Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත ජය ගැනීමේ මඟ

අප ජීවිතයේ සිදුකරන සෑම ක්‍රියාවකදීම සිත මුල් වේ. මනැස, චිත්තය යනාදිය ‘සිත’ යන්නට සමානව පවතින වචනයන් ය. සිතක මහිමය හඳුනාගැනීමට එහි ක්‍රියාකාරිත්වය සහ ප්‍රයෝජන පිළිබඳ අධ්‍යයනය කළ යුතුව ඇත.

සෑම ආගමකම පාහේ උගන්වන්නේ දැහැමි ජීවිතයක් ගතකරන අන්දමය. මිනිසා සතුව පවතින චිත්ත ශක්තිය දියුණු කරගැනීමට හැකිවන්නේ මෙමඟින්ය. කායික, වාචසික සහ මානසික ක්‍රියාවන් සිදුකෙරෙන්නේ සිතෙහි මෙහෙයවීමෙනි. සිත, කය සහ වචනය යන්න බුදු දහමෙහි හඳුන්වන්නේ තිදොර යනුවෙනි. හොඳ ක්‍රියා සිදුකිරීමට අප නිතරම උත්සාහවන්ත විය යුතුය.

බුද්ධිමත් තැනැත්තා තමන්ටත් අනුන්ටත් වැඩදායක වන හොඳ ක්‍රියාවන් ටිකෙන් ටික නමුත් සිදු කර තම ජීවිතය අර්ථාන්විත කර ගනියි. ධම්මපදයේ ගාථාවක මෙය උපමාවකින් මෙසේ දක්වා ඇත. කළයක් දිය බිංදු ගණනාවකින් එහි කට ළඟමට, එනම් සම්පූර්ණයෙන්ම පිරවිය හැකිවන්නා සේ අවස්ථාව ලදවිට ස්ථානෝචිත ලෙස ටිකෙන් ටික වුවද හොඳ ක්‍රියාවන් සිදු කිරීමට අප කවුරුත් උත්සුක විය යුතුය.

සෑම විටම යහපත් කටයුතු සිදුකිරීමට අපට ශක්තිය ලැබෙන්නේ සිත පිරිසුදුව පවත්වා ගත් තරමටය. කිලිටි සිතුවිලි තම සිතෙහි හටගත් විට ඒවා හඳුනාගෙන මැඩපවත්වා ගැනීමට උත්සාහවන්ත වීම පුද්ගල වගකීම වේ. මෙය සිදු කළ හැකි එකම ආකාරය නිවැරැදි සිහියෙන් සහ දැනුවත් බවින් යුතුව සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමය.

පෘථග්ජනයන් වශයෙන් අප සිතෙහි නිරන්තරයෙන්ම පාහේ බලපවත්නේ ලෝභ, ද්වේෂ සහ මෝහ මුල් කරගත් අකුසල් සිතුවිලිය. සන්තානගත මෙම කිලිටි සිතුවිලි යටපත් කර ගත හැකි වන්නේ පුණ්‍ය ක්‍රියාවන්හි නිරතවන තරමටය. දාන, සීල සහ භාවනා යනාදි යහපත් ක්‍රියාවන්හි යෙදීම බෞද්ධයාගේ සිරිතය. මෙවැනි අවස්ථාවලදී අකුසල මූලයන් යටපත් වීම උපමාවකින් මෙසේ දැක්විය හැකිය.

ජල බඳුනක රබර් බෝලයක් ගිල්වන්නට උත්සාහ කරන්නේ යැයි සිතමු. එවිට එම බෝලය ජලය මතුපිටට නැවත පැමිණෙනු දැකිය හැකිවනු ඇත. මෙපරිද්දෙන්ම පුණ්‍ය ක්‍රියාව සිදුකරන මොහොතේ යටපත් වුවද ඊළඟ මොහොතේ දී එම අකුසල් සිතුවිලි නැවත මතු වේ.

අප සිතෙහි සාමාන්‍ය ස්වභාව මෙයයි. එබැවින් ක්‍රමයෙන් යහපතට නැඹුරු කරගත් සිත කුසලයෙන් වඩාත් පෝෂණය කර ගැනීම මීළඟ පියවර වේ.

