Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු සසුන බැබළ වූ වැලිවිට සඟ රජ හිමියෝ...

සංස්කෘතියෙහි සහ ශාසනයෙහි වල් බිහි වී විනාශ වූ අවදියක ඒවා හෙළි පෙහෙළි කළ හිමිවරුන් අදටත් අපට වාසනාවකි. ඒ ගැන තවදුරටත් කියනවා නම් පනස් වසරක් මුළුල්ලේ නැතිවී තිබූ උපසම්පදාව යළි පිහිටුවීමටත් ශාසනයටත් සමස්ත රටටත් විශිෂ්ට සේවාවක් කොට මුළු ලක්දිවම ආලෝකවත් කළ සංඝරාජ හිමිනමක් ගැන මේ සටහන තුළින් කියැවේ. ඒ අන් කිසි කෙනෙක් නොව අසරණ සරණ සංඝරාජ හිමියෝය.

1698 දී පොසොන් මස දිනක කුලතුංග මුදලිට දාව උපන් මෙම කුමරු කුලතුංග මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර නම් විය. මේ වකවානුව තුළ බුදු සසුන බොහෝ සෙයින් පිරිහීමට ලක්ව තිබිණ. එසේම එම කාල පරිච්ඡේදය ලක්දිව පාතුගීසි ආධිපත්තියට පත් කාලයක් විය. මේ කාලයේ බුද්ධ ශාසනය පිරිහීමට පත්ව භික්ෂූන් වහන්සේ ද සොයාගැනීමට නොහැකි තත්වයකට පත් විය.මේ වන විට පුංචි පුතණුවන් රජවාසලට තම සොහොයුරා වූ පටබැදි මුදියන්සේ සමඟ එමින් යමින් කල් ගෙවීය. මෙම දෙපළට රජතුමාගේ ආදර සැලකිලි ද ලැබිණ. එවකට විර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා රජකම් කළේය. මේ ආකාරයට රාජ වාසල සමග සමීප සම්බන්ධතාවයකින් යුතුව කුඩා කල සිට කල්ගෙවීය. මවුපියන්ට වුවමනා වී තිබුණේ කුඩා පුතා රජ සේවකයෙක් වනු දැකීමයි. එසේ වූ නමුත් කුලතුංග බණ්ඩා එයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත්, අධ්‍යාපනය නිසි ආකාරයෙන් හදාරන්නට විය. නම් පොත මගුල් ලකුණු , සකස්කඩ, නවරත්නය, නාමාශ්ඨ ශතකය, අනුරුද්ධ ශතකය, වෘත්ත මාලාව ආදි පොතපත හදාරන්නට විය. භාෂා සාහිත්‍ය පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගත්තේය.

මෙම වකවානුව වන විට අධ්‍යාපනය අතින් බෞද්ධ පාසල් පිරිවෙන් ආදිය විනාශයට පත් වී තිබිණ. මේ සියලු විනාශයන්ට මුල් වූයේ පෘතුගීසි පාලනයන් ය. ඔවුන්ගේ පාලනය ගෙන ගියේ බොහෝ සෙයින් කෲර ආකාරයට ය. බෞද්ධ ආගම විනාශ කොට ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමට ඔවුහු උත්සාහ ගත්හ. මේ නිසාවෙන් ම බුදු සසුන මෙන්ම පූජනීය ස්ථානද විනාශයට ලක් විය.බෞද්ධ අධ්‍යාපනික මූලස්ථාන විනාශකොට කිතුනු පාසල් ආරම්භ කරන්නට විය. කොතෙකුත් දුෂ්කරතා තිබුණද කුලතුංග දරුවා වැඩි වැඩියෙන් අධ්‍යාපනය හදාරන්නට විය.

මේ කාලයේ බුදු දහමේ උන්නතිය උදෙසා සූරියාගොඩ විහාරයේ සූරියගොඩ සාමණේරයන්ගේ ශිෂ්‍යයෙක් වශයෙන් සරණංකර නමින් පැවිද්ද ලැබුවේය. පැවිදි වී ටික දිනකට පසුව සූරියගොඩ සාමණේරයන් වහන්සේ මරණ දණ්ඩනයට පත්වූහ. ඊට පසු සරණංකර සාමණේරයන් වහන්සේ විසින් අධ්‍යාපනය ලබන ලද්දේ ස්වඋත්සාහයෙන් ය. පිරිහීමට පත්ව තිබූ බුදු සසුන බේරා ගැනීමට උත්සුක වූ උන්වහන්සේට එහි දී පාලි භාෂාව හා සංස්කෘත භාෂාව ඉගෙනීමට අවශ්‍ය විය.

