Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 පාත්‍රය පරිහරණයෙන් දුරස් වෙයි ද ?

බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ පාත්‍ර ධාතුන් වහන්සේ ලක්දිවට වැඩමවීම පිළිබඳ ඓතිහාසික තොරතුරු සඳහන් වේ. තුන්වන ධර්ම සංගායනාවෙන් පසු අපට ලැබුණ වන්දනීය, පූජනීය වස්තුවක් වශයෙන් එම පාත්‍ර ධාතුන් වහන්සේ හැඳින්විය හැකිය. ධර්මාශෝක මහ රජු එම උතුම් කටයුත්ත සිදු කර දුන් ආකාරය ඉතිහාස ගතය.

පාත්‍රයේ ඉතිහාසය වසර දෙදහස් පන්සියයකටත් වඩා ඈතට දිවෙන බව පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන යුගයට පෙර සමහර තාපසයන්, නිගණ්ඨයන්, පාත්‍රය වෙනුවට හිස් කබල භාවිත කර ඇති බැව් සඳහන් වේ. එසේ වුවද එය එතරම් උසස් ක්‍රියාවක් නොවන බව කාටත් පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් පාත්‍ර පරිහරණය ඊට හාත්පසින්ම වෙනස්ය. බුදු සමයට අනුව පාත්‍ර භාවිතයෙහි ඉතිහාසය පිළිබඳ කරුණු ගවේෂණය කිරීමේදී එහි විනයගරුක බව හා අර්ථාන්විත බව මනාව පැහැදිලි වේ.

අටපිරිකරට අයත් අංගයක් වශයෙන් පාත්‍රය ඉතා ප්‍රකටය. අටපිරිකරෙහි ඉතිහාසය ගත් කල සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය අතහැර කළ අභිනිෂ්ක්‍රමයත් සමඟ පාත්‍රය සම්බන්ධ වන ආකාරය දැකිය හැකිය. සිද්ධාර්ථ කුමාරයා සසර කළකිරී ගිහි සැප අත්හැර , පැවිදි වීමට සිතා ඡන්න ඇමැති සමඟ, කන්ථක අසු පිටින් නික්මුණේ ඇසළ පුනුපොහෝ දිනයකයි. අනෝමා ගංතෙරින් එතෙර වූ සිදුහත් කුමරාට පැවිදි වීමට අවශ්‍ය අටපිරිකර ඒ අවස්ථාවෙහි පූජා කළේ ගඨීකාර මහා බ්‍රහ්මයා බව බෞද්ධ ඉතිහාසයෙහි සඳහන් වේ.

මහා බ්‍රහ්මයා ලබා දුන් එම අටපිරිකර තුළ තිබූ පාත්‍රය බෝසතාණන් වහන්සේ විසින් එතැන් පටන් දුෂ්කර ක්‍රියා කරන සමය තුළ දීද පරිහරණය කරන ලදී. එසේ වුවද බෝසතාණන් වහන්සේට සුජාතා සිටු දියණියගේ කිරි පිඬු පිළිගැනීමට එම පාත්‍රය නොතිබිණ. එයට හේතුව එම පාත්‍රය අන්තර්ධාන වීමය.

එසේ වූ කල සුජාතා සිටු දියණිය රන් තලියක, නැතහොත් පාත්‍රයක කිරිපිඬු පිළිගැන් වූවාය. බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේ ඒකාන්තයෙන් බුද්ධත්වය ලබන්නේ නම් මෙම පාත්‍රය උඩුගං බලා යේවා යැයි කළ ප්‍රාර්ථනාවට අනුව එම පාත්‍රය නේරංජනා නදියෙහි උඩු ගං බලා ගියේය.

පසුව බුදුරජාණන් වහන්සේගේ චරිතයෙහි අපට හමු වන්නේ සත් සතිය ගත කරන අවස්ථාවෙහි පාත්‍රය හා සම්බන්ධ සිදුවීමකි. බුදුරජාණන් වහන්සේ රාජායතනයෙහි වැඩ වසන කල තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයෝ විලද මී පිඬු පිළිගැන්වීමට බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණියහ. එම අවස්ථාවේදී උන්වහන්සේ ළඟ පාත්‍රයක් නොතිබුණි.

