UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පොත් පුවත්

ප්‍රභාවී

නාවින්නේ සුගුණධම්ම මාහිමි ප්‍රණාම ශාස්ත්‍රීය සංහිතාව
ප්‍රකාශනය: ශ්‍රී වර්ධනාරාමය, ගෝනවල, කැලණිය
මිල: රු. 600/-

අනුරාධපුර මහා විහාරයෙන් ඇරඹි මෙරට ශාසනික අධ්‍යාපනයෙහි මෑතකාලීන මූලස්ථානයක් ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්ව ඇති පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන්හි උපපරිවෙණාධිපති වූද දිගුකලක් අපේ සම්භාවනීය මහ විදුහල් කිහිපයක හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවෙහි ගණිතය, පිළිබඳ අධ්‍යාපන උපදේශකවරයා ලෙස මහඟු සේවාවක් කළාවූද, ගෝනවල ශ්‍රී වර්ධනාරාම විහාරයේ වත්මන් නවෝදයේ නියමුවාණන් වූද පූජ්‍යපාද ගරු නාවින්නේ සුගුණධම්ම මාහිමියන්ගේ සැටවන ජන්මදිනය නිමිත්තෙන් උන්වහන්සේගේ මහගු ජාතික ආගමික අධ්‍යාපන සේවාව අගයමින් ප්‍රභාවී ශාස්ත්‍රීය සංග්‍රහය එළිදක්වනු ලැබ තිබේ.

එය දකුණු ආසියාවේ බෞද්ධ කලා හා පුරාවස්තු මෙන්ම භික්ෂු භික්ෂුණී සංස්ථාවන් ද විෂය ක්ෂේත්‍රය කොටගත් ප්‍රයෝජනවත් හා ප්‍රමාණවත් ශාස්ත්‍රිය ලිපි දහයෙකින් සමන්විත වෙයි. විශේෂයෙන් මෙරට විශ්වවිද්‍යාලවල බාහිර අභ්‍යන්තර උපාධි පාඨමාලා සඳහා බෞද්ධ සංස්කෘතිය විෂය හදාරන විද්‍යාර්ථීන්ට ද අවිශේෂයෙන් බෞද්ධ අබෞද්ධ ගුරු ශිෂ්‍ය සැමට ද ඉතා ඵලදායක ශාස්ත්‍රිය ලිපි එකතුවක් ලෙස මෙය හැඳින්විය හැකිවෙයි.

ඉහත කී බෞද්ධ සංස්කෘතිය හා බැඳුනු විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව මෙරට සිටින සුපක්‍රට විශාරදත්වයෙන් හෙබි විශිෂ්ට විද්වතුන් රැසකගේ් ශාස්ත්‍රීය සාකච්ඡාවන් මෙහි දක්නා ලැබේ. පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ සාර ගර්භ ලිපියක් සපයන මහාචාර්ය එච්.ටී. බස්නායක, පැරණි ද්වාරමණ්ඩප, මූර්ති කැටයම්, ආසන, පටිමාඝර, බෝධිඝර හා චෙතියඝර පිළිබඳ ප්‍රාමාණික විවරණයක් කරන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ, බුද්ධ බෝධි සත්ව ප්‍රතිමාවල මුද්‍ර‍්‍රා ආසන, සංකේත සම්ප්‍රදාය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන මහාචාර්ය ආරිය ලගමුව, දකුණු ආසියාවේ වාස්තු විද්‍යාව අරබයා පුළුල් අධ්‍යයනයක් කරන මහාචාර්ය උදා හෙට්ටිගේ යන විද්වතුන් එහිලා කැපී පෙනෙයි.

එසේම කථිකාචාර්ය ගාමිණී විජේසිංහගේ ස්ථූප නිර්මාණයේ පසුබිම හා විකාශය, කථිකාචාර්ය අම්පාරේ ආනන්ද හිමියන්ගේ බෞද්ධ මිත්‍රකැල , ඉතිහාසය හා සුවිශේෂතා යන ලිපි ද මෙම ශාස්ත්‍රීය සංග්‍රහයේ මුල් කොටසට ඇතුළත්ය.

මෙම ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවැනි කොටස භික්ෂු, භික්ෂූණී සංස්ථාවන් හා බැඳුණු අගනා ශාස්ත්‍රීය ලිපි සතරකින් සමන්විතය. කැරෑලේ ධම්මරතන හිමියන්ගේ සංඝකර්ම නම් ලිපියද, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මකුරුප්පේ ධම්මානන්ද හිමියන්ගේ බුද්ධ කාලීන ප්‍රකට ශ්‍රාවක ශ්‍රාවිකා චරිත නම් ලිපිය ද කථිකාචාර්ය, ඒ.කේ. විජේරත්නයන්ගේ බෞද්ධ ආරාම පරිපාලනය හා කළමනාකරණය නම් ලිපිය ද ඊට අයත්ය.

