Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වචනය නිවැරැදි ලෙස භාවිතා නොකිරීම සමාජයේ පවතින දුර්වලතාවයක් ලෙස පෙනේ. අපේ කට රැක ගැනීමෙන් හෙවත් වචනය යහපත් ලෙස පාවිච්චි කිරීමෙන් අපටත් අනුන්ටත් සිදුවන්නේ යහපතකි. මුවෙන් පිටකරන වචන භාවිතා කළ යුත්තේ ඉතා කල්පනාකාරීවය. වචනය තියුණු මුවහත් ආයුධයකට ඇතැම් විට සමාන කරනුයේ එය තව කෙනෙකුගේ සිත දැඩිව වේදනාවට පත්කිරීමට හේතුවන බැවිනි. සිත කුඩා රිදවීමක සිට මහත් වූ විනාශයක් සිදුකිරීමට තරම් බලයක් වචනය සතු වෙයි. සමාජයේ වෙසෙන්නන් මේ පිළිබඳව සිහිකළ යුතුවේ.

තම මුවෙන් පිටවන වචනය අනුන්ටත් සමාජයටත් කෙතරම් හානිදායක වනවාදැයි ලොකු කුඩා සැම දෙනාම මොහොතක් සිතා බලන්නේ නම් සමාජය තුළ ඇතිවන පවුල් ගැටුම් බොහෝ දුරට සමනය කිරීම සඳහා සත්‍ය වචනයේ වටිනාකම වැටහෙනු ඇත. එක් වචනයකින් සිත් දහසක් රිදවිය හැකි වුවද වචන සිය දහසකින්වත් සිතක් හැදීම කළ නොහැකි බව පෙනේ. එය වටහා ගන්නේ නම් යහපත් ලෙස වචන හැසිරවීම මගින් මුළු මහත් සමාජයම සුවපත් වනු ඇත.

බුදුපියාණන් වහන්සේ වචනය ඉතා නිවැරැදි ලෙස භාවිතා කළ උතුම් ශාස්තෘවරයාණන් වහන්සේ ය. උන්වහන්සේගේ කටහඬ බ්‍රහ්ම ස්වරය බඳුවිය. සත්‍යවාදී වූ උන්වහන්සේ දහම් දෙසුවේ ලෝක සත්ත්වයින් සංසාරය නමැති භයංකාර සාගරයෙන් එතෙර කරවීමේ චේතනාවෙනි. එහිදී තම තමන්ගේ මුවින් පිටකරන වචනය රැකගෙන කටයුතු කිරීමේ වැදගත්කම උන්වහන්සේ ලොවට දේශනා කළ සේක. පුද්ගලයාට විමුක්ති සුවය ලබා ගැනීමට නම් තිදොර සංවර කරගත යුතුය. බෞද්ධ දර්ශනයේ තිදොර වශයෙන් සඳහන් කරනුයේ සිත, කය, වචනය යි.

පුද්ගලයාට යම් ක්‍රියාවක් සිදුකිරීමේදී චේතනාව මුල් වුවද ක්‍රියාවක් සිදුවීමට සිත, කය, වචනය ඒකරාශි වේ. බොරුවක් කිරීමෙන් අනුන් රැවටීමට චේතනාව පහළ වූ විට පුද්ගලයා එය වචන හරහා ක්‍රියාවට නංවයි. බුදුරදුන්ට දේවදත්ත කෙතරම් විරුද්ධවාදීකම් කළත් උන්වහන්සේ ඔහුට වචනයකින්වත් හිංසාවක් නො කළහ. යහපත් වචන කථා කිරීමේ උත්තමයෙක් වූ බුදුරදුන් තම ශ්‍රාවක සඟරුවනට අවවාද අනුශාසනා ලබාදුන්නේ ආදර්ශවත් ශාස්තෘන් වහන්සේ නමක් ලෙසිනි.