නමුදු බුදුවරුන් තම හස්තයට ආහාර නොපිළිගන්නා බැවින් උන්වහන්සේ මම කුමකින් විලද මී පිඩු පිළිගන්නෙම් දැයි සිතූහ. මෙම සිතුවිල්ල දුටු දෘතරාෂ්ඨ, විරූඨ, විරූපාක්‍ෂ, වෛශ්‍රමණ යන සතර වරම් දෙවිවරු බුදුරජාණන් වහන්සේට විලඳ මී පිඬු පිළිගැනීමට පාත්‍ර සතරක් සතර දෙසින් රැගෙන ආහ. බුදුරජාණන් වහන්සේද එම දෙවිවරුන්ගේ ප්‍රසාදය ද රැකිය යුතු බැවින් පාත්‍ර සතරම පිළිගෙන එම සතරම එකක් වේවා කියා අධිෂ්ඨාන කිරීමෙන් එම පාත්‍ර සතර එක් පාත්‍රයක් බවට පත්විය. එතැන් පටන් බුදුරජාණන් වහන්සේ ගෙවූ අවුරුදු හතලිස් පහම පිඩු පිණිස පරිහරණය කරන ලද්දේ එම පාත්‍රයයි.

බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ පාත්‍ර ධාතුන් වහන්සේ ලක්දිවට වැඩමවීම පිළිබඳ ඓතිහාසික තොරතුරු සඳහන් වේ. තුන්වන ධර්ම සංගායනාවෙන් පසු අපට ලැබුණ වන්දනීය පූජනීය වස්තුවක් වශයෙන් එම පාත්‍ර ධාතුන් වහන්සේ හැඳින්විය හැකිය. ධර්මාශෝක මහ රජු එම උතුම් කටයුත්ත සිදු කර දුන් ආකාරය ඉතිහාස ගතය.

එවකට ලක්දිව රජකළ දේවානම්පියතිස්ස රජතුමාගේ ඉල්ලීමකට අනුව මිහිදු මහරතන් වහන්සේ තම බෑණා වූ සුමන සාමණේරයන් අමතා පැලලුප් නුවරට ගොස් තොපගේ මුත්තණුවන්ට මේ කාරණය දන්වන ලෙස මතක් කර ඔහු ඉන්දියාවට පිටත් කළහ. පසුව ධර්මාශෝක රජතුමා මහත් සතුටට පත්වී බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ එම උතුම් පාත්‍ර ධාතුව ලක්දිවට එවීය.

පසුව දෙවනපෑතිස් රජතුමා විසින් එම පාත්‍ර ධාතුන් වහන්සේ රජ මාලිගාවෙහිම තබා විවිධ අයුරින් පූජෝපහාර දක්වන ලදී. යුගයෙන් යුගය විවිධ රජවරුන්ගේ අතට පත්වූ එම උතුම් පූජනීය වස්තුව ඔවුහු පණ මෙන් ආරක්ෂා කරමින් පූජා සත්කාර පැවැත්වූහ. මහාවංශයේ තොරතුරුවලට අනුව පාත්‍ර ධාතුන් වහන්සේ යුගයෙන් යුගය රාජධානි වෙනස්වීමත් සමඟ තැනින් තැනට වැඩමවාගෙන ගිය ආකාරයත් සමහර තැනකදී විවිධ අතුරු අන්තරායන්ට මුහුණ දෙන්නට සිදුවූ ආකාරයත් සඳහන් වේ. පරසතුරන්ගේ ග්‍රහණයට ද හසු වූ එම උතුම් පූජනීය වස්තුව සමහර තැන්වලදී අතුරුදන් වී ඇත. ශ්‍රී සංඝබෝධි පරම්පරාවට අයත් වීර වික්‍රම නම් වූ කුමාරයා සෙංකඩගල සිරිවඩ්ඩන පුරයෙහි රාජ්‍යයට පත්වීමෙන් පසු පාත්‍ර ධාතුන් වහන්සේ තැන්පත් කර චෛත්‍යයක් කරවූ බව සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේට බුදුවීමට උපකාර වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී‍්‍ර ලංකාවට වැඩම කරවන ලද්දේ ද රන් පාත්‍රයක් තුළ බහා තැන්පත් කරගෙනයි. අද වුවද බහුල වශයෙන් බෝධීන් වහන්සේ කුඩා අවධියෙහි විහාරස්ථානවලට වැඩම කරවනු ලබන්නේ පාත්‍රයක් භාවිත කරගෙනය. එයද පාත්‍රය සම්බන්ධව විශේෂිත සිදුවීමක් ලෙස දැක්වීමට හැකිය.

බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ ප්‍රාත්‍රය හඳුන්වන්නේ පාත්‍ර ධාතුන් වහන්සේ යනුවෙනි. එවන් උතුමකු පරිහරණය කළ සියලු දේම උතුම් වස්තුන් වශයෙන් වන්දනා මානයට සුදුසු වන්නේය. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොට ගත් නික්ලේෂී මහ රහතන් වහන්සේ පිණ්ඩපාතයෙන් ජීවිතය පවත්වා ගත්හ. එබැවින් පාත්‍රය නිරන්තරයෙන් උන්වහන්සේ සමීපයෙහි තිබූ ආකාරය සදහන් වේ. අද භික්‍ෂූන් වහන්සේ ගේ පිළිම නෙළීමේදී වුවද පාත්‍රයක් අතින් රැගෙන හෝ උරහිසෙහි එල්ලා සිටින ආකාරයකට එම පිළිම නෙළනු දැක ගන්නට ලැබේ.

බුදුසමය තුළ පාත්‍රය සම්බන්ධ විවිධාකාරයේ සිද්ධීන් සිදුවී ඇති අයුරු බණ පොතෙන් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ සහ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රූපයෙන් බොහෝ දුරට එක සමාන වූහ. ඒ හේතුව නිසා එක්තරා උපාසිකාවකට බුදුරජාණන් වහන්සේ හා කාශ්‍යප මහ රහතන් වහන්සේ හඳුනා ගැනීමට අපහසු වී , හැමදාම පිණ්ඩපාතය පිළිගැන්වූයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට වුවද එදින බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ යැයි සිතා දානය පිළිගැන්වූවාය. ඊට පසු වඩින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දැක බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූ පිණ්ඩපාතය නැවත රැගෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පිළිගැන්වූ බවත් සදහන් වේ. මෙවැනි සිදුවීම් බොහෝ දෙනකුට සිදුවී ඇත. බුදුරජාණන් වහන්සේ හා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හඳුනා ගැනීමට බොහෝ දෙනෙකුට අපහසු වී ඇත. එය බුදුහිමියනට අගෞරවයක් වශයෙන් සැලකූ මහා කාශ්‍යප හිමියෝ වනගත වූහ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩින තුරු මගේ් දේහයට ගිනි නොඇවිලේවා යනුවෙන් බුදුරජාණන් වහන්සේ කළ අධිෂ්ඨානය නිසා බුද්ධ පරිනිර්වාණයෙන් පසු මහාකාශ්‍යප හිමියන් වැඩම කළ මොහොතෙහි චිතකයට ගිනි ඇවිළීමත් සුවිශේෂ සිද්ධියකි.

තවද ලෝසක මහා රහතන් වහන්සේගේ චරිත කතාව ගත් කල උන්වහන්සේ පාත්‍රය රැගෙන පිණ්ඩපාතය පිණිස ගිය කල්හි දානය පිළිගැන්වීමට බලා සිටින අයට පෙනෙන්නේ ලෝසක මහ රහතන් වහන්සේගේ පාත්‍රයෙහි ආහාර පිරී තිබෙන බවකි. එම නිසා කිසිදු තැනකින් පිණ්ඩපාතය නොලැබුණු අතර පිණ්ඩපාතය නොලබාම විහාරයට වැඩම කරති. එයට හේතුව අතීතභවයකදී, රහතන් වහන්සේ නමක වෙත ලැබිය යුතුවූ දානය ගිනි ගොඩට විසි කිරීම බවද සඳහන් වේ.

