Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මල්වතු - අස්ගිරි මහා විහාරයීය උපසම්පදා පුණ්‍යෝත්සව මංගල්‍යය

මල්වතු අස්ගිරි මහා විහාරයීය උපසම්පදා පුණ්‍යෝත්සවය මැයි 17 වෙනිදාට යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝය දිනයෙන් ආරම්භ කර ජූනි 15 වන දිනට යෙදෙන පොසොන් පසළොස්වක පෝය දිනයෙන් අවසන් කෙරේ. මැයි 17, මැයි 24, ජූනි 04, ජූනි 09, ජූනි 15 යන පෝය දිනවල (වෙසක්, පොසොන් පෝය දිනයන් ඇතුළත්ව) උපසම්පදා පෙරහර සහිතවද සෙසු දිනවල පෙරහර රහිතවද උපසම්පදා විනය කර්ම කටයුතු මල්වතු අස්ගිරි මහා විහාරයන්හි ඓතිහාසික උපෝෂථාගාරයන්හි සිදු කෙරේ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක උඩුගම සද්ධර්ම කීරිති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මාහිමිපාණන් වහන්සේලා දෙනම විසින් ශාසන ගෞරවයෙන් මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශ්වයන්හි මහා සංඝරත්නය වෙත නිකුත් කර ඇති නිවේදන වලින් මෙසේද දක්වා ඇත.

උපසම්පදාපේක්‍ෂකයින් පළාතේ නායක තෙරුන්ගේ හෝ පිරිවෙන් ශිෂ්‍යයෙක් නම් පරිවෙනාධිපතින් වහන්සේගෙන් ද ගුරුවරුන් විහාරස්ථානය සහ ඉගෙනීම පිළිබඳ විස්තර සහතික, ලියුම් සහ උප්පැන්න සහතික ද ඇතිව පැවිදි කළ ගුරුවරුන් සමග පැමිණිය යුතු බවත් සාමණේර තැන නමත් උපන්දිනය සම්මත පරිදි වාවෝද්ගත කරන ලද සාමණේර බණ දහම් ආදිය පිළිබඳ විස්තරත් ගුරුවරයා හෝ ගුරුවරුන්ගේ නමුත් විහාරස්ථානයේ ලිපිනයත්, දිස්ත්‍රික්කයන් ඉදිරිපත් කරන ලෙසත් විහාර පාර්ශ්වයන්හි සියලුම භික්‍ෂූන් වහන්සේලා වෙත ඒ ඒ පළාත්වල නායක ස්වාමීන් වහන්සේලා විසින් දන්වා සිටිය යුතු බවද ප්‍රකාශ කර ඇත.

පෝය දිනයන්හි වානල නාග නාමයෙන් උපසම්පදාව ලබන සාමණේරයන් වහන්සේලා ශ්‍රී දළදා මාලිගාවේ සිට මල්වතු අස්ගිරි මහා විහාර වෙත උපසම්පදා පෙරහරෙන් වැඩමවාගෙන යනු ලබන අතර උපසම්පදා අපේක්‍ෂක සාමණේරයන් වහන්සේලා මහානායක මාහිමිවරුන්ගේ උපාධ්‍යායෙන් සිදු කෙරේ. මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ, විජිතසිරි අනුනාහිමි, දිඹුල්කුඹුරේ විමල ධම්ම නාහිමිවරුන් ප්‍රධාන උපාධ්‍යයන් වහන්සේලා උපසම්පදා විනය කර්ම කටයුතු වලත් ලේඛකාධිකාරී වල් ගොවිවාගොඩ විමලධම්ම නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුනේ සුමංගල හිමිවරු ලේඛන කටයුතුවලත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම අර්ථදස්සී නාහිමියන් ප්‍රධාන උපාධ්‍යායන් වහන්සේලා සමග ලේඛකාධිකාරී ආනමඩුවේ ධම්ම දස්සි නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි මහාවිභාර පරිවෙනාධිපති නාරන්පනාවේ ආනන්ද හිමිවරු අස්ගිරි මහා විහාර උපසම්පදා කටයුතු වල නිරත වෙති. ජූලි 14 වන දා පෙරවස් එළඹීමද අගෝස්තු 13 වනදා පසුවස් එළඹීමද ඔක්තෝම්බර් 11 වන දා පෙරවස් පවාරණය නොවැම්බර් 10 වනදා පසුවස් පවාරණය යෙදෙන බව එම නිවේදනයන්හි සඳහන්ව ඇත.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.