පරි පක්කෝ වයෝ මය්හං
පරිත්තං මම ජීවිතං
පහාය වෝ ගමිස්සාමි
කථං වෝ සරණ මත්තනං

යනුවෙන් තම ශ්‍රාවක සංඝරත්නයට දේශනා කරන්නේ ‘’දැන් මම මහලු වී සිටිමි. ජීවිතයෙහි අවසන් මොහොතට පැමිණ සිටී. නුඹලා වෙනුවෙන් කළයුතු කාර්යය සිදුකර ඇත්තෙමු” යන්නයි. එය කරුණාබර පියෙකු අවසාන මොහොතේ තම දරු පිරිස අමතා කරන කාරුණික වදන් පෙළක් බඳු බව පෙනේ. තමා හමුවට ප්‍රශ්න ඇසීම සඳහා පැමිණෙන කාගේත් සිත් නොරිදෙන පරිද්දෙන් ඔවුන්ට සත්‍යය වටහා දීමට බුදුරදුන් ක්‍රියා කළහ. එදා සච්චක මෙන්ම උරුවෙල කාශ්‍යපයන් ද විෂයෙහි උන්වහන්සේ ක්‍රියාකළ ආකාරයෙන් එය පැහැදිලි වේ. එමෙන්ම එදා අංගුලිමාලටද තමන්ට අපහාස කළ මාගන්ධියාට ද ආලවක යක්ෂයාට ද මෛත්‍රී සහගත සිතින් සුමිහිරි වදනින් සත්‍යය වටහා දීමට බුදුරදුන් ක්‍රියාකළ අන්දම ආදර්ශවත් ය. ශ්‍රාවක පිරිසට උන්වහන්සේ දේශනා කළේ කවරෙකුගේ වුවද සිතක් වේදනාවට පත්වන වදන් කිසිවිටෙක භාවිතා නොකළ යුතු බවයි.

යහපත් වචන කථාකිරීමේ අගය බෞද්ධ දර්ශනයෙහි පැහැදිලිව දක්වා ඇත. නන්දිවිශාල ජාතක කථාව මෙහිදී සිහිපත් කළ යුතු වේ. ගවයා සිය හිමියාගේ නරක, නපුරු වචන භාවිතය නිසා ඔහුට විශාල අලාභයක් සිදු කරයි. පසුව ස්වාමියා පි‍්‍රයමනාප වචනයෙන් කථා කිරීමෙන් පසු ගවයා ඔහුට විශාල වාසියක් අත්පත් කර දෙයි. පි‍්‍රයමනාප වූ සත්‍ය වචන කථා කිරීම මනුෂ්‍යයන්ට පමණක් නොව තිරිසන් සතුන් විෂයෙහිද පැවැතිය යුතුබව ඉන් පැහැදිලි වෙයි. පි‍්‍රයමනාප වචන කථා කරන පුද්ගලයාට සිත් දහසක් දිනාගත හැකිය. සමාජයේ ඇතැම් දෙනා ඒ ගැන සිතා බලන්නේ නැති බවක් පෙනේ. බුදුරදුන්ට සුමිහිරි කටහඬක් හිමිවූයේ උන්වහන්සේ නිවැරදි ලෙස වචන හැසිර වූ නිසයි. වචනය මුල්කොට ගෙන සිදුවන අකුසල කර්ම හතරකි.

බොරු කීම
කේලාම් කීම
හිස්වචන කීම
රළු වචන කීම

එම අකුසල කර්ම හතර සිදුකර ගන්නේ සංසාරය දිගු කර ගත්නෝ ය. ඔවුන් ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙලොවම පරිහානියට පත්වෙයි. මුසාවාදය හෙවත් බොරුකීම නිරතුරුව සිදු කරන්නන් දුගතියට පත්වන බවද මිනිසත්ව උපන් විට බොහෝ අයහපත් විපාක විඳීමට ඔවුනට සිදුවන බව ද සඳහන් වෙයි. බොරු කියන පුද්ගලයා ට සමාජය තුළ කිසිදු පිළිගැනීමක් නො ලැබෙයි. බොරුකීම මහත් දුක් විපාකම ගෙනදීමට හේතුවෙයි. සත්‍ය වචන කථා කරන්නාගේ මුවින් නික්මෙන්නේ මහනෙල් සුවඳ බව බෞද්ධ සාහිත්‍යයේ කථා පුවත් අනුව අපට අසන්නට ලැබේ.

පි‍්‍රයංකර වචන ඇත්තවුන් අතර අගතනතුරට පත් වූ කුටිකණ්ණ සෝන හිමියන් ද මිහිරි කටහඬ ඇත්තන් අතර ලකුණ්ටක භද්දිය හිමි ද අගතනතුර ලැබුවේ සංසාරයෙහි පෙර භවයෙන්හි පි‍්‍රයමනාප සත්‍ය වචන නිවැරැදි ලෙස හැසිර වූ පුණ්‍ය බලයෙනි.

වචනය මූලික කරගෙන සිදුකරන කේලාම් කීම සමාජයට මහත් විනාශයක් අත්කරයි. කේලම තුළින් සිදුවන්නේ සමගිය නැතිවීමකි. පුද්ගලයින් අතර විරසකවීම් ඇතිකිරීම තුළින් ඔවුන් අතර වෛරී චේතනාවන් පහළ වී එකිනෙකා නැසීමට පවා යොමුවන අවස්ථා සමාජය තුළ ඇතිවිය හැකිය.