සීවලී මහ රහතන් වහන්සේගේ චරිතය ගත් කල්හි, උන්වහන්සේ බුදු සසුනේ සිව්පස ලාභීන් අතර අග්‍රස්ථානය ලැබූහ. බුදුරජාණන් වහන්සේටත් දානය වැරදුණ අවස්ථා තිබේ. නමුදු සීවලී මහ රහතන් වහන්සේට එසේ කිසි දිනක සිදු නොවීය. සීවලී මහ රහතන් වහන්සේ සමඟ කොපමණ භික්‍ෂූන් වහන්සේ වැඩිය ද ඔවුනට සිව්පසය අඩුවක් නැතිව ලැබේ. එයට හේතුව වූයේ උන්වහන්සේ පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර ඉපදී, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සුදර්ශනී නම් භික්ෂූන් වහන්සේට සිව්පසලාභීන් අතර අග්‍රස්ථානය පිරිනමනු දැක තමන්ද එම තනතුර ලැබිය යුතු බව සිතා සතියක් බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දන් පිරිනමා සිදුකළ ප්‍රාර්ථනාවකි.

එයින් නතර නොවී විපස්සි බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බන්දුමතී නුවර එක් කුලයෙක කුල පුත්‍රයකුව උපන් උන්වහන්සේ රජු හා රටවැසියන් අතර තරගයට දන් දීමේ මහා පින්කම් මාලාවක් දැක, ඒ සඳහා ඔවුන්ට සොයා ගන්නට අපහසු වූ කිරි කලයක් හා දඩුවැල් බෑයක් පූජා කිරීමට උත්සාහවත් වූහ. ඒ සඳහා කහවනු දහසක් ලබා දුන්නත් එය නොගෙන තම අතින්ම විපස්සි බුදුරජාණන් වහන්සේට දන් පූජා කොට සිව්පසලාභීන් අතර අග්‍රස්ථානය ලැබේවා කියා ප්‍රාර්ථනා කළහ. එහි ආනිශංසයක් වශයෙන් ගෞතම බුදුන් කල සීවලී මහ රහතන් වහන්සේ ලෙසින් සිව්පසලාභීන් අතර අග්‍රස්ථානයට පත් වූ බව සඳහන් වේ.

දිනක් බුදුරජාණන් වහන්සේ තිස් දහසක භික්‍ෂූන් වහන්සේ පිරිසක් සමග ඛදිරවනිය රේවත හිමි බැලීමට පිටත් වීමට සුදානම් වූහ. එම ගමන් මාර්ගය ඉතා දුෂ්කර වූ බැවින් ආනන්ද හිමියෝ බුදු හිමිගෙන් කෙසේ අපි පිණ්ඩපාතය ලබා ගන්නෙමුදැයි ප්‍රශ්න කළහ. එවිට බුදු හිමි ආනන්ද හිමියනට පැවසූයේ අප සමඟ සීවලී මහ රහතන් වහන්සේ වඩින්නේදැයි පරීක්‍ෂා කර බලන ලෙසයි. එවිට ආනන්ද හිමි ඒ බව පරික්‍ෂා කොට සීවලි මහ රහතන් වහන්සේත් වඩින බව දැන් වූ කල එසේ නම් පිණ්ඩපාතයෙහි අඩුවක් නොවන්නේ ය යනුවෙන් බුදුහිමියෝ ආනන්ද හිමියනට පැවසූහ.

තවද ආනන්ද හාමුදුරුවන් වහන්සේ එක් අවස්ථාවක පිපාසයට පැන් ස්වල්පයක් සොයාගෙන යන අවස්ථාවක තම පාත්‍රයට පැන් පිළිගන්වන ලෙස සැඩොල් කාන්තාවකට කීමෙන් ඇය ආනන්ද හිමියන්ගේ රූපයට වශී වී සොයා ආ ආකාරය ගැනද පුවතක් සඳහන් වේ.

බුදුරජාණන්වහන්සේ භික්‍ෂූන් වහන්සේ ට අනුදැන වදාළේ තම මවුපියනට සලකන්නට කිසිවකු නැත්නම් පිණ්ඩපාතයෙහි ගොස් ලැබෙන ආහාරවලින් ඔවුන් පෝෂණය කරන ලෙසයි.

