Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දැදිගම ලෙනගල රජමහා විහාරය


ඉපැරැණි දාගැබ

වළගම්බා රජ දවස ඉදි කරන ලද දැදිගම ගල්ලෙන් රජ මහා විහාරය කටාරම් කොටන ලද ලෙන් විහාර අතරින් විශාලතම හා සෞන්දර්යයෙන් සපිරි පින් බිමකි. මනරම් ප්‍රදේශයක සුන්දර කඳු ගැටයක් මත ක්‍රමානුකූලව නිර්මාණය කොට ඇති මෙම විහාරය දුටුවන් සිත් පහන් කරන සුළුය. ස්වභාව සෞන්දර්යයේ අපූර්වත්වය රැකෙන පරිදි නිමවා ඇති මෙම විහාරයේ බස්නාහිර පළාත තුළ දැකිය හැකි විශාලතම සෙල් ලිපියද දැකිය හැක.

විහාර ගෘහය තුළ නුවර යුගයේ චිත්‍ර මෙන්ම මෑත කාලීන ශෛලිගත චිත්‍රද මැනවින් නිරූපනය කර ඇත. මෙම විහාරස්ථානය පිළිබඳව විහාරවාසී නිකවැවේ ඥානානන්ද හිමියෝ මෙසේ පැවසූහ.

“ මෙම විහාරය ඉතා පෞරාණික එකක්. බෞද්ධයන් හැටියට නැරඹිය යුතුම ස්ථානයක්. දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන මෙම ස්ථානය රාවණ කාලය දක්වා තොරතුරු සඳහන් වෙනවා.රාවණ රජ්ජුරුවෝ තමන්ගේ දඬු මොණරය නැවැත්තුවෙ මෙතැනයි කියලත් ප්‍රසිද්ධයි.


පැරැණි පිළිම වහන්සේ

දර්ශනීය මකර තොරණ මෙන්ම පිටත බිත්තිවලත් චිත්‍ර මූර්ති රැසක් නිර්මාණය කරලා තියෙනවා. මෙහි ඇති සත් සතිය නිම වෙලා තියෙන්නෙ වළගම්බා රජ දවසෙ සූවිසි විවරණය වගේම අපූරු වියන් සැරසිලි රැසකුත් තියෙනවා. “


භාවනා කුටියක්

මෙම විහාරස්ථාන භූමිය තුළ කුඩා ලෙන් විශාල ගණනක්ද දැකිය හැක. ඒවායේ භාවනායෝගී භික්‍ෂුන් වහන්සේ වැඩ වසති. ලෙනගල ඉදලා සල්ගල දක්වා උමං මාර්ගයක් තිබූ බවත් ඒ තුළින් වළගම්බා රජු ගමන් කළ බවද කියැවේ. උමගේ ඇතුල්වීමේ දොරටුව අදටද දක්නට ලැබේ.

ලෙනගල විහාරය සුවිශේෂි විහාරයක් වශයෙන් සඳහන් කළ හැක. ඉතිහාසය, චිත්‍ර හා මූර්ති, පිහිටීම, පරිසරය හා විහාරයකට අයත් සියලු අංග ක්‍රමවත්ව පිහිටා තිබීම මෙහි විශේෂයකි. කෙසේ වුවද මෙහි ඇති පෞරාණික චිත්‍ර හා මූර්ති රැසක් විනාශ වීමේ තර්ජනයට පත්ව ඇති නිසා පුරා විද්‍යා අවධානය ඒ සඳහා යොමු විය යුතුව ඇත.


විනාශ වෙමින් පවතින මූර්තියක්

 

 

 

 

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.