මේ සඳහා ඉහත දැක්වු පරිදි බුදු දහමෙහි ඉගැන්වෙන දාන, සීල සහ භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ද ඇතුළත්ව පින් දීම, පින් අනුමෝදන් වීම , වත් පිළිවෙත්හි යෙදීම, පිදිය යුත්තන් පිදීම, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පැවැත්වීම, ධර්ම ශ්‍රවණය, තම දෘෂ්ටිය සෘජු කරගැනීම, එනම් නිවැරැදි දැකීම දියුණු තියුණු කර ගැනීම යනුවෙන් දැක්වෙන දස පුණ්‍ය ක්‍රියාවන්හි නියැලීමට උත්සාහවන්ත විය යුතුය. එවිට සිතෙහි ත්‍යාගශීලීභාව, මෛත්‍රිය සහ ප්‍රඥාව මූලික කරගත් කුසල් සිතුවිලි ජනිත වනු ඇත.

අකුසලය පිටු දැක කුසලය රෝපණය හෙවත් වර්ධනය කර ගැනීම මෙලෙස උපමාවකින් පෙන්විය හැකිය. කෙතක සරු බීජ වැපුරූ කල්හි ඉන් සරු අස්වැන්නක් ලැබේ. නිසරු බීජ වැපුරුවොත් ලැබෙන අස්වැන්න ද නිසරු වේ. එනම් කුසලය නමැති බීජය සිතෙහි වගා කර ගැනීමට යුහුසුළු විය යුතුය.

අළුයම පිබිදීම ප්‍රසන්න, ප්‍රබෝධමත් ජීවිතයකට රුකුලකි. ආගම දහම සිහිපත් කර දවසේ කටයුතු ආරම්භ කිරීම ද සද්පුරුෂ ලක්‍ෂණයකි. කම්මැලිකමක් දැනුණු විගස එය තවදුරටත් පවතින්නට ඉඩ නොතැබිය යුතුය. මෙලෙස උත්සාහවන්තව ක්‍රියාකාරකම්හි යෙදීම දියුණුවේ මඟයි. මේ අතර තම සිතට වහල් නොවී ක්‍රියා කිරීමට පුද්ගලයා වග බලා ගතයුතුය. උදාහරණයක් වශයෙන් නොරිස්සුම, පිළිකුල, තරහ, කෝපය, වෛරය, පළිගැනීම සහ ඊර්ෂ්‍යාව වැනි ද්වේෂය මුල් කරගත් අකුසල් සිතුවිලි හටගත් විට ඒවා හඳුනාගෙන ඊට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය පෙරමුණු කරගත් යහපත් සිතුවිලි සිතෙහි වඩා වර්ධනය කරගත යුතුය. මෛත්‍රිය යන්න මිතුරුකම, හිතවත්බව, සුහදබව යන අර්ථය ගෙන දෙයි. මේ අන්දමින් හදවත මෙත් සිසිලෙන් නැහැවෙන විට තමන්ගේ ක්‍රියා කලාපය ප්‍රියමනාප වන අතරම අන්‍යෝන්‍ය සමඟිය ද තහවුරු වේ.

ලෝක සත්වයා දුකින් වෙළී සිටින බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලින් ප්‍රකට වන්නකි. තමන් වහන්සේගේ මංගල දම් දෙසුම, එනම් දම්සක් පැවතුම් සුතුරෙහිදී බුදුහිමියෝ චතුරාර්ය සත්‍යය ඉදිරිපත් කළහ. දුක්ඛ සත්‍ය හෙවත් පවත්නා වූ දුක, සමුදය සත්‍ය හෙවත් දුක හටගැනීමට හේතුව, නිරෝධ සත්‍ය හෙවත් දුක නැති කිරීම සහ මාර්ග සත්‍ය, එනම් දුක නැති කිරීමේ මාර්ගය යනුවෙන් එය දේශිතය.

මිනිසා ඇතුළු සත්වයාගේ ඉපදීම, දිරීම හෙවත් ජරාජීර්ණ වීම, ලෙඩ රෝගවලට බඳුන්වීම, මරණයට පත්වීම, අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමැති වූ දේ නොලැබීම සහ සංක්‍ෂිප්ත වශයෙන් අපගේ ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන ඉඳුරන් පහ ආදි මේ දෑ දුක් සහගත වේ. දුක හටගැනීමට හේතුව නම් තෘෂ්ණාව හෙවත් ආශාවය.

මෙය කතා ව්‍යවහාරයෙහි ‘බෙදා ගැනීම’ වෙනුවට ‘බදා ගැනීම’ ලෙස හැඳීන්වේ. තම ජීවිතයට ත්‍යාගශීලිත්වය නමැති ගුණාංගය ක්‍රමානුකූලව හුරු කර ගත යුතුය.

