ තෘෂ්ණාව නිසාය. ඒ අනුව දුකෙහි හෙවත් සංසාරික ජීවිතයෙහි හේතුව තෘෂ්ණාව බව වටහා ගත හැකිය.

සෑම දෙනා තුළම තෘෂ්ණාව ඇතත් එය අධිකව තිබීම තුළින් සිදුවන්නේ භෞතික විනාශය පමණක් නොව අධ්‍යාත්මික සැනසීමත් නැතිවී යෑමය. බුදුන් දවස සිටි තොදෙය්‍ය, ඉල්ලීස, ආනන්ද වැනි සිටුවරුන්ගේ ජීවිත කතා තුළින් පැහැදිලි වන්නේ කිසි දිනක සතුටු ජීවිතයක් ගත කර නොතිබීම බවත්, සතුටක් ලැබුවා නම් ඒ ධර්මය තුළින් පමණක් බවත්ය. මොන තරම් ධන සම්පත් තිබුණත්, මානසික තෘප්තියක් , සතුටක් නැත්නම් එම ජීවිතයෙන් ප්‍රයෝජනයක් නැත. “ සන්තුට්ඨී පරමං ධනං” යනුවෙන් දේශනා කළේ සතුට උතුම්ම ධනය බවයි.

සමහර පුද්ගලයින්ට හරකා බාන, වතුපිටි, ඉඩ කඩම්, යාන වාහන ප්‍රමාණයටත් වඩා තිබුණත් නොකා නොබී තවත් ඒ මතම ගැටී ඇලී ඒවා රැස් කිරීමට උත්සාහ කිරීම මොනතරම් සෝචනීයද? “ නොකා නොබී වස්තුව සරි කරන්නේ සදා කල්ම ලොව ඉන්නයි බලන්නේ” උදේ හවහා වස්තු සම්පත්ම රැස් කරන්නේ හරියට නොමැරෙන මිනිසුන් වගේ, ආහාරපාන වත් නොගෙනයි, එසේ ලෝභකමික් ධනය රැස් කර, ඒවා බැංකු වල තැන්පත්කොට, අන්තිමට තමන් මිය ගියාට පසු වෙනත් කෙනෙකුට එම ධන සම්පත් හිමිවන අවස්ථාද දැක ගත හැකිය.

ඇයි මේ තරම් මිනිසුන් තෘෂ්ණාව මතම ඇලී ගැලී ජීවිතය ගෙවන්නේ? සංසාරේ ඇති බිහිසුනු බව නොදැන නැවත ආත්ම භාවවල දුක් විදින්න සිදු වන බව නොදැන මේ යන ගමන කොතැනටද? මොහොතක් හිතන්න. දැඩි තෘෂ්ණාව නිසා අනුන්ගේ ජීවිතය පවා විනාශ කිරීමට උත්සාහ කරන බව. එයට හොඳම උදාහරණයක් ලෙස අසාත්මන්ත්‍ර ජාතක කථාව පෙන්වා දිය හැකිය.

තක්ෂිලා නුවර දිසාපාමොක් ආචාර්යවරයා දක්‍ෂ සුප්‍රකට ආචාර්යවරයෙක් ලෙස නම් දරා සිටියේය. එතුමා ලඟට විවිධ ප්‍රදේශ වලින් නොයෙක් ශිෂ්‍යයින් අධ්‍යාපනය ලැබීම සඳහා ආවේය. දිසාපාමොක් ඇදුරුතුමා සියලු නවාතැන් පහසුකම් තම නිවසේම ලබා දෙමින් එම ශිෂ්‍යයින්ට අධ්‍යාපනය ලබා දෙන්නේය. එසේ අධ්‍යාපනය හැදෑරු ශිෂ්‍යයින් අතර එක් ශිෂ්‍යයෙක් තම අධ්‍යාපන කටයුතු අවසන් කර දිසාපාමොක් ඇදුරුතුමාගෙන් නිවස බලා යන්නට අවසර පැතීය. එවිට දිසාපාමොක් ඇදුරුතුමා ඔබ ආසාත මන්ත්‍රය දන්නේද? යනුවෙන් ප්‍රශ්න කළේය. එය නොදන්නා බව ප්‍රකාශ කළ පසු ඒකත් ඉගෙනගෙනම නිවසට යන්න කියා මතක් කළේය.

ඒ වන විට දිසාපාමොක් ආචාර්යවරයාගේ මව ඇස් දෙක අන්ධව පසු වූ වයෝවෘද්ධ මවක් විය.ඇයට උපස්ථාන කිරීමට අර ශිෂ්‍යයාට පවරන ලදී. එම ශිෂ්‍යායාද, දිනපතා බේත් හේත්, ආහාර පානාදිය, නෑවීම් ආදි කටයුතු කළේය.

මෙසේ උපස්ථාන ලබන අර අන්ධ මව අර ශිෂ්‍යයාගේ සුරත දිනපතා ස්පර්ශ වීම් හේතුකොට ගෙන රාග සිතක් ඇති කර ගත්තේය. එසේ සිතා මගේ පුතා සිටින නිසා තම සිතුම් පැතුම් ඉටු කරගන්නට බැරි බව දැන පුතාව මැරීමට උපක්‍රමයක් සිතුවේය.