මෙකල පාලි භාෂාව දැන සිටියේ සුළු පිරිසකි. ඔවුන් නම් ලෙවුකේ රාලහාමි, වටබුළුවේ නම සහ පල්කුඹුරේ අත්ථදස්සි යන තිදෙනාය. සරණංකර සාමණේරයෝ ලෙවුකේ රාළහාමිගෙන් බාලාවතාර නාම කාණ්ඩය උගත්තේය.අනෙක් හිමිවරුන් දෙදෙනාගෙන් සමාස කාණ්ඩය හදාරන්නට විය. බණ දහමට මුල්තැන දෙමින් ඒවා වඩාත් ප්‍රගුණ කිරීම සඳහා දිවා රෑ වෙහෙසී කටයුතු කරන්නට විය. කොතෙකුත් දුෂ්කරතා මධ්‍යයේ බුදු දහම නගා සිටුවීමට උනන්දු විය. මේ වන විට සරණංකර සාමණේරයන් පිණ්ඩපාතයෙන් යැපුණේය. එම නිසාවෙන්ම උන්වහන්සේ ප්‍රසිද්ධ වූයෙත් පිණ්ඩපාතික වැලිවිට සරණංකර හිමි යන නමින්ය. උන්වහන්සේ විසින් මේ වන විට සිල්වත් සමාගම නමින් සමාගමක් ආරම්භ කර ලැබ තිබුණි. මේ සිල්වත් සමාගමේ සාමාජිකයන් අතර සිටිනාමළුවේ සිල්වත් නම, ඉලිපැන්ගමුවේ සිල්වත් නම, ඊසිපිටියේ නම, කප්පාගොඩ නම, නාගොල්ලේ නම, අළුත් නුවර නම, මැදවෙල නම, කුඹල්දිවෙල නම යන අය වූහ. සිල්වත් සමාගමේ සිටි සියල්ලන්ටම අධ්‍යාපනය ලබාදෙන ලද්දේ සරණංකර සාමණේරයන් විසිනි. එම සිල්වත් සමාගම තමන් දන්නා දැනුම උපයෝගි කොට ගෙන බුදු දහම නගා සිටුවීම සඳහා ධර්ම ප්‍රචාරය කටයුතු කළේය.

එකල පිරිහී තිබූ බෞද්ධ සිරිත් විරිත් ආදිය නැවත බෞද්ධ ජනයාට පුරුදු පුහුණු කරන්නට සරණංකර සාමණේරයන් විශේෂයෙන් උනන්දු විය. සිල්වත් සමාගම උපයෝගි කොට ගෙන බෞද්ධ කුල සිරිත් විරිත් පුරුදු කරන්නට විය.මේ ආකාරයට පිරිහී තිබු බුදු සසුන නගා සිටුවීමට හැකි විය. සරණංකර සාමණේරයෝ තමන්ගේ ඇති දක්‍ෂතාවයන් නොයෙක් අවස්ථාවල දී පෙන්වූහ. එහෙයින් රජතුමාගේ ද සහාය උන්වහන්සේට ලැබිණි. එම නිසාවෙන් ම සරණංකර හිමියන්ට රජතුමා විසින් සාරාර්ථ සංග්‍රහය නමින් පොතක් රචනා කිරීමට ආරාධනා කරන ලදී. එහි දී උන්වහන්සේගේ පළමු කෘතිය වන සාරාර්ථ සංග්‍රහය රචනා කරන ලදී. මේ නිසාවෙන්ම බෞද්ධයා තවදුරටත් බුදු දහමට සමීප විය.