මෙකී සෑම රචකයෙක්ම මෙරට ජාතික විශ්ව විද්‍යාවල අධ්‍යාපන අධ්‍යයන කාර්යයන්හි දීර්ඝකාලීනව නිරතවීමෙන් ලද පරිචය හා අත්දැකීම් ඇති විද්වතුන් විසින් සම්පාදනය කරනු ලැබ තිබේ. එසේම ඓතිහාසික, තුලනාත්මක හා විචාරාත්මක යන ත්‍රිවිධ ශාස්ත්‍රීය ශික්ෂාවන්ට අනුව සපයන ලද පුළුල් විමර්ශනාත්මක අධ්‍යයනයන් බවද පෙනේ.

එබැවින්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බෞද්ධ සංස්කෘතිය,බෞද්ධ ශිෂ්ටාචාරය, බුද්ධ ධර්මය හා විනය පිළිබඳව මෙන්ම ඉතිහාසය, පුරා විද්‍යාව හා කලාශිල්ප පිළිබඳවද අධ්‍යයන කටයුතුවල නිරත ගුරු ශිෂ්‍ය දෙපක්ෂයට ද, අපේ කලා ශිල්පාදියෙන් භික්ෂූ භික්ෂුණී සමාජයත් අරබයා කරුණු දැනගැන්මෙහි රුචියක් දක්වන පොදු පාඨක ප්‍රජාවට ද ප්‍රභාවී ශාස්ත්‍රීය සංග්‍රහය ඵලදායක වන්නේය.

මෙබඳු ශාස්ත්‍රිය සංග්‍රහයන් ඉතා අඩුවෙන් දක්නා ලැබෙන මෙවන් යුගයක මෙහි සංස්කාරකවරුන් ලෙස නාරම්පනාවේ පඤ්ඤානන්ද හිමියන්ද හප්පිටියේ පාලිත හිමියන්ද සමග පි‍්‍රයන්ත සී. ඇල්ලපෙරුම ආරච්චි සහ පේ‍්‍රමතිලක වරාවිට යන අය විසින් මෙහිලා මේ ධර්ම ශාස්ත්‍රයට කර ඇති මෙහෙවර ප්‍රශංසනීය වෙයි.


ආර්ථික යහපාලනය

කර්තෘ: ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි
ප්‍රකාශනය: ශික්ෂා මන්දිර ප්‍රකාශන
දු.ක.: 2699121
මිල: රු. 200/-

ආර්ථික යහපාලනය සඳහා බෞද්ධ මඟ පෙන්වීමක් ලබාදීම පිණිස ලියූ කෘතියකි. කතුවරයා සිය පෙරවදනෙහි සඳහන් කැර ඇති මේ කරුණු පාඨකයාගේ අවධානයට යොමු විය යුතුය.

ලෝක ජනතාව ආර්ථික අර්බුදයකට පත්ව සිටින අවස්ථාවකි මේ. ඉහළම ජීවන තත්ත්වයන් පවත්වා ගෙන යන සංවර්ධිත රටවල ජනතාවගේ ද හැසිරීම් රටාවන් වෙනස් කිරීමට සිදුව ඇති බව අසන්නට ලැබේ.

පවතින අර්ථ ක්‍රමය යළි සකස් කිරීමට සිදුව ඇතැයි කියනු ලැබේ. විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති ලෝකයේ ගෝලීයකරණය වූ ආර්ථිකය නිසා, පැතිර යන විවිධ දුෂ්කරතාවනට මුහුණ නො දී සිටීමට කිසිවකුටත් හැකි නොවනු ඇත. එවැනි තත්ත්වයකට මිනිසා ඇද වැටුණේ කුමක් නිසාද?

මේ තත්ත්වයට බුදුදහමෙන් ලබා ගත හැකි උපදෙස් පැහැදිලි කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත.