තීර්ථකයෝ රහතන් වහන්සේ පිළිබඳව අවිශ්වාසයෙන් , උස රිටක් සිටුවා එහි පාත්‍රයක් තබා, රහතන් වහන්සේ කෙනකු ඇත්නම් ගන්නැයි අභියෝග කළහ. එහිදී මුගලන් මහරහතන් වහන්සේ පිරින්ඩවජ්ජ මහරහතන් වහන්සේට එය ඍද්ධියෙන් ගොස් ගන්නා ලෙස දැනුම් දුන්හ. පසුව පිරින්ඩ වජ්ජ මහ රහතන් වහන්සේ එය ගත් බවද සඳහන් වේ.

මේ ආදී වශයෙන් පාත්‍රය පිළිබඳ විවිධ සිදුවීම් බුදුන්වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේදි සිදුවී ඇති ආකාරය සඳහන් වේ. එදා භික්‍ෂූන් වහන්සේ පාත්‍රය නිරන්තරයෙන් භාවිත කළද අද එය ක්‍රමයෙන් දුරස් වී ඇති බවක් දක්නට ලැබේ. භික්‍ෂූන් වහන්සේ සතුව, පැවැතිය යුතු ප්‍රධානම අංගයක් ලෙස පාත්‍රය හැඳින්විය හැකිය. භික්‍ෂූන් වහන්සේ පිණ්ඩපාතයේ ගොස් ආහාර පිළිගනු ලබන්නේ පාත්‍රයටයි. භික්‍ෂුව පාත්‍රය වෙනුවට කුමක් භාවිත කළද විනයගරුක බවක්වත් භික්‍ෂුවට උචිත බවක්වත් එහි ඇතැයි නොසිතේ.

අද පාත්‍රය වෙනුට සමහර භික්‍ෂූන් වහන්සේ පිඟාන භාවිත කරති. එයින් අනිසි ප්‍රථිඵල රාශියක් ඇති වේ. පිඟාන විනාශ වීමේ ප්‍රවණතාව වැඩිවීම, එලෙසම විවෘත වැඩි බව, ඉඩ ප්‍රමාණය මදිකම, අන්‍යයන්ට පෙනීමේ විවෘත බව, ආදි ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ. නමුදු පාත්‍රය භාවිත කිරීමෙන් මේ කිසිදු ගැටලුවකට මුහුණ දීමට සිදු නොවේ. අප රටේ අද යුගය වන විට ඉතා සීමිත භික්‍ෂූන් වහන්සේ පිරිසක් පිණ්ඩපාත චාරිකාවෙහි හැසිරෙති. ආරණ්‍යවාසි භික්‍ෂූන් වහන්සේ එම පිළිවෙත තවම සිදු කරගෙන යන ආකාරය දක්නට ලැබේ.

බුරුමය , තායිලන්තය වැනි රටවල භික්‍ෂූන් වහන්සේ අලුයම අවදි වී පිණ්ඩපාත චාරිකාවෙහි හැසිරෙති. එම රටවල බෞද්ධයෝ ද රැකී රක්‍ෂාවලට යෑමට පෙර භික්‍ෂූන්වහන්සේට දන් පිළිගැන්වීමට හුරු වී සිටිති. උදේට පමණක් පිණ්ඩපාත චාරිකාවෙහි හැසිරෙන එම භික්‍ෂූන් වහන්සේ දවල් දානය පිණිසද එයින් කොටසක් තබා ගනිති. තායිලන්තය වැනි රටක උදෑසනක ගමන් කරන අයට භික්‍ෂූන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවෙහි හැසිරෙන දසුන සුලබව දැක ගන්නට හැකිය.

පාත්‍රය පිළිබඳ කතා කිරීමේදී එය පරිහරණය කරන ආකාරය ද ආරක්‍ෂා කර ගන්නා ආකාරයද දේශනා කොට ඇත. පාත්‍ර කළු කරනවා යනු තල තෙල් බොහෝ ප්‍රමාණයක් රත්කර එය අඩු ප්‍රමාණයක් බවට පත් කර ශුද්ධකර , පාත්‍රවල එම තල තෙල් ගා නැවත ගින්නෙහි තබා අලුත් කර ගැනීමයි.