එනම් තමන් සන්තක යම් වස්තුවකට ඇති දැඩි ආශාව, බැඳීම හෙවත් ඇලීම දුරු කර එය වෙනත් කෙනකුට ප්‍රයෝජනය පිණිස දීමට ඇති හැකියාවයි. දීමනාව, පරිත්‍යාගය යනුවෙන් ද හඳුන්වන්නේ මෙයයි. දානය ලෙස බුදු දහමෙහි ඉගැන්වෙන මෙම ගුණාංගයෙහි ප්‍රභේද කිහිපයකි. ආමිස දානය, ධර්ම දානය සහ අභය දානය මින් ප්‍රධාන වේ. ආමිස දානය නම් ආහාරපාන, ඇඳුම් පැළඳුම්, නිවාස හෙවත් ඉඳුම් හිටුම් සහ බේත් හේත් යනාදිය දන්දීමයි. බුදුන් වදාළ ධර්මය, ලෝක සත්වයාගේ හිත සුව පිණිස දේශනා කිරීම, ධර්ම දේශනා කිරීමට පහසුකම් සැලැසීම, දහම් පොත පත බෙදාදීම ආදිය ධර්ම දානමය පින්කමට ඇතුළත්ය. ධර්ම දානය සියලු දානයන් අභිබවා සිටින බවද බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

අභය දානය යනු මරණයට කැපවි සිටින හෝ නියම වී සිටින, නැත්නම් අනතුරකට මුහුණ පා සිටින ඕනෑම සත්වයකු එම අවදානම් තත්ත්වයෙන් මුදා ගැනීම හෙවත් නිදහස් කිරීමයි. මෙවැනි දානාදී පින්කම්වල නිරත වෙමින් නිර්වාණගාමී වන්නේ නැණැති සද්පුරුෂයාම ය.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය, මධ්‍යම ප්‍රතිපදාව, සියලු දුකින් එතෙර විම උදෙසා අනුගමනය කළයුතු පිළිවෙතයි. මෙය තවදුරටත් සීල, සමාධි සහ ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාව ලෙසත් බෙදා දක්වා ඇත.

නිවැරැදි වචන කතා කිරීම, නිවැරැදි ක්‍රියාවෙහි යෙදීම සහ නිවැරැදි ජීවිකාවක් පැවැත්වීම යන අංග සීලයට අයත් වේ. නිවැරැදි උත්සාහය නිවැරැදි සිහිය සහ නිවැරදි සමාධිය හෙවත් එකඟබව, සමාධිය යටතේ ගැනේ.

නිවැරැදි දැකීම සහ නිවැරැදි සංකල්පය ප්‍රඥාවට ඇතුළත් වේ. බුදු දහමෙහි ඉගැන්වෙන භාවනාව යනු සිත එක්තරා යහපත් අරමුණක පවත්වා ගැනීම තුළින් ලබන්නා වූ චිත්ත ඒකාග්‍රතාවයෙන් සිත දියුණු කරගැනීමයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය මෙනෙහි කරමින් විදර්ශනා භාවනාවෙහි යෙදීමෙන් සියලු කෙලෙසුන්ගෙන් අත්මිදීමයි. මෙලෙස භාවනාවෙන් ප්‍රගුණ වූ සිතින් ලෝකයේ යථා ස්වභාව එනම් ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීමට හැකියාව උදා වේ.

ඇත්ත වූ කලී පවත්නා සැම දෙයකම ඇති අනිත්‍ය හෙවත් විනාශයට පත් වී යන ස්වභාවයයි. මෙලෙස සියල්ලෙහි යථා ස්වභාවය වැටහෙන්නේ, සියලු කෙලෙසුන් නසා ධර්මාවබෝධය ලබන්නේ වෙයි.

සිත සංවර කර ගැනීමෙහි වටිනාකම ධම්මපදයේ එන ගාථාවකින් මෙලෙස පැහැදිලි කෙරේ.

එනම් මවක, පියකු හෝ වෙනත් ඥාතියකු නැත්නම් හිතවතකු තමන්ට කර දෙන උපකාරයටත් වඩා උපකාරයක් යහපත්ව පවත්වා ගත් සිතකින් අත්පත් කර ගතහැකිවන බවය. සාර්ථකත්වය උදෙසා ‘අත්ත දීපා විහරථ’ යන බුදු වදනට අනුව තමාට තමා ආලෝකයක් වෙමින් ජීවත් විය යුතු බව අවබෝධ කරගන්න.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.