බුදුරදුන් පෙන්වූ විමුක්ති මාර්ගය

කර්තෘ: ඤාණතිලෝක හිමි
සිංහල පරිවර්තනය:
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස
එන්.ටී.එස්. ඒ. සේනාධීර
වෛද්‍ය එච්.බී. ජයසිංහ
ප්‍රකාශනය:
බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය, මහනුවර
මිල: රු. 250/-

බුදු සසුනෙහි පැවිදි වූ ප්‍රථම ජර්මන් ජාතික භික්ෂුව වූ ඤාණතිලෝක හිමියන් ලියූ ඉංගී‍්‍රසි ග්‍රන්ථයක සිංහල පරිවර්තනයයි. පාලි බුද්ධ වචන උපයෝගී කරගනිමින් බුදුරදුන් හෙළි කළ විමුක්ති මාර්ගය පැහැදිලි කරදීම පිණිස මේ ග්‍රන්ථය ලියා තිබේ. මෙහි සංඥාපනයේ මෙසේ සඳහන්ය.

සමස්ත ග්‍රන්ථය පුරාම එක් රන් හුයක් ලෙස සුපිරිසිදු බවෙහි පියවර හත (සප්ත විසුද්ධි) නිරූපිතය. එම සත් පියවර මඟින් සීලය, මානසික ශක්තිය සහ ප්‍රඥාව යන උසස් අංග තුනෙහි අභ්‍යාසය ලබමින් සර්ව සම්පූර්ණත්වය ලබන ආකාරය උගන්වා තිබේ. ව්‍යවහාර වර්ෂ පස්වන සියවසේ විසූ අසහාය අටුවාචාර්ය බුද්ධ ඝෝෂ හිමියන් තම විසුද්ධීමග්ග නම් විශිෂ්ට ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී භාවිතයට ගත්තේ එම සප්ත විසුද්ධී රාමුවය. පාඨකයන්ට විශේෂයෙන් සප්ත විසුද්ධියෙහි අවසාන අවස්ථා පහ පිළිබඳව තව දුරටත් විස්තර බලා ගැනීමට අවශ්‍ය නම් එම අගනා කෘතිය පරිශීලනය කරන ලෙස දන්වමු.


පෝය

කර්තෘ: මහින් කුමාර දළුපොත
ප්‍රකාශනය: ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්
දු.ක.: 2682223,5833323
මිල: රු. 225/-

දොළොස් පෝය පිළිබඳ ආගමික හා සංස්කෘතික තොරතුරු ඇතුළත් ග්‍රන්ථයකි. මේ කෘතියෙහි අරමුණු කතුවරයා මෙසේ පැහැදිලි කැර තිබේ.

සිංහල බෞද්ධ ප්‍රජාවගේ උරුමයෙන් බින්දු මාත්‍රයක් මේ පොතට ඇතුළත් වේ. එය ශ්‍රී‍්‍ර ලාංකේය බෞද්ධ ප්‍රජාවගේ අයිතියකි. මා සිදු කළේ එම තොරතුරු පෙරළා දැයේ දූපුතුන්ට කියාදීම පමණි.

 

 

 

 


කල්‍යාණී ශාස්ත්‍රීය සංග්‍රහය

සංස්කාරකවරු:
ගල්කිස්සේ ධම්මවංශ නාහිමි
තපෝවනයේ දමිත හිමි
අම්බලන්ගොඩ සුමේධානන්ද හිමි
ප්‍රකාශනය: ජාතික උරුමයන් හා සංස්කෘතික
කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී කල්‍යාණිවංශික නිකායේ දෙසිය වස් සැමරුම නිමිත්තෙන් පළ කළ ශාස්ත්‍රීය සංග්‍රහයකි. ශ්‍රී කල්‍යාණිවංශික නිකායට අදාළ තොරතුරු පමණක් නොව බුදුදහමේ ව්‍යාප්තිය පිළිබඳ සමාලෝචනයක්, ඛුද්දක නිකාය පිළිබඳ මතවාද පරීක්‍ෂණය, පාලි ත්‍රිපිටකය හා ගාථා සාහිත්‍යය, පාලි භාෂාවේ විද්‍යමාන ප්‍රාකෘත භාෂා ලක්‍ෂණ ආගම සහ ආගමේ දර්ශනය පිළිබඳ අධ්‍යයනයක් ආදී ශාස්ත්‍රීය ලිපි 16 ක් හා ඉංගී‍්‍රසි ලිපි දෙකක් ද මෙහි ඇතුළත්ය.

රැකව ගුණසිරි මහානාහිමි, ගල්තලාවේ ශ්‍රී ගුණානන්ද නාහිමි, කුරුඳුවත්තේ රතනානන්ද අනුනාහිමි, ගල්කිස්සේ ධම්මවංස නාහිමි, නින්දානේ චන්දවිමල නාහිමි, නින්දානේ වජිරඤාණ නාහිමි ඇතුළු ගිහි පැවිදි ලේඛකයින් තිස් දෙනකු ගේ ලිපි මෙහි ඇතුළත් කොට තිබේ.

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]