මෙසේ අර ශිෂ්‍යයාගෙන් ස්පර්ශය ලබන අදහසින් තම පුතු වන දිසාපාමොක් ඇඳුරුතුමා මැරීමට තීරණය කළේය. එසේ සිතා තම ඇඳ ලඟ ඉඳන් දිසාපාමොක් ඇදුරුතුමා නිදන ඇඳ ළඟට ලනුවක් ඇද, රාත්‍රි කාලයේදි අර ලණුව අල්ල අල්ලා ගොස් පොරෝ තලයකින් පුතාව කොටා මැරීමේ අදහස ඇතිව එය සූදානම් කරගෙන සංවිධානය විය. මෙය දැනගත් දිසාපාමොක් ඇඳුරා තමන් නිදන ඇඳෙ කොස් කොටයක් තබා එදා රාත්‍රියෙහි නොනිදා ඒ සිදුවීම බලා සිටියේය. එදා රාත්‍රි‍්‍රකාලයේ මව අර ලණුවෙන් අල්ල අල්ලා ( ඇස් නොපෙනෙන නිසා) දිසාපාමොක් ඇදුරු තුමාගේ ඇද ලගට ඇවිත්, අර පොරෝ ‍තලයෙන් ඇඳට කෙටුවේය. දිසාපාමොක් ඇදුරුතුමා ඇදේ නොසිටි නිසා කොස් කොටයට පොරෝ පාර වැදුණි. පසුව දිසාපාමොක් ඇදුරුතුමා මව්නි, කුමක්ද ඒ ක‍ෙළ්? කියා ප්‍රශ්න කලාට පසු ඒ මවට ලැජ්ජාවක් ඇති විය.

මෙම කථා පුවතින් පැහැදිලි වන්නේ තෘෂ්ණාව දැඩිව තිබීම හේතුවෙන් තම පුත් වුවද, විනාශ කිරීමට පෙළඹෙන ආකාරයයි. ඒ තරමටම රාගය බලවත්ය. එහි විශේෂත්වය වන්නේ තෘෂ්ණාව ඇතිවී, ඒ තුළින් තම අරමුණු ඉෂ්ඨ සිද්ධ නොවුනොත් ද්වේෂයද ඇතිවී, එම ද්වේෂය නිසා මෝඩ ක්‍රියා කිරීමටද සත්වයා පෙළඹෙන බවයි. ඒ අනුව තෘෂ්ණාව එම අකුසල මූල සියල්ලටම හේතු වන මූල බීජය ලෙස දැක්වීමට පුලුවන.

තෘෂ්ණාව නිසා සමාජය තුළ වුවද, තමන්ගේ ආර්ථිකය විනාශ කරගන්නා අයුරු දැක ගත හැකිය. සමහර අය දැඩි ලෝභකම නිසා තියෙන මුදල් යොදවා කවුරුන් හෝ වංචාකාරයෙකුට අසු වී,අන්තිමට තිබුන මුදලත් නැති කරගෙන, ලොකු පාඩුවක් සිදුකරගෙන, දුක් වන අයුරු දැක ගත හැකිය.

එසේ වන්නේ, පුද්ගලයින් කවදාවත් ලද දෙයින් සතුටු නොවීම හේතුවෙනි. ඔවුනට කවදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙලොව සතුටු විය හැකි කරුණු හතරක් වන අත්ථී සුඛ, භෝග සුඛ, අණන සුඛ, අනවජ්ජ සුඛ කියන්නා වූ සැප හතර ලැබීමට පුලුවන් කමක් නැත. එම සැප හතර ලැබීමට නම් දැඩි තෘෂ්ණාව නැති කරගත යුතුය. මිල මුදල් වස්තු පසු පස හඹා යන එක නතර කොට, ධාර්මික දිවිපවෙතකින් එදිනෙදා සැහැල්ලු ජීවිතයක් ගත කරමින්, යුතුකම්ද, ඉටු කරමින් , ගෙවන ජීවිතයකට පමණක් ඉහත සඳහන් කළ සැප හතර ලැබීමට පුලුවන්කමක් ඇත.

දැඩි ලෝභකම ඇති පුද්ගලයා නිරන්තරයෙන්ම අසතුටින් ජීවත් වන්නේය. ඔහුගේ එම අතෘප්තිකර බව අන්‍යයන්ටද කරදරයක් පිණිස පවතිනවාට කිසිදු සැකයක් නැත. එම නිසා සමාජයේ ජීවත් වන කළ දැඩි ලෝභකම නැති කර ගැනීම කාගේත් සුබ සිද්ධිය පිණිස හේතු වන්නේය. අප කිසිම කෙනෙක් මිය යන විට අඹමල් රේණුවක තරම් දෙයක්වත් ගෙනියන්නේ නැත. පින් පව් දෙක පමණක් අප පසු පස්සේ ගමන් කරනු ඇත.

එයිනුත් පව් ගෙනයෑම සසර දුක් විදීමට හේතු වන බැවින්, පින් රැස් කර ගැනීම වැදගත් වන්නේය. ඒ සඳහා දැඩි ලෝභකම දුරලා සොයන ධන සම්පත් තම ප්‍රයෝජනයටත් ගෙන, දුගී මගී යාචකාදි අන්ත අසරණ අය වෙනුවෙනුත් පිහිට වී, සමාජයේ පොදු කටයුතු සඳහාත් යොදවමින්, ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කර ගැනීම සඳහා දන්පින් සිදු කරගැනීමත් කළ යුතුය.

තමන්ට පුලුවන් ආකාරයෙන් පින් දම් රැස්කර ගනිමින්, සසර ගමන වාසනාවන්ත කර ගැනීමත් තමන්ට සැප පිණිස හේතුවේ. දැඩි ලෝභකම දුරලා මෙලොව පරලොව සුවබර ජිවිතයක් ගතකොට අවසන උතුම් නිවන් සැපතත් ලබා ගැනීමට අධිෂ්ඨාන කර ගන්න.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.