Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රුහුණුගම නව ශ්‍රී දක්ෂිණාරාමය

1954 වර්ෂයේ ගල්ඔය මිටියාවත ජනපදය ආරම්භ වීමත් සමගම ගොඩනගල ලද විහාරස්ථානය අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රුහුණුගම නම් සුන්දර ගම් පියසක පිහිටා ඇත. රුහුණු ප්‍රදේශයේ සිට පැමිණි ජනතාවගෙන් යුත් ගම්මානයක් බැවින් ගමට නම තැබුනේ ද රුහුණුගම යනුවෙනි.

ඉගිණියාගල ජලාශයෙන් පෝෂණය වන “ වීරගොඩ” වැව යටතේ ඇති ගම්මානය මැද පිහිටි විහාරස්ථානය ගමේ උසම භූ®මි භාගයේ පිහිටා ඇත. ගම් පියසට වටව කෙත් යායත්, ඇල මාර්ගයත් ඇති නිසා අවට සුන්දරය.

දැනට බුද්ධංගල අරණ්‍ය සේනාසනාධිපති කළුතර ධම්මානන්ද හිමිපාණන් වහන්සේ බුද්ධංගල අරණ්‍ය සේනාසනය ගොඩ නගා ඇත්තේ මෙම පුදබිමේ වැඩ වාසය කරමිනි. මෙහි ගම්බිම්වල මුල් පදිංචිකරුවන් විසින් විහාරස්ථානය යම් මට්ටමකට ගොඩනගා ඇත.විහාරස්ථානයේ පිහිටා ඇති ඉපැරණි බෝධීන් වහන්සේ ප්‍රදේශයේ ජනතාවගේ වන්දනාවට පාත්‍ර වූවකි.


විහාරාධිපති ධම්මාරාම හිමි

ප්‍රදේශයේ වැඩිහිටි පින්වතුන්ගේ මැදිහත් වීමෙන් බෝධින් වහන්සේ වටා ප්‍රාකාරය සහ බුදු කුටි දෙකක් ඉදිකර යාබදව කුඩා ශාලාවක් ද සාදා පෙහෙවස් සමාදන් වීමේ කටයුතු සිදුකර ඇත. ස්වාමීන් වහන්සේ කීප නමක් ද වැඩ සිටි නමුත් ප්‍රදේශයේ එවකට පැවති දුෂ්කරතා නිසා වැඩි සංවර්ධනයක් කිරීමට අපහසු විය. 1978 වර්ෂයේ පැවති සුළි සුළඟින් ධර්ම ශාලාව ඇතුලු සියලු ගොඩනැගිලි විනාශ විය. එවක් පටන් විහාරස්ථානය අඩපනව පැවැතිණි. ස්වාමීන් වහන්සේ කීප නමක්ම යලි විහාරස්ථානය ගොඩනගා ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

වර්ෂ 2006 නැවත විහාරස්ථානයේ සංවර්ධනය කටයුතු ආරම්භ කරන ලදී. සතර පේරුවේ දායක දායිකාවන්ගේ නොමසුරු උත්සාහයෙන් හා ධන පරිත්‍යාගයෙන් විහාරස්ථානය අද වන විට පූජනීය පිංකෙතක් බවට පත්ව ඇත.දහවල් කාලයේ හේන් කුඹුරු වල වැඩ කරන දායක පිංවත්තු රාත්‍රි කාලයේ විහාරස්ථානයට පැමිණ එහි සංවර්ධනය කටයුතු කරති. ඒ වෙනුවෙන් ඔවුහු පාන්දර 02, 03 පමණ වනතුරු වෙහෙසෙති. එවැනි කැපවීමක් කළ නිසා සහ සිවිල් ආරක්‍ෂක බලකා නිළධාරින්ගේ අපරිමිත ශ්‍රම දායකත්වයත් නිසා 2010 වෙසක් පුර පසළොස්වක පොහොය දින වන විට චෛත්‍ය රාජයාණන් වහන්සේ අසල පිළිම වහනේසේත් අවට පසුබිමත් ගොඩනගා ගැනීමට හැකි විය.මේ සදහා විශාල වශයෙන් ධන පරිත්‍යාග කළ පිංවතුන් මෙන්ම වසර කිහිපයක් තම පෞද්ගලික කටයුතු අත්හැර විහාරස්ථානයේ සංවර්ධනය සඳහා කැපවුන පිංවතුන් ද සිහිපත් කරනුයේ පුන්‍යානුමෝදනා පූර්වකව ඉතා ගෞරවයෙනි. එසේම 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් රන්වැට සහිතව රුහුණුගම අධිෂ්ඨාන බෝධින් වහන්සේ වටා ප්‍රාකාරය ඉදිකෙරෙයි.

එවක පැවති යුධ වාතාවරණය ද විහාරස්ථානයේ සංවර්ධනය කටයුතු සදහා යම් බාධාවක් ඇති කළ ද නැගෙනහිර මුදවාගැනීමත් සමග ප්‍රදේශයේ පවතින සාමකාමි පරිසරය ද ආගමික ප්‍රබෝධයක් ඇති කිරීමට හේතු වී ඇත. තවද නැගෙනහිර පළාතේ විහාරස්ථාන සංවර්ධනයේදී අමතක කල නොහැකි පිරිසක් සිටිති. එනම් සිවිල් ආරක්‍ෂක බලකායේ නිළධාරින් ය.රණවිරුවන් වන්නියේ සටන් වදින විට ගම් ආරක්‍ෂා කළා පමණක් නොව ගමත් පන්සලත් සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගෙන් සිදු වූ සේවය අපිරිමිත ය. එමෙන්ම යුධ වාතාවරණයක් පැවතිය ද විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා ද ඒවා අතුහැර නොයා රැක බලා සිටියහ. එවන් වූ ශාසනයේ මුරදේවතාවුන් වහන්සේලා ගෞරව බහුමානයෙන් සිහිපත් කළ යුතු ය. එය ද වීර සෙබලුන්ට ශක්තියක් විය. ආර්ථික වශයෙන් මෙම ප්‍රදේශයේ විහාරස්ථාන දුබල වුව ද සිවිල් ආරක්‍ෂක නිළධාරින්ගෙන් ලැබුණු ශ්‍රමය නිසා විශාල සංවර්ධනයක් වී ඇත. ඉදිරියටත් එම කටයුතු සඳහා බලකා සෙබල සොයුරන්ගේ දායකත්වය ලැබෙන්නේ නම් 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් නැගෙනහිර විහාරස්ථානයන්ට විශාල ප්‍රබෝධයකින් කටයුතු කළ හැකි වෙයි.

ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් පැවැත්ම සඳහා අපි පිළිවෙලින් පෙළ ගැසෙමු. ඒ සඳහා රජයේ ද සහාය නැගෙනහිර පළාතට පමණක් නොව සමස්ථ ලංකාවේම විහාස්ථාන වෙත යොමුවේවායි පතමු.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.