කේලාම්කීම තුළින් පුද්ගලයා මුළු මහත් සමාජයටම අපි‍්‍රය පුද්ගලයෙක් බවට පත්වෙයි. නපුරු රළු වචන භාවිතා කිරීමෙන් තම තමන්ගේ නපුරු ගති ලොවට හෙළි කරයි. ද්වේශය මුල් වීමෙන් මුවින් පිට කරන රෞද්‍ර වදන් නිසා ඔහුගේ වදනට යටත්වන පිරිස මහත් සිත් තැවුලට පත්වේ. එවන් පුද්ගලයින් පිරිහීමට පත්වෙයි.

පෙර ජාතිවලදී රළු වූ පරුෂ වචන කියු පුද්ගලයා වරදක් නොමැති වුවත් දුටු දුටුවන් හට අපි‍්‍රය තැනැත්තෙකු නොරුස්සන තැනැත්තෙකු විය හැකිය. සම්ප්‍රඵලාප හෙවත් හිස්වචන දෙඩීමෙන් තමන්ටත් අනුන්ටත් සිදුවන සෙතක් නොමැත. හිස්වචන දොඩවන පුද්ගලයා සමාජය තුළ ගැරහීමට ලක්වෙයි. ලැජ්ජා බය නොමැතිව තැන නොතැන නො බලා කථා කරන පුද්ගලයා සමාජයට පි‍්‍රයශීලි කෙනෙකු වන්නේ නැත. එවන් පුද්ගලයන්ගෙන් නිරතුරුවම සිදුවන්නේ සමාජයට අනර්ථයක් මිස අර්ථයක් නොවේ.

බොරුකීමෙන් පුද්ගයින් මුලාවට පත් කරන පුද්ගලයා අඳුරෙන්, අඳුර වෙතම ගමන් කරන්නකු වේ. බුදුරදුන් සිය ශ්‍රාවක සංඝ රත්නය වෙත නිරතුරුව අවවාද අනුශාසනා ලබාදුන්නේ ස්වකීය වචනය නිවැරැදිව හසුරුවන ලෙසයි. උන්වහන්සේ තම ප්‍රථම ශ්‍රාවක හැටනමට චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය - බහුජන සුඛාය, අත්ථාය හිතාය සුඛාය.... යනාදී ලෙසින් දේශනා කළේ ලෝක සත්ත්වයාගේ යහපත පිණිස මුල, මැද, අග අර්ථ සහිත ධර්මය දේශනා කරන ලෙසයි. මිනිසත් බව ඉතා දුෂ්කර බැවින් ලැබුවා වූ මනුෂ්‍ය ආත්මය තුළදී ගත යුතු නියම ප්‍රයෝජන ලබා ගැනීමට නම් බොරුකීම නම් වූ අකුසල ධර්මයෙන් ඉවත්වීම වැදගත් ය. බොරුකීමේ දුක් විපාක හඳුනා ගත්තෙක් ඉන් වැළකීමට උත්සාහ දරනවා මිස එම පාපකාරී ක්‍රියාවෙහි නියැලෙන්නේ නැත. බොරු කියන්නාට ලෝකයේ කළ නොහැකි අපරාධයක් නොමැත.

ඒකං ධම්මං අතින්තස්ස
මුසාවාදිස්ස ජන්තුනෝ

යන ගාථාවෙන් පවසන්නේ බොරු කියන තැනැත්තාට කළ නොහැකි පාපයක් නැති බවයි.

බොරුව කියන විට මිහිරි ලෙස දැනුනද එහි විපාක අත්මිදීමට සිදුවන විට දුක්බරය. බොරු කියන්නා රවටන්නේ වෙන කවරෙකුත් නොව තමන්ම බව ඔහුට වැටහෙන්නේ එහි විපාක යම් දිනෙක අත්විදීමට සිදුවන විටයි. එබැවින් තමාගේත්, අනුන්ගේත් යහපත උදෙසා බොරුවෙන් වැළකී කටයුතු කිරීම පුද්ගලයාට සැනසිල්ලක්ම උදා කරයි. නිරතුරුව සත්‍යගරුක ලෙස යහපත් වචන කථා කිරීමට යොමුවීම පුද්ගලයාට මෙලොවට පමණක් නොව පරලොවට ද වැඩදායකය. සත්‍යවචන කථා කරන්නා සමාජය තුළ පිළිගැනීමට ලක්වන චරිතයක් වෙයි. එවන් පුද්ගලයින් සමාජයට ආශිර්වාදයත් ශාන්තියත් ළඟා කරන්නෝ වෙති.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.