මේ වන විට පිරිහීමට පත්ව තිබූ උපසම්පදාව නගා සිටුවීමට කිහිපවරක් උත්සාහ කළ ද එය සපල වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ දීය. 1752 විල්බාවේ ගෙදර රාල යටතේ දූත පිරිසක් යවා සියමෙන් උපාලි ස්ථිවීරයන් වහන්සේ වඩමවා ලක්දිව උපසම්පදාව පිහිටුවූහ. මහනුවර මල්වතු මහා විහාරයේ මෙකල බද්ධ සීමා මාලකය පිහිටි ස්ථානයේ ඉදි කළ විසිතුරු මණ්ඩපයක උපසම්පදාව සිදු කළහ. ප්‍රථමයෙන් පූර්වාදර්ශයක් වශයෙන් සියමෙන් වැඩම වූ සාමණේරයන් වහන්සේ උපසම්පදා සීලයෙහි පිහිට වූහ. ඊට පසු සරණංකර සාමණේරයන් වහන්සේ ඇතුළු සෙසු සාමණේරයන් වහන්සේලා උපසම්පදා වූහ. අනතුරුව රාජගුරු පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර හිමියන්ට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් සංඝරාජ පදවිය පිරි නමන ලදී. ඒ පිළිබඳ සඟ රජ විත්තියේ මෙසේ දැක්වේ.

නන් විසිතුරු ගම වැලිවි ට
පින් බලයෙන් උපන් එපි ට
ඉන් පිරිසුදු නිරිදු සතු ට
සංඝරාජ කළ තිලක ට

සංඝරාජ මාහිමියන් කාලය ගත කළේම ශාසනොත්පත්තිය වෙනුවෙනි. උන්වහන්සේ ධර්ම ශාස්ත්‍රය උගන්වමින් ධර්ම දූත චර්යාවේම යෙදුණු සේක්. උන්වහන්සේ එවැනි මෙහෙවරක් නොකරන්නට අද සංඝ සමාජයක් ගැන සිතීම පවා නොහැකිය. උන්වහන්සේ තමන්ට ලැබුණු සියලු ගෞරවයන් නිසා උඩගු වූයේ නැත. සංඝරාජ පදවිය ලැබූ පසු උඩගු නොව මහණ “ යනුවෙන් සඳහන්කොට පන්සලේ උලුවස්සේ එල්ලී ය. මේ ආකාරයට තමන්ට ලැබුණූ ගෞරව නිසාවෙන් උඩගුවූයේ නැත. උන්වහන්සේ සෑම අවස්ථාවක දීම බුදු දහම නගා සිටුවීමට කැප විය.

එසේ ම, උන්වහන්සේ ලක්දිව බෞද්ධයාගේ සිත සුව පිණිස බොහෝ සෙයින් පොත පත රචනා කළහ. ඒවා නම් රූප මාලා, අභිසම්බෝධී අලංකාරය, මධූරාර්ථ ප්‍රකාශිනී, සාරාර්ථ සංග්‍රහය, පිරිත සූත්‍ර සන්නය, අභිසම්බෝධ අලංකාර සන්නය, මුණීගුණාලංකාරය, භේසජ්ජ මඤ්ඤුසා ආදි ග්‍රන්ථයන්ය. උන්වහන්සේ වැඩ සිටියේ දුෂ්කරම අවධියක වුවද ඒ පිළිබද කිසිදු තැකීමකින් තොරව ඕනෑම අභියෝගයක ට මුහුණ දුන් සේක. වරක් කොළඹ හුන් දේවගැතිවරයෙක් වැලිවිට සංඝරාජ හිමියන් ඝාතනය කරන්නට තැත් කළේය. එහෙත් ඒ සියලු උත්සාහයන් නිෂ්ඵල විය.

ශාසනය වල් බිහි වී තිබූ අවදියක එය හෙළි පෙහෙළි කරමින් අදටත් වැජඹෙන සංඝ සමාජයක් බිහි කරලීමට උන්වහන්සේ දැරූ ප්‍රයත්නය අපමණය.

මෙවන් මහිමියුත් අප සමිඳුගේ තතු
දනන් හැම මෙලක්දිව උපදිනා මතු
නෙතින් දකින්නට නොලැබුණු ලෙසට සිතු
කනින් අසාවත් සන්තෝස විය යුතු

අවුරුදු අසූ එකක් ආයු වළදා 1778 දී මල්වත්තේ විහාරයේදී උන්වහන්සේ අපවත් වී වදාළ සේක.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.