ඒ ආකාරයෙන් එකම පාත්‍රය දිගු කාලයක් භාවිත කිරීමට හැකිය. පාත්‍රය භාවිත කිරීමේදී එය වසා ගැනීමට පියනද , පාත්‍රය කරෙහි එල්ලාගෙන යෑම සඳහා පාත්‍ර තලිය ද ඉතා වැදගත් වේ. අද වන විට පාත්‍රය තැබීමට යටින් අඩියක්ද සැකසී ඇත.

පාත්‍රය භාවිත කිරීම පිළිබඳ විනය ශික්‍ෂා පද සමූහයක් බුදුරජාණන්වහන්සේ දේශනා කොට ඇත. එම ශික්ෂා පද පිළිබඳ අවධානය යොමු කිරිම ඉතා වැදගත්ය.

පත්තසඤ්ඤී පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමිතී සික්ඛා කරණීයා
(තමන් අත පාත්‍රය තිබේය යන හැඟීමෙන් යුතුව පිණ්ඩපාතය පිළිගන්නෙමි යි හික්මිය යුතුය)

සමතිත්තිකං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමිතී සික්ඛා කරණීයා
(පාත්‍රය සමකොට පිණ්ඩපාතය පිළිගන්නෙමියි හික්මිය යුතුය)

පත්තසඤ්ඤි පිණ්ඩපාතං භුඤ්ජිස්සාමි ති සික්ඛා කරණියා
(තමන් පාත්‍රයක වළඳන බව සිත තබාගෙන පිණ්ඩපාතය වළඳන්නෙමියි හික්මිය යුතුය)

න උජ්ඣානසඤ්ඤි පරේසං පත්තං ඕලෝකෙස්සාමීති සික්ඛා කරණීයා
(උසුළු විසිළු කරන අදහසින් අනුන්ගේ පාත්‍රය දෙස නොබලන්නෙමිය හික්මිය යුතුය)

න පත්තනිල්ලේහකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා
(පාත්‍රය ලෙවකමින් නො වළඳන්නෙමියි හික්මිය යුතුය)

න සසිත්ථකං පත්තධෝවනං අන්තරඝරේ ඡඩ්ඪෙස්සාමිති සික්ඛා කරණීයා
(පාත්‍රය සේදූ ඉඳුල් වතුර ඇතුළු ගෙයි නොහෙළන්නෙමියි හික්මිය යුතුය)

බුදුරජාණන්වහන්සේ විසින් ආරම්භ කරන ලදුව, එය පරිහරණය කරන ආකාරය විනය ශික්ෂා පද තුළින් දේශනා කරන ලද පාත්‍ර පරිහරණය වර්තමාන භික්‍ෂූන් වහන්සේ ද සිදු කිරීම ඉතා වැදගත් වේ. එය පරිහරණය කිරීම භික්‍ෂුව අතින් ක්‍රම ක්‍රමයෙන් දුරස්වී ගියහොත් අනාගතයෙහි පහළ වන භික්‍ෂූන් වහන්සේට මේ විනයානුකූ®ල, ධර්මානුකූ®ල දානය වැළඳීමට පරිහරණය කරන පාත්‍රය පිළිබඳ සලකුණක්වත් දැක ගන්නට නොහැකි වනු ඇත.

එළැඹෙන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අප රටේ වැඩිහිටි, සම්භාවනීය නායක හිමිපාණන් වහන්සේ මේ සම්බන්ධව වැඩපිළිවෙළක් සකස් කිරීම කාලෝචිතයැයි මම සිතමි. අනාගතයෙහි මේ බුදු සසුන ආරක්‍ෂා කිරීමට, භාර ගැනීමට සිටින කුඩා භික්‍ෂූන් වහන්සේ උදෙසා පාත්‍ර පරිහරණය පිළිබඳ දැනුම්වත් කිරීමක් සිදුකර, පාත්‍ර විනයානුකූලව පරිහරණය කරන ආකාරයට කටයුතු සංවිධානය කරන්නේ නම්, පාත්‍රය භික්‍ෂුවගෙන් දුරස් නොවෙනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. එම නිසා භික්‍ෂූන් වහන්සේ වශයෙන් අපි සෑම දෙනෙක්ම බුදු හිමි උගන්වා වදාළ උතුම් ආකාරයට කටයුතු කිරීමට උත්සාහවත් වෙමු.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.